බඩේ දැවිල්ලයි - උගුරට ඒමයි - කෑමයි බීමයි-දෙන දුක මේකයි - අම්ලපිත්තය හඳුනාගමු.

උප්පැන්න සහතිකේ ජාතිය සිංහල වුණාට ලෙඩක් දුකක් වුණත් හැදෙනව නම් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් නමක් තියෙන ලෙඩක් හැදෙනවාට කැමති ජාතියක් තමයි සිංහලයා කියන්නේ. එහෙම උජාරුවෙන් තමන් සතුවත් තියෙනවා කියල කැමැත්තෙන් කියන,  කාර්ය බහුල ජීවිතයක් ගත කරන බාල,තරුණ, මහළු බේදයකින් තොරව කාටත් වැළඳෙන රෝගයක් තමයි “අම්ලපිත්තය“. හැබැයි ගොඩක් දෙනා මේ රෝගය දන්නේ “ගැස්ට්‍රයිටීස්“ එහෙමත් නැත්නම් “ගැස්ටික්“ කියලා. මූලිකවම බඩ පපුවේ දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම, අජීර්ණය වගේ දේවල් තමා මේ රොගයේ ලක්ෂණ වෙන්නේ.

කොච්චර බෙහෙත් බිව්වත් හොඳ වෙන්නේ නෑ කියලා බොහෝ දෙනෙක් මේ දවස්වල අකුරු තුනක නමකින් එන කුඩා පැකට්ටුවක් වතුරේ දියකරලා බීලා තාවකාලිකව සැනසෙන්න බලන මේ රෝගය ආයුර්වේද ක්‍රමයෙන් නිට්ටාවටම සුව කරන්න පුළුවන්.

හැබැයි ඒ සුවකිරීම කරන්න නම් රෝගියෙක් විදියට අඩුම තරමේ මාස තුනක්වත් කැපවීමෙන් ආහාර හා දෛනික පිළිවෙත් අනුගමනය කරන්න එකඟ වෙන්න ඕන. මාළුවා නහින්නෙත් කට නිසා කියනවා වගේ අපිත් අපේ දෛනික ආහාර චර්යාවන් වැරදි විදියට අනුගමනය කිරීම තමයි මේ රෝගය වැළඳීමට මූලිකව හේතු වෙන්නේ.

ආයුර්වේදයේ හැඳින්වීම හැටියට අපට වැළඳෙන ඕනෑම රෝගයකට මුල්වෙන්නේ ත්‍රිදෝෂයින්ගෙන් එකක් හෝ කිහිපයක් කෝප වීම. “අම්ලපිත්තය“ සඳහා මූලිකවම බලපාන්නේ පිත කෝප වීම. ආයුර්වේද ශාස්ත්‍රයට අනුව පිත කොටස් දෙකකටබෙදෙනවා. ඒ ප්‍රකෘති පිත හා විදග්ධ පිත විදියට. මෙයින් විදග්ධ පිත තමා අම්ලපිත්තයේදී කෝප වෙන්නේ. විදග්ධ පිත ඇඹුල් රසයක් ගන්නවා. ඇඹුල් පිත - අම්ලපිත්තය විදියට තමයි නාමකරණය වෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් ගැස්ට්‍රයිටීස් කියලා කිව්වට බටහිර වෙදකමේ මේකට කියන නම "Hyper Acidity" .

බටහිර වෙදකමේදී අම්ලපිත්ත රෝගය හැදෙන හේතු තුනක් සඳහන් කරනවා.
01. ආමාශයේ හෝ බඩවැල් වල තුවාල ඇති විම
02. අධික දුම්පානය
03. නිසි පරිදි ආහාර නොදිරවීම තමයි ඒ හේතු තුන වෙන්නේ.

ආයුර්වේදයේ දී නම් ටිකක් ගැඹුරු විදියට පහත හේතු අම්ල පිත්තයට හේතු වෙනවා කියලා ලියැවිලා තියෙනවා.
01. සෘතු වලට නොගැලපෙන චර්යාවන්
02. එකිනෙකට නොගැලපෙන ආහාර වර්ග එකවිට භාවිතය
03. නරක් වූ ආහාර , සැර, ඇඹුල් හා පිත කිපෙන ආහාර බවර්ග නිතර ගැනිම
04. මෝරු , රා ආදී බිම වර්ගද, උඳු, මෑ ආදී රළු ආහාර නිතර භාවිතය
05. මානසික ව්‍යාකූලත්වය, අධික තෙහෙට්ටුව හා කුසීත බව
කියන හේතුන් නිසා පිත කෝප වීමෙන් අම්ලපිත්තය හට ගන්නා බවයි ආයුර්වේදය කියන්නේ.

ආයුර්වේදයට අනුව අම්ල පිත්තය කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් අනුව රෝගයේදී දැනෙන රෝග ලක්ෂණ පවා වෙනස් වෙනවා.
ඒ පහත පරිදි.
01. ඌර්ධව ගත අම්ලපිත්තය
02. අධෝගත අම්ල පිත්තය

ඌර්ධවගත අම්ලපිත්තය ට පිත විතරක් නොවෙයි සෙමත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම සුලභයි. අපි ට මේ රෝගයේ දී නිතර ඇසෙන රෝග ලක්ෂණ තමා දැනෙන්නේ. ඒ කියන්නේ බඩ පිපුම,  දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම, බඩ පුරවා දැමීම, පපුව සිරවීම,ඔක්කාර ගතිය වගේ දේවල්.


අධෝගත අම්ල පිත්තය දුලභයි. සෙම සම්බන්ධ නෑ. පිත විතරයි. ලක්ෂණ විදියට දැනෙන්නේ, පිපාසය, දැවිල්ල, කැරකිල්ල, සිහිමුර්ජාව, ඔක්කාරය, බඩගිනි අඩු බව, දහදිය ගැලීම, කටින් කෙල වැගිරීම, සමේ පලු මතුවීම වගේ දේවල්.

මේ නිසා බොහෝ වෛද්‍යවරු පවා මේ තත්වය අඳුනගන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට රෝගියාගෙන් එක එක වාර්තා ගෙන්වගෙන බලලා  ප්‍රතිකාර ලැබෙන්නේ වෙනත් රෝගයකට. ඒ නිසා රෝගියා අසරණ වෙන අවස්ථා වැඩියි.

ඒ නිසා රෝගියා තමන්ගේ වෛද්‍යවරයා සහ ප්‍රතිකාර ක්‍රමය හොඳ සිහියෙන් තෝරාගැනිමකට ලක්කළ යුතුයි.

මේ රෝගය සෑදුනු කෙනෙක් ඉන්නවානම් වහාම මාස කිහිපයක ප්‍රතිකාර පන්තියකට දායක වී පළමුව තමන්ගේ රෝගී තත්වයෙන් මිදිය යුතුයි. ඒ සඳහා ඔබේ තෝරාගැනීම ආයුර්වේද ක්‍රමය නම් වෙදහාමිනේට වුණත්, වෙනත් පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙකුට වුණත් මෙම රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ සඳහා ගතවෙන කාලය අවමව මාස යක් හෝ දෙකක් විය හැකියි. නමුත් එහි උපරිමය තීරණය වෙන්නේ රෝගියාගේ රෝග තත්වයේත්, ඔහුගේ උනන්දුව හා පරෙස්සමේත් ප්‍රමාණය මත.ප්‍රතිකාර කිරීමේදී රෝගය නැවත ඇතිවීම වළක්වා ගන්නා ක්‍රමත් ඔබේ ආයුර්වේද වෛද්‍යවරයා විසින් ඔබව දැනුවත් කරාවි.

රෝගය දැනට නොවැළඳුනු එහෙත් පෙර දක්වා තිබෙන රෝග කාරක හේතු වලට නිරන්තර මුහුණ දෙන කෙනෙක් නම් හෝ රෝගය ප්‍රතිකාර මඟින් සුව කරගත් අයෙක් නම් පහත උපදෙස් පිළිපැදීමෙන් නැවත රෝගය මතුවීම වළක්වාගත හැකියි.

*- අධික ලෙස ශිත කළ බිම වර්ග හා කාබනිකාත බීම වර්ග නිරන්තර භාවිතයෙන් වැළකීම. බබල්ගම් වැනි කෙළග්‍රන්ථී උද්දීපනය කරන රසකැවිලි භාවිතයට නොගැනීම. (බුලත්විට වුණත් අධිකව භාවිතය නරකයි.)
*- දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා නියමිත කාලසටහනක් පවත්වාගැනීම. ඒවා අතර අවම පැය හයක පරතරයක් පවත්වා ගැනීම.
*- ප්‍රධාන ආහාර වේල් දෙකක් අතර (මද උණුසුම් නම් වඩා හොඳයි) වතුර වීදුරු තුනක් වත් පානය කරන්න.
*- තේ හෝ කෝපි පානය හැකිතරම් සීමා කරන්න. ඒ වෙනුවට රස නොකළ කිරි හෝ පළතුරු /ඔසුපැන් වලට හුරුවන්න.
*- ප්‍රධාන ආහාර වේල් අතර තුර කුසගින්නක් නොදැනේ නම් කිසිදු කෙටි ආහාරයක් නොගන්න. එසේ ගන්නේ නම් තෙල් රහිත හා අළුතෙන් සැකසූ  කෙටි ආහාරයක් ගෙන  ප්‍රධාන ආහාරය ගැනීමට පැය තුනකවත් කාල අන්තරයක් තබාගන්න. ඒ අතර තවත් එක් වතුර වීදුරුවක්වත් වැඩිපුර පානය කරන්න.
*- අධික තෙල්, වියළිමිරිස්,කුළුබඩු  යෙදූ ආහාර , ඇඹුල් ආහාර, අබ, විනාකිරි, සැමන්, රටදෙල්, ඌෂ්ණ මාළු හා කරවල, ගෝවා, මුරුංගා මාළුමිරිස් අච්චාරු ආදිය අධික ලෙස අහාරයට නොගන්න. (වැළඳී ඇති අයට මේවා ස්වල්පයක්වත් හොඳ නැත.)
*- මානසික ඒකාග්‍රතාවය - නිදහස පවත්වාගෙන යන්න. අධික ලෙස නිදි වැරීම, අලසව හිඳීම, ත්‍රාසජනක හා අවේගශීලි ක්‍රියාකාරකම් වලින් , ගැටළු පිළිබඳ දිගින් දිගටම කල්පනා කිරීමෙන් වළකින්න.
*- එවැනි අසහනකාරී අවස්ථාවකදී යහපත් මිතුරන්, තමන්ගේ ආගම හෝ පුවත්පත් කියැවීමකින් ඉක්මනින් මානසික සහනය කරා යොමුවීමට කටයුතු කරන්න.

රෝගය වැලඳුනු හා නොවැලඳුනු අයට යෝග්‍ය ආහාර වන්නේ...
*- එළකිරි, කුඩා මාළු, සියළු පළා වර්ග, පළතුරු, තැඹිලි, කුරුම්බා, කැකිරි, කොහිල, පොලොස්, කවපි හා මුංඇට අනෝදා, ගම්මිරිස්, සුදුළූණු, උළුහාල්, බතල, වට්ටක්කා ආදියයි.

තාවකාලිකව සැනසෙන්න කියලා දේශීය හෝ බටහිර ඖෂධයක් නොවන වාණිජ අරමුණක් ඇති නිෂ්පාදන වලට යොමුවීමෙන් වෙන්නේ රෝගය තව තවත් උත්සන්න වීම විතරයි. අනෙක ඇඹූල් රසට උගුරට එන ආම්ලික රෝග තත්වය සමනයට භාෂ්මික දෙයක් ගැනීම විය යුතුයි කියන සාමාන්‍ය දැනීමත් අතහැරලා සිට්රික් අම්ලය සහිත දෙයක් ගැනීමෙන් ආමාශය තවත් ආම්ලික වීමක් නේද වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න.

ආයුර්වේදයේ අපිටත් තාවකාලික සහනයන් දෙන්න නිෂ්පාදන සකසන්න පුලුවන්. ඒත් වැදගත් වෙන්නේ තමන්ගේ රෝගයේ තත්වය වටහාගන්න වෛද්‍යවරයෙකුගෙන්ම ප්‍රතිකාර ගැනීම. ඒ වෙනුවෙන් දිගින් දිගටම පැමිණීමට නොහැකි කාර්ය බහුල ඔබ වෙනුවෙන් දුරස්ථ ප්‍රතිකාර ක්‍රම පවා ආයුර්වේද වෛද්‍යවරියක් හැටියට වෙදහාමිනේ සතුව තියෙනවා. අනෙක් සෑම ආයුර්වේද වෛද්‍යවරයෙක් ගාවත් මේ සඳහා නිට්ටාවට සුව වෙන ප්‍රතිකාර තියෙනවා. අවශ්‍ය වෙන්නේ රෝගියෙක් හැටියට ඔබගේ කැපවීම හා උනන්දුව විතරයි.

ඔබගේ අදහස් හා විමසීම් සඳහා අප අමතන්න පිටුවේ පෝරමය භාවිතා කරන්න. තෙරුවන් සරණයි!.

Email - nagarjunaherble@gmail.com

වැඩිදුරටත්.................

අපගේ බ්ලොග් අඩවිය ආයුර්වේදය, ජ්‍යොතිෂ්‍යය, දේශීය කෘෂිකර්මය හා ආශ්‍රිත අංශ පිළිබඳවත් සාකච්ඡා කෙරෙන පූර්ණ වෙබ් අඩවියක් බවට පත් කරන්න අදහසක් තියෙනවා. දැනටමත් එහි මූලික පියවර කිහිපයක් අරන් තියෙනවා. ඉතින් තරුණ වෛද්‍යවරුන් හැටියට අපේ අඩුපාඩුකම් හඳුනගෙන අළුත් ගමනක් යන්න හිතන හැමදෙනාමත් එකතු කරගෙන “වෙදහාමිනේගේ අඩවිය“ අළුත් ආකෘතියකින් ඉදිරියට ගෙනියන්නයි වෙදහාමිනේගේ සූදානම.එහිදී පාඨකයින් හැටියට අපේ අඩවියේ වෙන්න ඕන වෙනස්කමගෙැන අදහස් වගේම, ලිපි හා අදහස් සැපයීමෙන් දායක වෙන්න පුළුවන් උපාධිධාරී හෝ පාරම්පරික වෛද්‍යවරුන් හා අනෙකුත් ක්ෂේත්‍ර වල ප්‍රමානික උගතුන්ගේ සහායත් ‍වෙදහාමිනේ බලාපොරොත්තු වෙනවා. ඔබගේ අදහස් හා විමසීම් සඳහා අප අමතන්න පිටුවේ පෝරමය භාවිතා කරන්න.
ස්තූතියි! 

මොනවද මේ වෙද ගැට?

ආයුර්වේද වෙදකම ගැන එහෙමත් නැත් නම් සිංහල වෙදකම එක්ක බැඳිච්ච අපූර්ව සාහිත්‍යාංග ගණනාවක් තියෙනවා. කවි, ශ්ලෝක, ගැටපද ඒ අතරින් ප්‍රධානයි. මේ සාහිත්‍යාංග වලට පොදු ව්‍යවහාරෙදි නම් කියන්නේ වෙදගැට කියලා.ඇත්තටම ‍මේ වෙද ගැට කියන්නේ මොනවාද? මේවායේ වැදගත් කම මොකද්ද? කියලා තමයි මේ ලිපියෙන් කතා කරන්න හිතුවේ. 



පොතේ පතේ ලියැවෙනවට වඩා පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආපු අපේ දේශීය වෙදකම මූලික කරගත් ආයුර්වේදය සංක්‍රමණය වුණේ කටපාඩමින්. පොතක පතක රැඳෙන දැනුමකට වඩා වැඩි වටිනාකමක් 
ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත රැඳෙන්න මේ කටපාඩමින් රැකගෙන ආ දැනුම වැදගත් වුණා. ඒ නිසාම මේ දැනුම බුද්ධි හීන , සටකපට  වැරදි පුද්ගලයින් අතට සංක්‍රමණය වීම  සම්පූර්ණයෙන්ම වැළකුණා. නමුත් කිසියම් හෝ මොහොතක මෙම රහස් වට්ටෝරු නොවැදගත් කෙනෙකු අතට පත්වුනත් ප්‍රෙයා්ජනයක් අත් නොවෙන විදියට ආයුර්වේද යේ කවි, ශ්ලෝක ආදිය වෙත ව්‍යාංගාර්ථයෙන් තේරුම ලැබෙන ලෙස සාහිත්‍යමය වටිනාකමකුත්  ආරෝපණය කළහම තමයි “වෙදගැට“ කියන අපූරු නිර්මාණය බිහිවුණේ. 

වෙදගැට කියන්නේ සෑම විටෙකම කවි හා ශ්ලෝක විතරක් නෙවෙයි. සමහර වෙද පරම්පරා වල ප්‍රස්ථාව පිරුළු ආකෘතියේ වෙදගැට පවා තියෙනවා. මේ විදියටම සැකැසුණු දහම් ගැටත් තියෙනවා. “විෂඝෝර සර්පයා - දැක නෑරු මෝඩයා“ කියන්නේ ඒ විදියේ දහම් ගැටයක්. (ඒකේ තේරුම තණ්හාව නැති කර ගැනීමට පෘථ:ජනයින් උත්සුක විය යුතුයි කියන එකයි.)  අතීතයේදී නම් පරම්පරාවෙන් පරම්පරාවට මේ දැනුම නිසි ලෙස සංක්‍රමණය වුණු නිසා  ගැටළුවක් වුණේ නෑ. ඒත් ඇත්තටම වර්තමානයේදී බොහෝ පාරම්පරික වෙද මහත්වරුන්ට තමන්ගේ මරනෙන් පස්සේ මේ වෛද්‍ය ශාස්ත්‍රය ලබාදෙන්න හරි හමන් වැඩපිලීවෙලක් නෑ. නමුත් පරම්පරාවේ දැනුම පිට කෙනෙකුට දෙන්න හිතේ පුංචි අකමැත්තකුත් තියෙන නිසා වෙදපොත්, ශ්ලෝක, වෙදගැට, සේරම දේවල් අදාළ වෙද මහත්මයාගේ වියෝවෙන් විනාශ වෙන්න හේතුවක් වෙලා. ඒ අයගේ දරු මුණුබුරන්ට මේ දේවල් ගැන වටිනාකමක් අවබෝධයක් නැති නිසා වෙදපොත් ටිකත් අවසානෙදි විකිණෙන්නේ බෝතල් පත්තර කඩේට. මේ ගැන මෙයට පෙර වෙදහාමිනේ ලියූ ලිපිය හා ඒ දේවල් රැකගන්න කරපු යෝජනා මෙතැනින් බලන්න.

වෙදගැටයක් තුළ කිසියම් රෝගයක ලක්ෂණ, ඊට අදාළ ප්‍රතිකාර, ඖසධ මාත්‍රාව ආදිය වෛද්‍ය දැනුම ඇති අයෙකුට තේරුම් ගන්න පළුවන් ආකාරයටනිසි ලෙස පහදලා තිබුණා.  ගොඩක් දෙනා දන්න රහසක් නොවන “වෙදගැට“යක් හා එහි දළ තේරුම පහත දක්වන්නේ වෙදගැට ගැන පුංචි අදහසක් “වෙදහාමිනේගේ අඩවියේ “ පාඨකයින්ට දැනගන්න එක්ක.

කුට මුත නාගරා අඹු සොඳ කටකාරී - අට අඹු ගෙනා සිටි අඹූ එකටම බේරී
සිටි අඹු කණා සුණු ලා පස්දින නෑරී - අටවන ජොරා බැට කාගෙන යයි බේරී


දැන් මේක සරලව කියෙව්වහම පවුලක අඹුවන් අතර සිදුවූ සිද්ධියක් වගේ තමයි පේන්නේ. ඒත් මේකේ සඳහන් වෙන්නේ ආයුර්වේදයේ බෙදීම් අනුව අට වැදෑරුම් වන උණ වර්ග සියල්ලටම එකසේ භාවිතා කළ හැකි ඖෂධ යෝගයක්. (එහෙමයි කියලා නොදන්න කෙනෙකුට මේක භාවිතා කරන්න බැරි රෝගීයාගේ බල දුබලතාවය, රෝග තත්වය, ආශ්‍රිත තත්ව අනුව තවත් ඖෂධ එක්රැස් කිරීම්, ඉවත් කිරීම් කළ යුතු නිසා.) මේ සඳහා වන කෂායේ සුවඳ කොට්ටම්, රසකිඳ, වියළි ඉඟුරු, ඉරිවේරිය, කටුවැල්බටු ආදිය තිබෙන බව මේ කවියේ පළමු පදයෙන් න් කියැවෙනවා. ඒ වගේම එක් තැනක අඹු කියලා ඖෂධයකට කිව්වට තවත් තැනකදි අඹු කියන්නේ ජලයට. බොහෝ දෙනා අතර කෂාය සඳහා ප්‍රසිද්ධ වාක්‍යයක් වන වතුර පත අට එකට හිඳින්න කියන එක තමයි දෙවැනි පේලියේ “අට අඹු ගෙනා සිටි අඹූ එකටම බේරී“ කියල සඳහන් වෙන්නේ. තුන්වැනි පදයේ තියෙන්නේ කෂායට යොදන අනුපාන හා භාවිතා කළ යුතු කාලය ගැන. 

ඉතින් ඔබට හිතාගන්න පුළුවන්ද මහා සාගරයක් වගේ විෂය පථයක් තියෙන ආයුර්වේදයේ සම්පූර්ණ උණ රෝග සඳහාම ඖෂධ එක් කවියක සුන්දර පද හතරකට කැටි කරගන්න පුළුවන් වීම ගැන. ඒ නිර්මාණශීලීත්වය, පර්යේෂණ නොපැවත්වීම, අත්හදාබැලීම් නොකිරීම වගේ දේවල් අද දවසේ ආයුර්වේද වෛද්‍යවරුන්( විශෙෂයෙන් පාරම්පරික වෛද්‍යවරුන්) අතර නැතිවීම නිසා තමයි ආයුර්වේදයේ ප්‍රගමනයක් දක්නට නොලැබෙන්නනේ. ඒ වගේම තමයි ජාතියක් හැටියට එකිනෙකා අතර නිසි එකමුතුවක් - සම්බන්ධතාවයක් නැතිවීමත් නිසා ත් අපේ වෙදකම අභාවයට යනවා. ඉතින් තරුණ වෛද්‍යවරුන් හැටියට අපේ අඩුපාඩුකම් හඳුනගෙන අළුත් ගමනක් යන්න හිතන හැමදෙනාමත් එකතු කරගෙන “වෙදහාමිනේගේ අඩවිය“ අළුත් ආකෘතියකින් ඉදිරියට ගෙනියන්නයි වෙදහාමිනේගේ සූදානම.
                                           
ඒ කෙදි පාඨකයින් හැටියට අපේ අඩවියේ වෙන්න ඕන වෙනස්කමගෙැන අදහස් වගේම, ලිපි හා අදහස් සැපයීමෙන් දායක වෙන්න පුළුවන් උපාධිධාරී හෝ පාරම්පරික වෛද්‍යවරුන්ගේ සහායත් ‍වෙදහාමිනේ බලාපොරොත්තු වෙනවා.

දැනටමත් පසුගිය ලිපිය ලියද්දි තිබුණට වඩා අපේ බ්ලොග් පිටුවේ ආකෘතිමය වෙනස් වීම් සිදුවෙලා තියෙනවා ඔබ දකින්න ඇති. ඒ අනුව ජ්‍යොතිෂ්‍ය පිටුවකුත්, ඔබේ ගැටළු සඳහා පිළිතුරු ළබාදීමේ සේවාවකුත් අපි අළුතෙන් ආරම්භ කළා. ඒවායෙන් ප්‍රාෙයා්ජන ගන්නා ලෙස වෙදහාමිනේ කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙම නම් අළුත් ලිපියකින් ළඟදීම හමුවෙමු.  ආයුබෝවන්.
Email - nagarjunaherble@gmail.com

සිංහල අවුරුදු කැවිලි පෙවිලී - වේවිද ලෙඩ දුක් වඩන පෙරළී ( නෑ එහෙම වෙන්නෙ නෑ)

සිංහල අවුරුද්ද බොහෝම කිට්ටුවට ඇවිත්. එරබදු මල් පිපිලා. කොවුලන්ගේ ගීත නාද, කජු පුහුලම්, අඹ පොකුරු ස්වභාව ධර්මයේ අවුරුදු සුදානම පෙන්වන සංකේත. ඒ වුණාට අපේ කාලයේ ලාංකිකයන්ට අවුරුදු එනවා කියල දැනෙන්නේ වෙළඳ ව්‍යාපාරිකයින්ගේ වුවමනාවට. කඩපිල්වල වැටෙන සේල් බෝඩ් වලින් පාර අහගෙන ලස්සන ඇඳුම් ආයිත්තම්, වුවමනා හෝ නූවුමනා නවීනතම උපාංග, තරඟයට වගේ ගෙවල් වල ගොඩ ගහගන්න එක තමයි අද දවසේ ලාංකික සිංහලයාගේ “කිරියෙන් පැණියෙන් ඉතිරෙන“ අවුරුද්ද බවට පත්වෙලා තියෙන්නේ. අවුරුද්දේ අරමුණ කුමක්ද, අවුරුද්ද කියන්නේ මොකද්ද කියල පැහැදිලි කරලා දෙන රූපවාහිනී වැඩසටහන් ගණනාවක් තියෙද්දි අවුරුද්ද කියල කියන්නේ මොකද්ද කියන එක ගැන තවත් ලිපියක් ලියන්න වෙදහාමිනේ හිතන්නේ නෑ. වෙදහාමිනේ මේ සැරේ ලිපියෙන් කතා කරන්න යන්නේ “අවුරුදු කැවිලි පෙවිලි“ ගැන.
අවුරුදු කැවිලි විදියට ගත්තහම කැවිලි වර්ග දෙජාතියක් තියෙනවා. එකක් තමයි කිරිබත් සමඟ ආහාරයට ගන්නා තෙලින් බැදගන්නා පැණිරස කැවිලි වර්ග. අනෙක් කැවිලි වර්ග වෙන්නේ බත් සමඟ ආහාරයට ගන්නා මිරිස් රසැති ආහාර වර්ග. පැණි රස කැවිලි වර්ග විදියට ගත්තහම මුංකැවුම්, කොණ්ඩ කැවුම්, අතිරස, අග්ගලා, නාරං කැවුම්, කොකිස් , ආස්මි, දොදොල් වගේ දේවල් තමා මුලටම එන්නේ. බත් සමඟ ගන්නා ආහාර වර්ග හැටියට ගැනෙන්නේ සිංහල අච්චාරුව, හත් මාළුව, කජු මාළුව ආදිය ගන්න පුළුවන්. මේ කැවිලි වර්ග වලින් කීයක් පසුගිය අවුරුද්දේ ඔබේ අවුරුදු කෑම මේසයේ තිබුණද? ඔබේ කෑම මේසයේ කෙසේ වෙතත් බොහො සිංහල අවුරුදු කෑම මේස වල ඉහත නම් කළ කෑම වර්ග වෙනුවට තියෙන්නේ කේක්, බිස්කට්, බිබික්කන්, මස්කට් වගේ අන්‍ය සංස්කෘතියකට අදාළ කෑම වර්ග. වසර දෙදහස් ගණනක අතීත ශ්‍රී විභූතිය, සාඩම්බර හෙළ ඉතිහාසය ගැන කතා කරන අපේ මහා සංස්කෘතික මංගල්‍ය යේ අපේ කෑම මේසය අරක් ගන්නේ විදෙස් සංස්කෘතියක කෑම නම් අපේ බඩ ගෙඩි වලට කළින් මොළ ගෙඩි වල තියෙන දේවල් බලාගන්න සිද්ධ වෙනවා. හැබැයි මේ දේවල් මෙහෙම වෙන්නත් හේතු ගොඩක් බලපානවා. අද අපේ කාන්තාවො බොහොමයක් රැකියා වලට යනවා. මේ රැකියා වලින් නිවාඩු ලැබෙන්නේ අවුරුදු නැකතට ඔන්න මෙන්න කියලා. ඉතින් ඒවගේ වෙලාවක කැවුමක් උයන්න, කොකිසක් බදින්න වෙලාවක් හදාගන්න අමාරුයි. එහෙමත් නැත්නම් නිසි පදමට පිටි ටික අනාගන්න එක ගැන , මිශ්‍රණය හරියට සකසා ගන්න එක ගැන හිතේ තියෙන දෙගිඩියාව නිසා වෙලාව තිබුණත් කම්මැලි කර කර ඉල අවසාන මොහොතේ කඩෙන් රස වෑහෙන කෑම ටිකක් ගෙනත් අවුරුදු මේසේ පුරවනවා. මොකද අද දවසෙ වෙදහාමිනේගේ සමවයසේ ඉන්න බොහෝ දෙනා පවා තනියම කැවුමක් ඒදගෙන නිසි පදමට බැද ගන්න දන්නේ නෑ. ඒ වගේම ඒ අය බහුතරයකට “ මම මේ දෙය අනිවාර්යයෙන් ඉගෙන ගත යුතුයි.- මගේ දුවට මේ දැනුම දීම මාගේ වගකීමක්“ කියන හැඟීම නැහැ. (ඒ මතවාදය අපේ ජන සමාජයට රිංගවීම ගැන වෙදහාමිනේ දකින සත්‍යය තිත්ත වුවත් අපි එය එළිපිට කතා කර අවබෝධ කරගත යුතයි. ඒත් ඒ මේ ලිපිය තුළ නොවෙයි.) මේ නිසා බොහෝ දෙනා තමන්ගේ බැරිකම හෝ වුවමනා නැතිකම මත අවුරුදු කැවිලි නොසෑදීම ට නිදහසට කරුණු කාරණා ගොනු කරන්නේ ශරීර සෞඛ්‍ය ගැන කෙස් පැලෙන තර්ක හෝ වෛද්‍ය උපදෙස් ගෙන හැර දක්වමින්. “අපෝ ඕවා කන්න හොඳ නෑ. මට කොලස්ටරෝල් නෙ. අනෙක සීනිත් එච්චර හොඳ දෙයක් නෙවෙයිනෙ. දියවැඩියාවටත් එන්න පුළුවන්.“ මේක අද දවසෙ “අවුරුද්දට කැවිලි හැදුවද?“ කියල හිතවතුන් කිහිප දෙනෙක් ගෙන් ඇහුවහම කැවිලි නොහැදූ අයගෙන් ලැබෙන සුලභ පිළිතුරක්. ඇත්ත තමා. ඇඟ ඇතුලෙ තෙල් (මේද), සීනි, වතුර, ලවණවර්ග, තව තව ජරාව පුරවගෙන, හිතේ කහටත් තියාගෙන පිට පොත්ත විතරක් ආලේපන ගාලා, සුවඳ කවලා රැකබලාගන්න අපේ බොහෝ දෙනාට කෑම බීම වලින් ඒ දේවල් ආයෙම ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. එහෙම වුනත් දොස්තර මහත්මයා නියම කරන පෙතිටික, කරල් ටික වරද්දන්නෙ නැතිව බොන ගමන්.... මැරුණත් මොකෝ කාලනෙ .... කියල හිතල සුදු පාන් පෙත්තක්, සීනි දාපු තේ එකක්, බිස්කට් එකක්, කේක් කෑල්ලක් කන්න, අවුරුදු කෑම ගැන අනියත බයක් දක්වන බොහෝ දෙනා එඩිතරයි. එහෙම හිතන බොහෝ දෙනා වෙනුවෙන් වෙදහාමිනේ ආදරයෙන් මතක් කරන්නේ හරි විදියට අවුරුද්දට හදන මුං කැවුමක්, අතිරසයක්, කොකිසයක්,රස බැලුවට පාන් පෙත්තකින් වෙන හානියක්, කෙක් කෑල්ලකින් වෙන හානියක් ඇඟට වෙන්නේ නෑ කියලයි. ඒ වගේම හරියට අවුරුදු සිරිය අත් විඳින්න පුළුවන් නම් කැවුමකින් කොකිසයකින් ඇඟට උරන තෙල් සීනි විතරක් නෙවෙයි.... පහුගිය කාලෙ උරපු තෙල් හා සීනි නිසි ලෙස දවා හරින්නත් ඔබට පුළුවන්. ඒ කොහොමද කියල වෙද හාමිනේගේ ලිපිය දිගටම කියෙව්වොත් වැටහේවි. (කොහොම වුණත් කොලෙස්ටරෝල් තියෙන කට්ටිය මේ ලිපියත් කියවන්න.)
අපේ අවුරුදු මේසයේ ප්‍රධාන ආහාරය බවට නිරායාසයෙන්ම පත්වෙන්නේ.... කිරිබත්. ඇඟ සිසිල් කරන ශක්තිය උපරිමව ශරීරයට ලැබෙන ලොකු කුඩා කාට කාටත් අගුණයක් නැති කෑමක් තමා කිරිබත්.සුදු හාල් කිරිබත් වෙනුවට රතු කැකුළෙන් හදන කිරිබත් දියවැඩියාව, කොලෙස්ටරෝල් තියෙන කෙනෙකුට වඩා සුදුසුයි. මුං කැවුම් වල ඉඳල අග්ගලාව වෙනකම් හදාගන්න විදිය ගැන උගන්වන නෙක නෙක මාධ්‍ය උත්සාහයන් තියෙන නිසා ඒවා හදාගන්න වට්ටෝරු කියන සූප ශාස්ත්‍ර කාර්යය කරන්න වෙදහාමිනේ ඉදිරිපත් වෙන්නෙ නෑ.ඖනම නම් මෙතනින් බලන්න. ඒත් මොනම වට්ටෝරුවක වුණත් අන්තර්ගතයේ අනවශ්‍ය දෙයත් වේනම් ඒ වෙනුවට නිවැරදි යෙදවීම කරන්න මතක තියාගන්න. පාන් පිටි වෙනුවට කැවුම් ඇතුළු රසකැවිලි හදද්දි අනිවාර්යයෙන් හාල් පිටි ගන්න. ඔබ මේදවෘදිධි (කොලෙස්ටරෝල්) හෝ දියවැඩියා රෝග වලින් නොපෙලෙන්නේ නම් සුදු හාල් පිටි ගත්තත් කමක් නෑ. ඒවායෙන් පෙළෙන අයෙක් නම් රතු කැකුළු හාල් පිටිකර කැවිලි සඳහා භාවිතා කරන්න. මෙ හාල් පිටි කර ගැනීම ගෙදරදීම කරගන්න පුළුවන් නම් එහි ගුණාත්මක භාවය ගැන සහතිකයක් ලබාගන්න ඔබටම පුළුවන්. නැතිනම් විශ්වාස වන්ත ව්‍යාපාරිකයෙකු ගෙන් මිළදී ගන්න. හාල්පිටි කියන්නේ සිංහල අවුරුදු කැවිලි සඳහා යොදාගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යය. නාඩු සහල් වලට සාපේක්ෂව ඉක්මන් දිරවීමක් කැවිලි සඳහා යොදාගන්නා කැකුළු හාල් පිටි වල තිබ්බත් ඒක පාන්පිටි තරම් ඉක්මනින් ශරීරයට උරා ගන්නේ නෑ. මේ නිසා ශරීරයේ රුධිරගත සීනි මට්ටම ක්ෂණිකව ඉහළ නංවන්නේ නෑ. ඊළඟට කැවිලි සෑදීමට ගන්නා ප්‍රධාන දේ තමා සීනි. අද දවසේ දි මේ වෙනුවෙන් සුදු සීනි භාවිතා වුණත් අතීතයේදී අපේ පැරැන්නන් භාවිතා කළේ කිතුල් හෝ පොල් පැණි. ඉක්මනින් දිරවන සුදු සීනි වෙනුවට පැණි යොදාගෙන කැවිලි හදනවනම් සෞඛ්‍යට හිතකරයි. ඊළඟට මේ කැවිලි බැදීමට හොඳ පොල්තෙල් යොදාගැනීමත් කැවිලි වල ගුණාත්මක භාවය රැකගැනීමටත්, සෞඛ්‍යාරක්ෂිත බවටත් වැදගත්. කාලෙකට කලින් “පොල්තෙල්“ බිල්ලෙක් බවට පත්කරපු බටහිර වෛද්‍යවරු පවා අද දවසෙදි කියන්නේ “පොල්තෙල්“ මාරයෙකු නොව අනෙකුත් මේධවෘද්ධී කාරක තෙල් හා සැසඳීමේදී අහිංසක යෙදවුමක් බවයි. මේ පොල්තෙල් ගැන තියද්දි අද දවසේ තියෙන සුදු පොල්තෙල් මේනියාව ගැනත් කියන්න ඕන. සුදු පොල්තෙල් කියන්නේ සාමාන්‍ය කුරුටු සහිත පොල්තෙල් වලට සාපේක්ෂව හොඳ දෙයක් කියල වෙදහාමිනේ කියන්නේ නෑ. මේ නිසා කැවුම් බදිද්දී සාමාන්‍ය පොල්තෙල් පාවිච්චි කරන්න. අනෙකුත් බැදීම් සඳහාත් ඒ පොල්තෙල් තමා හොඳ.ආලේපන සඳහා සුදු පොල්තෙල් භාවිතා කලාට කමක් නෑ. ඒ වගේම තමයි වරක් බැදි පොල්තෙල් වලින් යළි යළිත් බැදීම් කරන්නහොඳ නෑ. මෙවැනි දේ අනුගමනය කරනවා නම් කැවිලි වලින් ගුණයක් මිසෙක අගුණයක් ශරීරයට වෙන්නේ නෑ. ඊළඟට බැදීමෙන් පසු මේ කැවිලි වල වැඩි තෙල් ඉවත්වන ආකාරයට (පතුලෙන්ම පැකලි පීරිසියක් මුනින් නවලා)මැටි මුට්ටි වල ගබඩා කිරීමෙනුත් සෞඛ්‍ය හිතකර වීම වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ දේවල් හරියට කරලා දවස් තුනකට විතර පෙර බැදපු කැවුමක්, කොකිසයක් කෑවට කිසිම හානියක් වෙන්නේ නෑ. ඒ වගේම මුං ඇට, යොදා ගන්නා කැවිලි වර්ගත් කිහිපයක් තියෙනවා. මේවා සඳහා මුංඇට පිටි යොදාගැනීමෙන් ශරීරය සිසිල් කරනවා. කහ කුඩු ශරීරයේ විෂ නසනවා. ආස්මි වලට ගන්න දවුල් කුරුඳු බඩවැලේ රෝග , දෝෂ සමහන් කරලා බඩවැල් සක්‍රීය කරනවා. ආහාර දිරවීම පහසු කරනවා. බඩගින්න වැඩි කරනවා. මේ සියළු දේට වඩා වැදගත් අනිවාර්ය සාමාජිකයෙක් කෑම මේසයට එක් කරගත යුතුමයි. කිරිබත් ඇටේ ඉඳල, මුං කැවුම වෙනකම් එක සීරුවට දිරවීමට උපකාරීවන මෙයා කැවිල්ලක් නම් නෙවෙයි.ස්වභාවික පරිසරයේ දායාදයක් , පළතුරක් වන මෙයා තමයි.... කෙසෙල්. හැබැයි ඉතින් ඒ අරමුණ සඵල වෙන්න අවුරුදු මේසයට ගෙන ආ යුත්තේ “ඇඹුල්“ වර්ගයේ කෙසෙල් ඇවරියක්. මොකද තමන්ගේ පවුලේ වත්කම හෝ ආඩම්බරය පෙන්වන්නට කොලිකුට්ටු හෝ රත්කෙහෙල් වගේ දේවල් මේසයට එක්කලාට සිද්දවෙන්නේ “ඇඹුල්“ වලින් සිද්ධ වෙන යහපත් ජීර්ණ ක්‍රියාවලිය නොවෙයි. මේ විදියට මූලික දේවල් යොදාගෙන එක එක පදමට අනාගෙන පොල්, කජු, ශාක යුෂ යොදාගෙන තනන සෑම කැවිල්ලක්ම පිෂ්ඨය, මේදය සහිත ආහාර. මේ නිසා ඉහත අසනීප තියෙන කෙනෙක් නම් මේවා ආහාරයට ගත යුත්තේ වරකට ගන්නා ප්‍රමාණයේ හා ආහාරයට ගන්නා කාල පරාසය ගැන අවධානයෙන්. අනෙක් අයට නම් එහෙම සීමාවක් නෑ. බඩ පිරෙනකම් වුණත් කාලා හොඳට ඇඟ මහන්සිවෙන ක්‍රීඩාවක යෙදිලා, ගෙදර දොරේ වැඩක යෙදිලා ඉන්න පුළුවන්නම් කිසිම සෞඛ්‍යමය අවධානමක් මතුවෙන්නේ නෑ. අතීතයේ සිට සිංහල අවුරුදු කාලෙට ඔන්චිලි, පොරපොල්, ජවන හා පිටිය සමූහ තරඟ පැවැත්වුණේ අවුරුදු කෑම දිරවන්න අවශ්‍ය සහයෝගය දෙන්න තමා. අනෙක නෑදෑ ගමන් යාම, නිවසට එන අමුත්තන් සඳහා අවශ්‍ය දේ සොයා යාමට වගේ දේවල් වලටත් ශක්තිය වැය වීම නිසා මේක එච්චර ඇඟට දැනෙන දෙයක් වුණේ නෑ. යාන වාහන, විද්‍යුත් මෙවලම් වැඩි අද දවසෙදි ඇඟ වෙහෙසීම අඩු වීම නිසා තමා අපේ ඇඟවල් වලට ලෙඩරෝග එන්නේ. මේ නිසා අවුරුදු කැවිලි විතරක් නෙවෙයි අනෙකුත් ඕනෑම කෑමක් ගැනීමේදි තමන්ගේ මහන්සියේ තරම ගැන හිතලා ඒ තරමට අවශ්‍ය විදියටයි ආහාරය ලෙස ගත යුත්තේ.
ඊළඟට මේ කැවිලි වල තෙල්, සීනි, පිටි පුච්චන ප්‍රධාන මෙහෙයක් කරන කෙනා තමයි, අච්චාරුව. සිංහල ක්‍රමයට දාන අච්චාරුවේ තියෙන රතුළූණු, දෙහි,අබ, විනාකිරි වලින් අදාළ කාර්යය නිසි පදමට කරනවා. තෙල් වැඩිපුර කෑවාම, කෑපිට කෑවාම හැදෙන ග්‍රැස්ටයිටීස් ගතිය නැති කරලා දාන්න හත්මාළුවෙන් කරන මෙහෙයත් ඉතා වැදගත්. ප්‍රෙද්ශයෙන් ප්‍රෙද්ශයට වට්ටෝරුව වෙනස් වුණත් හත්මාළුවේ තියෙන පොදු දේවල් වන වට්ටක්කා දළු, කොහිළ දළු,දඹල වගේ දේවල් බඩවැල් වලට දෙන සහය අවුරුදු සතිය තුළම ඔබට අවශය සහනය ලබාදෙන්න සමත්. මළබද්ධය වැලැක්වීම, බඩවැල් ශක්තිමත් කිරීම තමා මේවාගේ ප්‍රධාන ප්‍රයෝජන. ශරීරයේ ශක්තිය වර්ධනය කරගන්න එක එක විටමින් ජාති බොන, ශක්තිජනක ආහාර හොයන අයට හොඳම ශක්තිජනක ව්‍යාංජනයක් අවුරුදු කාලෙට ගෙවල් වල හැදෙනවා. ඒ තමයි කජු මාළුව.
හෙළ අයිතිය රකින්න, ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න සූදානම් අපි අපේ හෙළ අවුරුදු දා සැකසෙන අපේ පවුලේ කෑම මේසය බටහිර පන්නයේ ආහාර වලින් පුරවා නොගෙන, අවිහිංසාවාදී ආගම් දෙකක සාරයෙන් ඔපවත් වෙන අවුරුදු කෑම මේසය පරිසරයට ආදරය කරන පරිසරය බෙදාහදාගන්නා ශාකමය ආහාර වලින් පමණක් සූදානම් කරගෙන යහපත් ජීවන රටාවක් ඇතිකර ගන්නට අරමුණු කරගත් “ගෞරවණීය කෑම මේසයක්“ ලෙස සකසමු. හිරු දෙවියන්ගේ නෑකම අළුත් කෙරෙන එදා දවසෙදි අපේ දූ පුතුන්ට නෑදෑ හිත මිතුරන්ට අභිමානයෙන් රසවිඳින්න පුළුවන් කෑමට පෙර වගේම පසුවත් එකසේ මුවඟට සිනහව උරුම කරන කෑම මේසයක් සකසමු. අක්මුල් සිඳගත් ඕපපාතික පුද්ගල පංචස්කන්දයක් නොවී නෑදෑ හිතමිතුරන් සමඟ සුහදත්වයෙන් තම තම නිවෙස් වලම ගතකරන අවුරුදු දවසක් වෙනුවෙන් කැපවෙමු. කුසට දමන ආහාර වලටත් වඩා වැදගත් හිසට දමන තෙල් ටික ගැනත් හිතමු.ඒ වෙනුවෙන් හිසතෙල් ගෑමේ වැදගත් චාරිත්‍රයත් ඉටුකරමු. ( ඒ ගැන වෙදහාමිනේගේ අදහස මෙතැනින් බලන්න.) ඉදිරි දෙසතිය වෙදහාමිනේටත් ගෘහණියක් හැටියට කාර්ය බහුල සමයක් නිසා අප්‍රෙල් අවසන් සතියේ විතර අළුත් ලිපියකින් හමුවෙමු.ඔබට සුව සහනය ලැබෙන, නැවුම් විදියට හිතන්න වරම් ලැබෙන සුබ අළුත් අවුරුද්දක් වේවා! (ඡායාරූප සියල්ල අන්තර්ජාලයෙනි.) Email - nagarjunaherble@gmail.com

දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා

ඔබ විවාහකයෙක් නම් ඔබේ ඊළඟ අරමුණ සුන්දර දරු සිඟිත්තෙකු කැදැල්ලට කැඳවා ගෙන ඒම. ඒක එහෙම නම් ඔබට මේ ලිපිය වැදගත්. ඔබ ඔබේ දරුවා හදා වඩා ගන්නේ කාගේ වුවමනාවටද? අතීතයේදී නම් ඔබේ දරුවා හදාගන්න ඔබට උපදෙස් අනුශාසනා දෙන්නේ ඔබ දෙපළගේ මව්වරු හෝ වැඩිමහල් සොයුරියන්. නාවන හැටි, කිරි පොවන හැටි, බෙහෙත් දෙන හැටි, කෑම බීම සකසන විදිය ආදිය ගැන දැන හුරුවෙන්, කළ හුරුවෙන් උපදෙස් ලබාදුන්නේ ඒ අය. ඒත් අද දවස වෙද්දි ඒ කාර්යය පැවරිලා තියෙන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවට හෝ වෛද්‍යවරයාට.අද දවසේ බටහිර වෛද්‍යවරු කියන්නේ සමාගම් ගණනාවක අලෙවි නියෝජිතයින්. දරුවාට දෙන යෝගට් එකේ ඉඳල කිරිපිටි වර්ගයේ විටමින් වර්ගයේ වෙලඳ නාමය තිරණය කරන්නේ ඔවුන්. එතැනදී බටහිර වෛද්‍යවරුන් බොහොමයක් තමන්ගේ වෘත්තීය ගරුත්වය පැත්තකට දාලා තමන්ගේ පාරිභෝගිකයින් (රෝගීන් කියන්න බැරි ඔවුන්ගෙ තියෙන්නේ වාණිජ අරමුණක් නිසා) අවස්ථානුකූලව තෘප්තිමත් කරලා දිගුකාලීන වෙලඳපොලක් තනාගන්නවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන දහසින් බැඳි පියළි වලින් තමන්ගේ ප්‍රභාව වර්ධනය කරගෙන ඒකම යළි යළිත් පාවිච්චි කරන්නේ තමන්ගේ වෙළඳ ආයතන පෝෂණය කරන්න. වර්තමාන ක්‍රමවේදය අනුව ගර්භීණී භාවය භයානක අවස්ථාවක් හැටියට හඳුන්වලා දීලා ඉක්මන් ලියාපදිංචි වීම්, පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුම්වත් කිරීම්, සායනයට සහභාගී වීම් ආදිය වහාම ක්‍රියාත්මකකළ යුතු දේවල් හැටියට දක්වලා ආරම්භයේ සිටම වෛද්‍යවරයාගේ අත්අඩංගුවට ගැබිණී මවව පත් කර ගන්නවා. එතැන් සිට නියම කරන යකඩ පෙත්තේ ඉඳල දරුවට මාස හයක් හතක් පහු වෙනකම් මේ අත්අඩංගුව ඒ විදියටම ක්‍රියාත්මකයි. (පෞද්ලිකව වෙදහාමිනේ නම් යකඩ පෙති බිව්වෙවත්, වෛද්‍යවරු චැනල් කළේ වත් , ස්කෑන් කලේ වත් නෑ. හැබැයි නිසි අවබෝධයෙන් තොරව ඔබට එහෙම නොකර ඉන්න යෝජනා කරන්නෙත් නෑ.) දරුවා ලැබුණාට පස්සේ කායම් හොද්ද හදන තැන ඉඳල, වෙනිවැල්ගැට තම්බා නෑවීම්, රන් කිරි කට ගෑම්, ගම්මිරිස් පිඹීම්, රත කල්කය දීම් සමහර තැන් වල දෙමව් පිය වැඩිහිටි අවබෝධයෙන් අද දක්වා කෙරුණත් ඒවා කෙරෙන්නේ වෛද්‍යවරුන්ට, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට රහසේ. මොකද දැනගත්තොත් දහසකුත් ප්‍රශ්ණ. සායනයෙදි පසිද්ධියේ බැණ වැදීම් දක්වා මේ තත්වය උඩු දුවන තත්වයක් තමා අද වන විට තියෙන්නේ. (හැබැයි සිංහල අපි අපේ සාම්ප්‍රදායික වත් පිළිවෙත් පහත් කරල මඟ ඇරල ගියාට දෙමළ ජනතාව මොන ප්‍රශ්ණ මැද වුණත් තම සාම්ප්‍රදායික වත් පිළිවෙත් නවජාත බිළිඳුන් වෙනුවෙන් අනිවාර්යයෙන් කරන්න එඩිතරයි.) රජයේ සායන වලින් බැහැරව පෞද්ගලික චැනල් වෛද්‍යවරයාගෙන් පවා මේ වත් පිළිවෙත් කරන්නද ඇහුවොත් “ඇයි ඒවා දෙන්නේ.. අපේ බෙහෙත් හොඳ නැද්ද?“ “ඕවා පිරිසිදුව හදපුවා නොවේ... ගල්කුඩු හිටන් තියෙනවා“ “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ වගේ සෘණාත්මක ප්‍රතිචාර තමා ලැබෙන්නේ.
අද දවසේ වෙදහාමිනේ සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ කුඩා දරුවන්ට දෙන රත කල්කය ගැන. රත කල්කය කියන්නේ මොකද්ද? ඒක වැදගත් වෙන්නේ ඇයි? දිය යුත්තේ කොපමණ මාත්‍රාවකින්ද? වගේ දේවල් තමා වෙද හාමිනේ මෙම ලිපියෙන් සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ. රත කල්කයට දෙසඳුන් කල්කය කියලත් කියනවා. එහෙම කියන්නේ රත් හඳුන් හා සුදු හඳුන් කියන දෙවර්ගයම මෙම කල්කය සැදීමට වැඩි ප්‍රතිශතයකින් භාවිත කරන නිසා. ඊට අමතරව කොල්ලු, වදකහ, වැල්මී, සහිඳ ලුණු හා දෙහි යුෂ විවිධ අනුපාත වලින් යොදාගෙන නිශ්චිත පියවර ගණනාවක් ක්‍රමිකව පසුකරලා තමා මේ කල්කය හදන්නේ. (වෙදහාමිනේ මේ ක්‍රමවේදය පියවරෙන් පියවරට විස්තර කරන්න දැනගත්තත් මෙවන් පොදු ලිපියකින් එවැනි හෙළි කිරීම් කරල බහුජාතික සමගම් හොරුන්ට වට්ටෝරු දන්දීලා අපේ දේවල් අහිමි කර ගන්න උවමනාවක් නැති නිසා එහෙම කරන්නේ නැ. ) කාලෙකට කලින් ගමේ වෙදගෙදරක දි වුණත් අද දවසෙදි මහා පරිමාණ නිෂ්පාදනාගාර වල වුණත් රත කල්කය හැදෙන්නේ අනෙක් කල්ක වලට වඩා විශේෂ අවධානයකින්. ඒකට හේතුව තමා රත කල්කය නවජාත(අළුත උපන්) බිළිඳුන් සඳහාත් භාවිතා කරන ඖෂධයක් වීම. හැබැයි රත කල්කය ලබාදෙන්නේ නවජාත බිළිඳුන් සඳහා පමණක් නොවෙයි. තරමක් වැඩුණු දරුවන්ගේ ඉඳලා වැඩැහිටියන් දක්වාම රත කල්කය දෙන්න පුළුවන්. රතකල්කය සැදීමේදි යොදාගන්නා ඖෂධ සියුම්ව අඹරනවා. මේ නිසා තමා බටහිර වෛද්‍ය වරු “ඕවා පිරිසිදුව හදපුවා නොවේ... ගල්කුඩු හිටන් තියෙනවා“ යන චෝදනාව රත කල්කයට එරෙහිව ගේන්නේ. හැබැයි අද දවසෙදි අපි කන හාල් ඇටයක් ගානේ ආසනික් තියෙද්දි, කන එළවළුවක් ගානේ තව විවිධ රසායන බැර ලෝහ තියෙද්දි, මාළු කෑල්ලක ෆෝමලින් තියෙද්දි මේ කිසි දෙයක් මව් කිරි හරහා බිළිඳු ශරීරයට සංක්‍රමණය නොවෙනවා කියලා බටහිර වෛද්‍යවරු හිතනවාද? එහෙම තියෙද්දි ගලේ අඹරලා හදන රතකල්කේ කන්හැන්දක ගල්කුඩු හානිකර විදියට තියෙන්න පුළුවන්ද? අනෙක ගෙදරක මිරිස් ගලක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා, හැමදාම භාවිතා කරන මිරිස් ගලක් අඟල් කාලක් ගෙවෙන්න අවුරුදු දහයක් දොළහක් ගතවෙනවා. එහෙම නම් පැයක් දෙකක් බෙහෙත් අඹරද්දි ගෙවෙන්නේ කොච්චර කුඩා කොටසක්ද කියලා. බටහිර වෛද්‍යවරු ආඩම්බරයෙන් නිර්දෙශ කරන ලෝක ප්‍රකට වෙළඳ නාම සහිත නිෂ්පාදන වල ප්‍රමිතිය ගැන අදටත් ප්‍රශ්ණ තියෙනවා. ඒත් අලංකාර දැන්වීම් කරණයෙන් නිලංකාර වෙලා අපේ දේට ඇඟිල්ල දිගුකරන බටහිර වෛද්‍යවරුත් නටන මොණරුන් වගේ. ලස්සන ඉස්සරහ විතරයි.
නියමිත බර ඇතිව වෙනත් සංකූලතා කිසිත් නැති නවජාත බිළිඳෙකුට දින 21ක් සම්පූර්ණ වූ පසු රතකල්කය දීම ආරම්භ කළ හැකියි. ඒ සඳහා සුදුසුකම් සහිත දේශීය වෛද්‍යවරයෙකු වෙත දරුවා ඉදිරිපත් කර මාත්‍රාව හා අවස්ථා ගණන තිරණය කළ හැකියි. වෛද්‍යවරයෙකු ගාවට නොගිහින් සමහර අවස්ථා වල නිවසේදීම රත කල්කය දෙන අවස්ථාත් තියෙනවා. නමුත් වෙදහාමිනේ කියන්නේ නම් දරුවා දෛශීය වෛද්‍යවරයෙකු ‍වෙත ඉදිරිපත් කිරීම වඩා සුදුසු බවයි. පිළිගත් දේශීය වෛද්‍යවරයෙකු යෝජනා කරන ඕනෑම නිෂ්පාදකයෙකුගේ රතකල්කය ඇසුරුමක් දරුවා වෙනුවෙන් භාවිතා කරන්න පසුබට වෙන්න එපා. මොකද සෑම ආයුර්වේද නිෂ්පාදකයෙකම නියම ප්‍රමිතියෙන් මේ දේ සකසනවා. සාමාන්‍යෙයන් රත කල්කය ඇසුරුමක් ග්‍රෑම් 50ක්. මෙය වසර දෙකක පමණ කල් ඉකුත්වීමේ කාලයකින් යුක්තයි. ගෙදර ගෙන ආ පසුව හොඳින් සෝදා අව්වේ වියලාගත් වැසුම් සහිත භාජනයක රඳවා තබා වෛද්‍ය උපදෙස් මත නිසි කාල පරාසයකින් භාවිතයට ගැනීම සුදුසුයි. දින 21 බිළිඳෙකුට නම් නිර්දේශ කරන්නේ කොත්තමල්ලි ඇටයෙන් භාගයක තරම් ප්‍රමාණයක්. සංකූලතා සහිත දරුවෙක් නම් ටික දිනක් පමා කරලා සංකූලතා පහවූ පසු තමා රත කල්කය භාවිතා කරන්නේ. “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ කියලා බටහිර වෛද්‍යවරු තර්ක කරන්නේ ඔය කාරණය තමා. බටහිර වෛද්‍ය ක්‍රමයෙදි රෝගයකට ප්‍රතිකාර ලෙස ඖෂධ යොදාගන්නවා මිසෙක රෝග බෝවීම වැලැක්වීමට (එන්නත් හා පෝලියෝ බින්දු හැර) වෙනත් ඖෂධ භාවිතයක් නැහැ. දරුවෙකු ස්වභාවිකව බිහිවීමේදී ප්‍රසව මාර්ගයේදී සහ මුල්ම කිරි වල අඩංගු ප්‍රතිශක්ති කරණ ගුණයන්ගෙන් පසු ආයුර්වේදයෙන් නිර්දේශ කරන පළමු ප්‍රතිශක්තීකරන ඖෂධය තමා රත කල්කය. මේකෛන් වෙන්නේ ළදරු අවධියේ නිතර මතුවෙන ජීර්ණ අපහසුතා, උණ ගැනීම්, සමේ රෝග,රුධිර ගත විෂ හා සෙම ආදිය සමනය කිරීම. නිකමට මාස 6ට අඩු දරුවෙක් ඉන්න මවක් නම් ඔබ ඉහත හේතු නිසා (මතුවන රෝග ලක්ෂණ වන බඩ පිපුම, අජීර්ණය, කිරිවමනය, මළ බද්ධය, හමේ බිබිළි, සෙම, හෙම්බිරිස්සාව, තුවාල, වණ, උණ, ඇස්වල කබ.....)කී වරක් දරු පැටියා වෛද්‍යවරයා ළඟට රැගෙන යනවාද කියලා. ඉතින් රත කල්කය නිසි ලෙස භාවිතයෙන් සිද්ධ වෙන්නේ මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට අවස්ථා අහිමි වීම. ඉතින් මොන බටහිර වෛද්‍යවරයාද කැමති තමන්ගේ පාරිභෝගිකයෙක් අඩු වීමට. මේ නිසා තමා ඔවුන් “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ යැයි පවසමින් මේක ලබාදීම වැලැක්වීමට උත්සහ කරන්නේ. රත කල්කය දෙන මාත්‍රාව සඳහන් කළත් තාම දෙන විදිය කිව්වෙ නෑනේ. රත කල්කය විතරක් නෙවෙයි වෙනත් ඕනෑම දෙයක් නවජාත දරුවෙකුට ලබාදෙද්දි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම දේ පිරිසිදු කම. මව් කිරී දීමේදී පවා ඒක වැදගත්. මේ පිරිසිදු කම ගැන මව්වරු නොසිතීම නිසා දැන් මාතෘ සායන වලදි දරුවාට මාස6ක් දක්වා වතුර වත් පොවන්න එපා කියලා කියන්න තරම් වෛද්‍යවරු පෙළඹිලා. මුලින්ම නටන වතුරෙන් සේදූ තේ හැන්දකට මව් කිරි බිංදු 03-04ක් දොවාගෙන ඊට රත කල්කය නිර්දේශිත ප්‍රමාණය දියකරගන්න. එය කලින් සෝදා වේලාගත් කපුරෙද්දකින් නැවත හැන්දට පෙරාගෙන ලැබෙන ද්‍රාවණය දරුවාගේ දිවේ ගා වහාම මව් කිරි දෙන්න. මේ මාස තුනට වඩා අඩු දරුවන්ට රත කල්කය දෙන ක්‍රමය.ඊට වැඩි දරුවන්ට රතකල්ක ප්‍රමාණය කෙළින්ම දිවේ තවරා මව් කිරි දිය හැකියි. මව් කිරි වෙනුවට කොත්තමල්ලි තැම්බූ වතුරත් භාවිතා කළ හැකියි.
ඔන්න ඉතින් රත කල්කය ගැන කිව යුතු සියළු දේ කියලා ඉවරයි. හැබැයි ඉතින් පිළිගත වෛද්‍යවරයෙකු නිර්දේශ කරපු ප්‍රමාණයට වඩා අඩු මාත්‍රාවක්, අඩු වාර ගණනක් භාවිතා කරලා නිසි ප්‍රත්ඵල බලාපොරොත්තු වෙන්න එපා. රත කල්කය විතරක් නෙවෙයි මොනම ඖෂධයක් වත් නිසි මාත්‍රාවට වඩා අඩුවෙන් භාවිතා කරන්න එපා. එතකොට ලැබෙන සහනය තාවකාලිකයි. ඒ වගේම අපේ උරුමය, අපේ අයිතිය අපේ අවශයතා වෙනුවෙන් භාවිතා කරන්න එඩිතර වන්න. නිදහස් සෞඛ්‍ය සේවය කියල දෙයක් අපිට ලැබුණට ඒක ජාත්‍යන්තර බූවල්ලෙකුගේ දළ දඩු ග්‍රහණයට නතුවෙලා ඉවරයි. ඒක තුළ සැළසුම් සකස් වෙන්නේ අපේ ජනතාවට අවශ්‍ය විදියට නොවෙයි. වෙනත් විදේශ බලවේග වලට අවශ්‍ය විදියට. එහෙම සැලසුම් සකස් කරල ක්‍රියාත්මක කරන ගමන් අනෙක් පසින් වෙනත් මානයන්ගෙන් අපේ උරුමය එයාලගෙ කරගන්න සියුම් උත්සාහයක් ගන්නවා. එහෙම ගන්න බැරිනම් ලොකු වටිනාකමක් පෙන්වා විනාශ කිරීමක් දක්වා වුණත් යන්න ඒ බලවේග ක්‍රියාත්මකයි. කබර හූනන්, වල්ලාපට්ටා හා රතු කරපිංචා හරහා ක්‍රියාත්මක වෙන්නේ ඒ දේ තමා. ඉතින් හිතන්න, අපිම අපේ දේ වෙනුවෙන් පෙනී සිට රැක ගන්නවාද? නැතිනම් අනෙකෙකුගේ වුවමනාවට අපි අපේ අධ්‍යාත්මය දිය කර ගන්නවාද කියා? වෙදහාමිනේගේ ඩිස්පැන්සරිය ඉස්සරහ රෝගීන් පෝලිම් නොගැසෙන තරමට වෙදහාමිනේ සතුටුයි. එතකොට වෙදහාමිනේට හිතෙන්නේ අනේ මට ආදායම නැහැ කියා නොවෙයි. අද මේ රටේ ගොඩක් දෙනා සුවෙන් හා සතුටෙන් ඇති කියලයි. ඒත් හවස් වරුවට හන්දි හන්දි ගානේ බටහිර දොස්තර වරු ගාව හුස්ම ගන්න බැරි දරු පැටව් වඩාගෙන, වේදනාවෙන් ඉකි ගහන දරු පැටව් වඩාගෙන දොස්තරල එනකම් රැස්කකා බලාගෙන ඉන්න අම්මලාගෙ මලානික මුහුණු දකිද්දි ඔවුනගේ අනවබෝධය ගැන සියුම් කණගාටුවක් වෙද හාමිනේගේ ශරීරය පුරා විදුලියක් වගේ දුවනවා. එතකොට වෙදහාමිනේට හිතෙන්නේ “අනේ මගේ දරු පැටව් දෙන්නා කොච්චර වාසනාවන්තද“ කියලා මිසෙක වෙන දෙයක් නොවෙයි. Email - nagarjunaherble@gmail.com

වෙදහාමිනේ යළි කරලියට ..... විරාම ලකුණු රැසකට පසු අඛණ්ඩ ලිවීමකට සැරසෙමින්

වෙදහාමිනේගේ අඩවිය - සෑහෙන කාලයක් අළුත් ලිපියක් පළකරන්න අවස්ථාව ලැබුණෙ නෑ. ඒ වෙනුවෙන් වෙදහාමිනේගෙ පැත්තෙන් නිදහසට හේතු දක්වන් අවස්ථාවක් හැටියට තමයි මුල්ම ලිපිය යොදාගන්න බලාපොරොත්තු වෙන්නේ. 2010 අවුරුද්දේ කන්තලේ ගිය වෙදහාමිනේ වසර දෙකක දුෂ්කර කාලයක් ගෙවල ඉවර වෙලා 2012 අවුරුද්දේ ආපහු හුරුපුරුදු ගම්පහ කිට්ටුවට ආවා. ඒ එනකොට ආපහු සාමාන්‍ය රාජකාරී ජීවිතයට හැඩගැහෙන්න උත්සහයක් නොගත්තේ පෞද්ගලික ජීවිතේ අවශ්‍යතාවයන්ට මුල්තැන දෙන්න හිතුව නිසා. ඒ නිසා ගෙදර විවේකයෙන් ඉඳගෙන අධ්‍යාපනයේ ඉදිරි කටයුතුත් අළුත් ඖෂධ පන්තීන් ගැන පරීක්ෂණ කිහිපයක ප්‍රායෝගික සාර්ථකත්වය අත්හදා බැලීමත් වගේ සීමිත කටයුතු කිහිපයක් විතරයි සිද්ධ කලේ. 2010 ජනවාරි වල වෙදහාමිනේගේ අඩවිය ලියන්න ගන්න කොට මාස හයක පුංචි පුතෙකුගෙ මවක් වුණු වෙද හාමිනේ දැන් වයස අවුරුද්දක් වුණු තවත් පුංචි පුතෙකුගෙත් මවක් වෙලා. ඒ නිසා පසුගිය 2012 ඉඳල 2014 ජනවාරි වෙනකම් ඔවුනගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පූර්ණ කැපවීමක් කරන්න වෙදහාමිනේ කටයුතු කළා. රාජකාරී තනතුරු තානාන්තර මොනතරම් වටිනවා වුණත් ඒ හැම දේටම වඩා ගෘහණියක් මවක් බිරිඳක් විදිහට ගැහැණියකගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටු කරන්න මුල්තැන දිය යුතුයි කියලා තමයි වෙදහාමිනේ හිතන්නේ. 2014 ජනවාරි වල වෙදහාමිනේ තමන්ගේ රාජකාරි කටයුතු නැවත පටන් ගත්තා. ඒත් පූර්ණව නෙවෙයි. දැනට දවසක් හැර දවසක් විදියට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෙදහාමිනේ පූර්ණව රාජකාරියට එන්න තවත් මාස කිහිපයක් යාවි. ඒ වුණත් ඊට කලින් බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න වෙදහාමිනේ හිතුවෙ යාවත්කාලින නොවුණත් පසුගිය සමයේ බ්ලොග් අඩවියට ලැබුණු පිවිසීම් හා ප්‍රතිචාර ‍හිතුවටත් වඩා වැඩි මට්ටමක තියෙන නිසා. 2009-10ට සාපේක්ෂව දේශීය හා විදේශීය සිංහල පරිශිලකයන්ගේ ප්‍රමාණය ඉහළ යාම නිසා දැන් බොහෝ දෙනෙක් තමන්ගේ සාමාන්‍ය දෛනික අවශ්‍යතා වෙනුවෙන් අන්තර්ජාලයේ සහය ලබාගන්න පටන් ඇරගෙන. ඒ නිසා දුරකථනයෙන්, ඊමේල් මඟින් හා ප්‍රතිචාර ලෙස වෙදහාමිනේගෙන් ප්‍රතිකාර ගැන වෙනත් ලෙඩරෝග ගැන වගේම පොදු පැහැදිලි කිරීම් ගැන විමසීම් වල වැඩිවීමක් දක්නට තියෙනවා. 2009දි සිංහලෙන් ආයුර්වේද කතිකාවතක් ඇරඹූ පළමු බ්ලොග් අඩවිය වුණු වෙදහාමිනේගේ අඩවියට පසුව ඊටත් වඩා සක්‍රීයව ක්‍රියාත්මක වුණු වෙනත් ආයුර්වේද බ්ලොග් අඩවි හා වෙබ් අඩවි කිහිපයක් හඳුනාගැනීමේ හැකියාව වෙදහාමිනේටත් ලැබුණා. ඇත්තටම ඒ ගැන සතුටුයි. ඒත් දැනුම ප්‍රාග්ධනය වන ලෝකයක බුද්ධිමය කොල්ලකරුවන් ගහන සමාජයක අපේ දේ සියල්ල අමු අමුවේ වගකීමෙන් තොරව පළකිරීම වෙදහාමිනේ අනුමත කරන ක්‍රමය නොවේ. එවැනි බ්ලොග් අඩවි පවත්වාගෙන යන තරුණ වෛද්‍යවරුන් ඒ ගැනත් අවධානයට ගන්නවානම් හොඳයි කියලයි වෙදහාමිනේගේ යෝජනාව. කොහොම වුණත් අතීතයේදි ඉඩකඩම් වෙනුවෙන් යුද්ධ කෙරුණ වෙනුවට අනාගතයේ දී ප්‍රාග්ධන යුද්ධය සිදුවෙනු ඇත්තේ සයිබර් අවකාශය තුළ. ඒ වෙනුවෙන් වෙදහාමිනෙත් අළුත් විදියට හිතල අන්තර්ජාලය හා පරිගණක මාදුකාංග භාවිතා කරල අළුත් තාලෙ යොමුවීම් කිහිපයකට යෙදෙන්නත් අදහස් කරල තියෙනවා. ඒ ගැන විස්තර ළඟදිම කියන්නම්. 2010 ඉඳල 2014 වෙනකම් දුරකථනයෙන්, ඊමේල් මඟින් තොරතුරු විමසලා දුරු කතර ගෙවාගෙන හොයාගෙන ඇවිත් ප්‍රතිකාර ගත්තු රෝගීන්ටත්, ඈත දුරු රටවල ඉඳල විමසිම් කරලු උදවියටත් බොහෝමත් ස්තූති වන්ත වන ගමන් ඔබේ සමහර විමසීම් සදහා ප්‍රතිචාර පමාවීම හෝ නොලැබීම සිදුවුණා නම් ඒ ගැන කණගාටුවත් වෙදහාමිනේ මේ මොහොතේ සටහහන් කරන්නේ හදවතින්ම නැඟෙන ශෝකයෙන්. එහෙම නම් කාලෙකට පස්සෙ එන ආයුර්වේද ලිපිය තවත් පැය කිහිපයකින් බලාපොරොත්තු වන්න කියමින් හේතු දැක්වීම අවසන් කරනවා. Email - nagarjunaherble@gmail.com