Showing posts with label අදහස්. Show all posts
Showing posts with label අදහස්. Show all posts

ආයුර්වේදය ජාත්‍යන්තරයට ගෙනියන්න නම් - "පේයාව" පැකට් එකත් ඇති


අවශ්‍ය වෙන්නේ හොඳ දැක්මක් විතරයි - සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගොඩ

ලංකාවේ දේශීය වෙදකම ජාත්‍යන්තරයට රැගෙන යා යුතු බවත් එමඟින් විදේශ විනිමය ඉපයිය හැකි බවත් නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. එය ආයුර්වේදය සහ හෙළ වෙදකම පිළිබඳ නව රජයේ ප්‍රතිපත්තියෙහි වාචික අදහස ලෙස සැළකිය හැකිය. මන්ද නව ජනපතිවරයා එසේ කීවේ අලුත් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය දිවුරුම්දීමෙන් පසුව ඒ ඇමැතිවරුන් අමතමින් බැවිනි.

ජනපතිගේ ඒ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට කළ යුත්තේ කුමක්දැයි අප විමසුවේ සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක හෙට්ටිගොඩ මහතාගෙනි. ඊට හේතුව ඒ සමාගම දැනටත් ජර්මනිය, චෙක් ජනරජය හා ස්ලෝවැකියාව යන රටවල සිද්ධාලේප වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යාමය. එසේම ඇමෙරිකාව, ජපානය, චීනය, කොරියාව, තායිවානය, ඉන්දියාව ඇතුළු රටවල් 25කට අධික සංඛ්‍යාවකට සිද්ධාලේප ඖෂධ අපනයනය කරයි. එසේම ආයුර්වේද රෝහල් හා හෝටල් ද පවත්වාගෙන යයි.
Mr. Asoka Hettioda - Director Hettigoda Industries
 ආයුර්වේදය දියුණු කළොත් ගම දියුණු වෙනවා

දැන් අපේ රටේ තිබෙන්නේ අලුත් ආණ්ඩුවකි. ඉන්​නේ සෞඛ්‍ය ඇමතිවරියකි. අලුත් සංචාරක ඇමැතිවරයෙකි. අලුත් ජනාධිපතිවරයෙකි. දේශීය වෛද්‍ය ක්‍රමය ගැනම ක්‍රියාත්මක වීමට වෙනම ඇමැතිවරයෙක් ද සිටියි. ඒ සියල්ලන් එකතු වී අපේ දේශීය වෙදකම ලොව පුරා ප්‍රචලිත කිරීමට අලුත් මෙහෙයුමක් දියත් කළ යුතුය. 

අපේ වෙදකමට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය වගා කරන්නේ කොළඹ නොව පිටිසර ගම්මාන වලය. ඒ නිසා අපේ වෙදකම ලොව පුරා ව්‍යාප්ත කළහොත් ඉන් ලැබෙන ආදායම ගලා යන්නේ ඒ ගම්මාන වලය. අදටත් අපේ රටේ ගැමි ජනගහනය සියයට 80 ට වැඩිය. දැන් මෙරට නාගරික ජනගහනය සියයට 18.5 කි. නාගරික ජනගහනයට ජීවත් වීමට විවිධ ක්‍රම තිබේ. එහෙත් ග්‍රාමීය ජනතාවට ජීවත් වීමට තිබෙන ක්‍රම ඉතා සීමිතය. ඇතැම් ප්‍රදේශවල ජීවන මාර්ගයක් ඇත්තේම නැත. එවැනි ප්‍රදේශ හා එහි ජනතාව නගා සිටුවීම රජයේ වගකීමකි. ඒ සඳහා රජයකට බොහෝ දේවල් කළ හැකිය. එහෙත් කළ හැකි බොහෝ දේවල් කෙරී නැත. මෙතෙක් කිසිවෙක් නොකළ දේවල් නව රජයෙන්වත් විය යුතුය.
වික්ටර් හෙට්ටිගොඩ - නිර්මාතෘ හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරය

කාළගුණ විපර්යාස - වන සත්ව උවදුරු "ඖෂධ වගාවට" බලපාන්නේ නෑ

මුළු ලංකාවේම ගැමි ආර්ථිකය තිබෙන්නේ නොදියුණු මට්ටමකය. වියළි කලාපයේ තත්ත්වය ඉතා බරපතළය. ගංවතුර හා නියඟයට අමතරව දැන් වන සතුන්ගෙන් වන හානි නිසා ද ගැමි ආර්ථිකය වැනසෙයි. ගැමියන්ගේ කෘෂි භෝගවලින් සියයට 40ක් වන සතුන්ගෙන් වැනසෙන බව අනාවරණය වී තිබේ. ඒ නිසා ගැමි ආර්ථිකය දියුණු කිරීමට නව මං සොයාගත යුතුව තිබේ. ඖෂධ උයන්, ඖෂධ ගම්මාන, ඖෂධ නිෂ්පාදන ගම්මාන වැනි නව ව්‍යාපෘති මඟින් ගැමි ආර්ථිකය දියුණු කළ හැකිය. එවැනි ව්‍යාපෘති ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිය. අවශ්‍යවන්නේ නව දැක්මක් පමණකි. ගැමියන් වවන හදන බෙහෙත් විදෙස් රටවලට යැවූ විට ඒ රටවලින් ලැබෙන ඩොලර් යන්නේ අපේ දුප්පත් ගම්මානවලටය.


ලංකාව "දේශිය වෙදකම" ගැන හෑල්ලුවෙන් හිතන රටක් 

2019 ඔක්තෝබර් 05 වැනිදා අපි ලංකාවේදී ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත් වූයෙමු. හිටපු ජනපති හා හිටපු සෞඛ්‍ය ඇමැති සේම හිටපු සංචාරක ඇමැති ද ඊට ගෙන්වූයෙමු. ඒ සම්මන්ත්‍රණයට අප ගෙන්වූයේ ආයුර්වේද හා බටහිර වෙදකම කරන වෙනත් රටවල ආචාර්ය, මහාචාර්යවරුන්ය. ඒ උගතුන් පැමිණියේ ජර්මනිය, එංගලන්තය, ජපානය හා රුසියාව වැනි රටවලිනි. ඒ සෑම රටකින්ම පැමිණි සෑම ආචාර්ය මහාචාර්යවරයකුම සඳහන් කළේ ලංකාවේ දේශීය වෙදකම ජාත්‍යන්තරයට රැගෙන නොයන්නේ ඇයි ද යන්න ඔවුන්ට සිතාගත නොහැකි බවය. ඔවුන් එසේ කීවේ අපේ රටේ ජනපති, සෞඛ්‍ය ඇමැති හා සංචාරක ඇමැති ඉදිරිපිටදීය.
ආයුර්වේද ප්‍රතිකාර වෙනුවෙන්ම ලංකාවට එන සංචාරකයින්

ආතරයිටීස් වලට හොඳම වෙදකම "දේශීය වෙදකමයි"

අපේ සම්මන්ත්‍රණයට සහභාගි වූ ජර්මන් මහාචාර්යවරියක සඳහන් කළේ එරට වැසියන් වැඩි කාලයක් ජීවත් වුවත් ඔවුන් එසේ ජීවත් වන්නේ වේදනා කැක්කුම් සමග බවය. ඒ මහාචාර්යවරිය එහිදී අනාවරණය කළේ ජර්මනියේ බර්ලින් නුවර පිහිටි චරිටේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කළ පරීක්ෂණයකින් ආතරයිටිස්වලට ලෝකයේ තිබෙන හොඳම ප්‍රතිකාර ක්‍රමය පවතින්නේ ලංකාවේ දේශීය වෙදකමේ බව අනාවරණය කරගෙන තිබෙන බවය.
ලංකාවේ මෙච්චර දියුණු වෛද්‍ය ක්‍රමයක් තියෙද්දී බටහිර වෙදකම් කරන රෝහල් වැඩියෙන් තියෙන්නේ ඇයිදැයි ඒ ජර්මන් මහාචාර්යවරිය එහිදී අපෙන් ප්‍රශ්න කළාය. අපේ වාසනාවකට ඇය එසේ ප්‍රශ්න කළේ අපේ ජනපති හා සෞඛ්‍ය ඇමැති සිටි සභාවකදීය.


ආකල්ප වෙනස් කළොත් "පේයාව"ත් ඇති

 ඒ නිසා මේ අපේ වෙදකම දෙස බලන ආකල්පවල ලොකු වෙනසක් විය යුතුය. විශේෂයෙන්ම ඒ වෙනස ඇතිකර ගත යුත්තේ මැති ඇමැතින් හා ඉහළ නිල බලධාරීන්ය. උදාහරණයකට අපි මෙරට “පේයාව” නැමැති ඖෂධීය පානය ගනිමු. එය වා පිත් සෙම් කිපීමෙන් ඇතිවෙන උණ, සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත රුදාව හා හිසරදය සමනය කරන ඖෂධීය පානයකි. එය බීමෙන් ඒ සියලු ලෙඩ සනීප වෙන්නේදැයි විදේශිකයකුට ප්‍රශ්නයක් මතු විය හැකිය. ඒ ප්‍රශ්නය නිරාකරණය කළ යුත්තේ රජයේ මැදිහත් වීමෙන් ඒ ඖෂධය ගැන ජාත්‍යන්තරයට පිළිගත හැකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පර්යේෂණයක් කිරීමෙනි.
එවැනි නිසි පර්යේෂණයක් කළොත් ඒ බෙහෙතේ ගුණ ගැන අප කරන වර්ණනා සනාථ කරගත හැකිය. එසේම එහි අතුරු ආබාධ නැති බව ද ශරීරයේ සැඟවී තිබෙන ශක්තීන් ඉස්මතු වන බව ද ඒ පර්යේෂණයෙන් අනාවරණය වනු නියතය. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ එවැනි පර් ​ෙය්ෂණවලට අපේ රජය හෝ පර්යේෂණ ආයතනය යොමු නොවීමය.
හැමෝම දන්න ක්‍රිමිරාජ කරල් ගුලි දැන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන්

රාජ්‍ය තාන්ත්‍රික හමුවක අවසාන විනාඩි පහ "දේශිය වෙදකම"ට දෙන්න

අපේ රට නියෝජනය කරන මහ කොමසාරිස්වරු හා තානාපතිවරු විවිධ රටවල සිටිති. එසේම අපේ මැති ඇමැතිවරු ද රජයේ ඉහළ නිලබලධරයෝද විවිධ රටවලට යති එති. ඔවුන් යන විදෙස් සම්මන්ත්‍රණවලදී විදෙස් රාජ දූතයන් හමුවන අවස්ථාවලදී විනාඩි 5ක් අපේ වෙදකම ගැන කතා කළ යුතුය. එහි ප්‍රතිලාභ අපට නොව රටටය. උණක්, හිසරදයක්, ඇඟපත අමාරුවක් හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුණම මම බොන්නේ අපේ රටේ නිෂ්පාදනයක් වන "පේයාවයි" කියා ඒ මැති ඇමැතිවරුන්ට ඒ විදෙස් සම්මන්ත්‍රණවලදී කිව නොහැක්කේ ඇයි? එසේ නොකර අපට අපේ වෙදකම ප්‍රවර්ධනය කළ නොහැකිය. අප එසේ නොකරන්නේ ධීන මානසිකත්වය නිසාය. එහෙත් සුද්දෝ එසේ නොකරති. ඔවුහු ලංකාවේ දේශීය වෙදකම ගැන පර් යේෂණ කරති. එසේම ඒ තොරතුරු ලොව පුරා ප්‍රචලිත කරති. අප ඉහත කී ජර්මන් මහාචාර්යවරිය ඊට කදිම නිදසුනකි. 


පොෂ් නම් වලින් ආයුර්වේදය ගොඩගන්න බෑ


අපේ වෙදකමට වින කටින රාජ්‍ය ආයතන ද තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලය ඊට කදිම උදාහරණයකි. ඔවුන් අපේ වෙදකම හඳුන්වන්නේ සිංහල පාරම්පරික හෝ ආයුර්වේද යන නම් වලින් නොව “වෙල්නස් මෙඩිසින්” නමිනි. අපේ වෙදකම අර නම් වලින් හැඳින්වීම ඔවුන්ට ලැජ්ජාවකි. ඔවුන් කියන්නේ අර නම්වලින් හැඳින්වූවාට විදේශිකයන් ආකර්ෂණය කරගත නොහැකි බවය. ඒ මණ්ඩලයේ නිලධාරීන් කියන හැටියට විදේශිකයන් දේශීය වෙදකමට ආකර්ෂණය කරගත හැක්කේ අපේ වෙදකම ඉංග්‍රීසි නමකින් හැඳින්වීමෙනි. ඒ නිලධාරීන් කියන හැටියට අවුරුදු 200 ක් තිස්සේ මේ වෙදකමහි නිරත මෙය දැනටත් ජාත්‍යන්තරයට ගෙන ගිය අපට තිබෙන්නේ පටු දැනුමකි. පුළුල් දැනුමක් තිබෙන්නේ අපේ වෙදකමට නිග්‍රහ කරන ඔවුන්ටය. අපේ වෙදකමට විදේශිකයන් ආකර්ෂණය කරගත හැක්කේ එවැනි පුළුල් දැනුමක් තිබෙන ඔවුන්ටය.
අශ්වගන්ධ කරල් - ගෝලීය ආයුර්වේදයේ  නව නිෂ්පාදන

නව රජය අපේ මේ උරුමය විනාශ වීමට ඉඩ නොදිය යුතුය. වෙදකමේ දේශීය අනන්‍යතාව ප්‍රදර්ශනය වන්නේ දේශීය නමකින් එය හැඳින්වීමෙන් මිස ඉංග්‍රීසි නමකින් හැඳින්වීමෙන් නොවන බව ඒ නිලධාරීන්ට තේරුම් කර දිය යුතුය. මේ නම් වෙනස් කළ නොහැකි අයුරින් නව නීති සම්මත කරගත යුතුය. දැනට තිබෙන නීති ක්‍රියාත්මක කළ යුතුය. මේ නිලධාරීන් වනසන්නේ අපේ රටේ ජාතික උරුමයයි. අපේ අනන්‍යතාව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම නව රජයේ වගකීමකි. සුද්දන් මට දුන්නේ “ආයුර්වේද රත්න” නමින්ම හඳුන්වන සම්මානයකි. එහෙත් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ගේ තක්සේරුවට අනුව ආයුර්වේදය ගැන මා දන්නා කෙංගෙඩියක් නැත. සුද්දන්ගේ සහ කළු සුද්දන්ගේ වෙනස මගේ ඒ අත්දැකීමෙන්ම රටටම අවබෝධ කරගත හැකිය.


ඉන්දියාව අපට වඩා ඉදිරියෙන් - භූමියේ වාසිය අත්පත් කර ගමු

මීට මාසයක පමණ පෙර ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් ඉන්දියාවට පැමිණියාය. ඇගේ ඒ සංචාරය ගැන ඉන්දීය පුවත්පත් හැර ලොව අන් හැම රටකම පුවත්පත්වල පළ වූයේ ඇන්ජෙලා මර්කල් ඉන්දියාවේ සංචාරයක නිරත වූ බවය. එහෙත් ඉන්දීය පුවත්පත්වල පළවූයේ එතුමිය ඉන්දීය අගමැති සමග ආයුර්වේද වෙදකම ගැන සාකච්ඡා කළ බවය. ජර්මනිය යුරෝපයේ දියුණුම රටයි. අනාගත ලෝකයේ ආයුර්වේදයට ලැබෙන තැන යුරෝපයේ දියුණුම රට මැනවින් දනියි. ඒ රටේ ප්‍රධාන පුරවැසියා සේම රාජ්‍ය නායිකාව ද වන එරට චාන්සලර්වරිය ආයුර්වේද වෙදකම ගැන ඉන්දීය අගමැති සමග කතාකරන්නේ එහෙයිනි. දියුණු රටවල් බලන්නේ  අනාගතය ගැනය. ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය කරන්නේ අනාගතය ගැන සිතාය. ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකු අපේ වෙදකම ගැන විදෙස් නායකයන් සමග කතාකළ බවක් මම අසා නැත්තෙමි. එහෙත් දැන් ඒ සඳහා කාලය පැමිණ තිබෙන බව මගේ අවබෝධයයි, වැටහීමයි, තක්සේරුවයි.

2019 දෙසැම්බර් 04 - ලංකාදිප පුවත්පතේ පළවූ ලිපියකින් උපුටා, සංස්කරණය කළ පළකිරීමකි. 
සාකච්ඡා කර මුල් ලිපිය සම්පාදනය කලේ   - ගුණසිංහ හේරත්
Email - nagarjunaherble@gmail.com

බඩේ දැවිල්ලයි - උගුරට ඒමයි - කෑමයි බීමයි-දෙන දුක මේකයි - අම්ලපිත්තය හඳුනාගමු.

උප්පැන්න සහතිකේ ජාතිය සිංහල වුණාට ලෙඩක් දුකක් වුණත් හැදෙනව නම් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් නමක් තියෙන ලෙඩක් හැදෙනවාට කැමති ජාතියක් තමයි සිංහලයා කියන්නේ. එහෙම උජාරුවෙන් තමන් සතුවත් තියෙනවා කියල කැමැත්තෙන් කියන,  කාර්ය බහුල ජීවිතයක් ගත කරන බාල,තරුණ, මහළු බේදයකින් තොරව කාටත් වැළඳෙන රෝගයක් තමයි “අම්ලපිත්තය“. හැබැයි ගොඩක් දෙනා මේ රෝගය දන්නේ “ගැස්ට්‍රයිටීස්“ එහෙමත් නැත්නම් “ගැස්ටික්“ කියලා. මූලිකවම බඩ පපුවේ දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම, අජීර්ණය වගේ දේවල් තමා මේ රොගයේ ලක්ෂණ වෙන්නේ.

කොච්චර බෙහෙත් බිව්වත් හොඳ වෙන්නේ නෑ කියලා බොහෝ දෙනෙක් මේ දවස්වල අකුරු තුනක නමකින් එන කුඩා පැකට්ටුවක් වතුරේ දියකරලා බීලා තාවකාලිකව සැනසෙන්න බලන මේ රෝගය ආයුර්වේද ක්‍රමයෙන් නිට්ටාවටම සුව කරන්න පුළුවන්.

හැබැයි ඒ සුවකිරීම කරන්න නම් රෝගියෙක් විදියට අඩුම තරමේ මාස තුනක්වත් කැපවීමෙන් ආහාර හා දෛනික පිළිවෙත් අනුගමනය කරන්න එකඟ වෙන්න ඕන. මාළුවා නහින්නෙත් කට නිසා කියනවා වගේ අපිත් අපේ දෛනික ආහාර චර්යාවන් වැරදි විදියට අනුගමනය කිරීම තමයි මේ රෝගය වැළඳීමට මූලිකව හේතු වෙන්නේ.

ආයුර්වේදයේ හැඳින්වීම හැටියට අපට වැළඳෙන ඕනෑම රෝගයකට මුල්වෙන්නේ ත්‍රිදෝෂයින්ගෙන් එකක් හෝ කිහිපයක් කෝප වීම. “අම්ලපිත්තය“ සඳහා මූලිකවම බලපාන්නේ පිත කෝප වීම. ආයුර්වේද ශාස්ත්‍රයට අනුව පිත කොටස් දෙකකටබෙදෙනවා. ඒ ප්‍රකෘති පිත හා විදග්ධ පිත විදියට. මෙයින් විදග්ධ පිත තමා අම්ලපිත්තයේදී කෝප වෙන්නේ. විදග්ධ පිත ඇඹුල් රසයක් ගන්නවා. ඇඹුල් පිත - අම්ලපිත්තය විදියට තමයි නාමකරණය වෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් ගැස්ට්‍රයිටීස් කියලා කිව්වට බටහිර වෙදකමේ මේකට කියන නම "Hyper Acidity" .

බටහිර වෙදකමේදී අම්ලපිත්ත රෝගය හැදෙන හේතු තුනක් සඳහන් කරනවා.
01. ආමාශයේ හෝ බඩවැල් වල තුවාල ඇති විම
02. අධික දුම්පානය
03. නිසි පරිදි ආහාර නොදිරවීම තමයි ඒ හේතු තුන වෙන්නේ.

ආයුර්වේදයේ දී නම් ටිකක් ගැඹුරු විදියට පහත හේතු අම්ල පිත්තයට හේතු වෙනවා කියලා ලියැවිලා තියෙනවා.
01. සෘතු වලට නොගැලපෙන චර්යාවන්
02. එකිනෙකට නොගැලපෙන ආහාර වර්ග එකවිට භාවිතය
03. නරක් වූ ආහාර , සැර, ඇඹුල් හා පිත කිපෙන ආහාර බවර්ග නිතර ගැනිම
04. මෝරු , රා ආදී බිම වර්ගද, උඳු, මෑ ආදී රළු ආහාර නිතර භාවිතය
05. මානසික ව්‍යාකූලත්වය, අධික තෙහෙට්ටුව හා කුසීත බව
කියන හේතුන් නිසා පිත කෝප වීමෙන් අම්ලපිත්තය හට ගන්නා බවයි ආයුර්වේදය කියන්නේ.

ආයුර්වේදයට අනුව අම්ල පිත්තය කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් අනුව රෝගයේදී දැනෙන රෝග ලක්ෂණ පවා වෙනස් වෙනවා.
ඒ පහත පරිදි.
01. ඌර්ධව ගත අම්ලපිත්තය
02. අධෝගත අම්ල පිත්තය

ඌර්ධවගත අම්ලපිත්තය ට පිත විතරක් නොවෙයි සෙමත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම සුලභයි. අපි ට මේ රෝගයේ දී නිතර ඇසෙන රෝග ලක්ෂණ තමා දැනෙන්නේ. ඒ කියන්නේ බඩ පිපුම,  දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම, බඩ පුරවා දැමීම, පපුව සිරවීම,ඔක්කාර ගතිය වගේ දේවල්.


අධෝගත අම්ල පිත්තය දුලභයි. සෙම සම්බන්ධ නෑ. පිත විතරයි. ලක්ෂණ විදියට දැනෙන්නේ, පිපාසය, දැවිල්ල, කැරකිල්ල, සිහිමුර්ජාව, ඔක්කාරය, බඩගිනි අඩු බව, දහදිය ගැලීම, කටින් කෙල වැගිරීම, සමේ පලු මතුවීම වගේ දේවල්.

මේ නිසා බොහෝ වෛද්‍යවරු පවා මේ තත්වය අඳුනගන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට රෝගියාගෙන් එක එක වාර්තා ගෙන්වගෙන බලලා  ප්‍රතිකාර ලැබෙන්නේ වෙනත් රෝගයකට. ඒ නිසා රෝගියා අසරණ වෙන අවස්ථා වැඩියි.

ඒ නිසා රෝගියා තමන්ගේ වෛද්‍යවරයා සහ ප්‍රතිකාර ක්‍රමය හොඳ සිහියෙන් තෝරාගැනිමකට ලක්කළ යුතුයි.

මේ රෝගය සෑදුනු කෙනෙක් ඉන්නවානම් වහාම මාස කිහිපයක ප්‍රතිකාර පන්තියකට දායක වී පළමුව තමන්ගේ රෝගී තත්වයෙන් මිදිය යුතුයි. ඒ සඳහා ඔබේ තෝරාගැනීම ආයුර්වේද ක්‍රමය නම් වෙදහාමිනේට වුණත්, වෙනත් පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙකුට වුණත් මෙම රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ සඳහා ගතවෙන කාලය අවමව මාස යක් හෝ දෙකක් විය හැකියි. නමුත් එහි උපරිමය තීරණය වෙන්නේ රෝගියාගේ රෝග තත්වයේත්, ඔහුගේ උනන්දුව හා පරෙස්සමේත් ප්‍රමාණය මත.ප්‍රතිකාර කිරීමේදී රෝගය නැවත ඇතිවීම වළක්වා ගන්නා ක්‍රමත් ඔබේ ආයුර්වේද වෛද්‍යවරයා විසින් ඔබව දැනුවත් කරාවි.

රෝගය දැනට නොවැළඳුනු එහෙත් පෙර දක්වා තිබෙන රෝග කාරක හේතු වලට නිරන්තර මුහුණ දෙන කෙනෙක් නම් හෝ රෝගය ප්‍රතිකාර මඟින් සුව කරගත් අයෙක් නම් පහත උපදෙස් පිළිපැදීමෙන් නැවත රෝගය මතුවීම වළක්වාගත හැකියි.

*- අධික ලෙස ශිත කළ බිම වර්ග හා කාබනිකාත බීම වර්ග නිරන්තර භාවිතයෙන් වැළකීම. බබල්ගම් වැනි කෙළග්‍රන්ථී උද්දීපනය කරන රසකැවිලි භාවිතයට නොගැනීම. (බුලත්විට වුණත් අධිකව භාවිතය නරකයි.)
*- දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා නියමිත කාලසටහනක් පවත්වාගැනීම. ඒවා අතර අවම පැය හයක පරතරයක් පවත්වා ගැනීම.
*- ප්‍රධාන ආහාර වේල් දෙකක් අතර (මද උණුසුම් නම් වඩා හොඳයි) වතුර වීදුරු තුනක් වත් පානය කරන්න.
*- තේ හෝ කෝපි පානය හැකිතරම් සීමා කරන්න. ඒ වෙනුවට රස නොකළ කිරි හෝ පළතුරු /ඔසුපැන් වලට හුරුවන්න.
*- ප්‍රධාන ආහාර වේල් අතර තුර කුසගින්නක් නොදැනේ නම් කිසිදු කෙටි ආහාරයක් නොගන්න. එසේ ගන්නේ නම් තෙල් රහිත හා අළුතෙන් සැකසූ  කෙටි ආහාරයක් ගෙන  ප්‍රධාන ආහාරය ගැනීමට පැය තුනකවත් කාල අන්තරයක් තබාගන්න. ඒ අතර තවත් එක් වතුර වීදුරුවක්වත් වැඩිපුර පානය කරන්න.
*- අධික තෙල්, වියළිමිරිස්,කුළුබඩු  යෙදූ ආහාර , ඇඹුල් ආහාර, අබ, විනාකිරි, සැමන්, රටදෙල්, ඌෂ්ණ මාළු හා කරවල, ගෝවා, මුරුංගා මාළුමිරිස් අච්චාරු ආදිය අධික ලෙස අහාරයට නොගන්න. (වැළඳී ඇති අයට මේවා ස්වල්පයක්වත් හොඳ නැත.)
*- මානසික ඒකාග්‍රතාවය - නිදහස පවත්වාගෙන යන්න. අධික ලෙස නිදි වැරීම, අලසව හිඳීම, ත්‍රාසජනක හා අවේගශීලි ක්‍රියාකාරකම් වලින් , ගැටළු පිළිබඳ දිගින් දිගටම කල්පනා කිරීමෙන් වළකින්න.
*- එවැනි අසහනකාරී අවස්ථාවකදී යහපත් මිතුරන්, තමන්ගේ ආගම හෝ පුවත්පත් කියැවීමකින් ඉක්මනින් මානසික සහනය කරා යොමුවීමට කටයුතු කරන්න.

රෝගය වැලඳුනු හා නොවැලඳුනු අයට යෝග්‍ය ආහාර වන්නේ...
*- එළකිරි, කුඩා මාළු, සියළු පළා වර්ග, පළතුරු, තැඹිලි, කුරුම්බා, කැකිරි, කොහිල, පොලොස්, කවපි හා මුංඇට අනෝදා, ගම්මිරිස්, සුදුළූණු, උළුහාල්, බතල, වට්ටක්කා ආදියයි.

තාවකාලිකව සැනසෙන්න කියලා දේශීය හෝ බටහිර ඖෂධයක් නොවන වාණිජ අරමුණක් ඇති නිෂ්පාදන වලට යොමුවීමෙන් වෙන්නේ රෝගය තව තවත් උත්සන්න වීම විතරයි. අනෙක ඇඹූල් රසට උගුරට එන ආම්ලික රෝග තත්වය සමනයට භාෂ්මික දෙයක් ගැනීම විය යුතුයි කියන සාමාන්‍ය දැනීමත් අතහැරලා සිට්රික් අම්ලය සහිත දෙයක් ගැනීමෙන් ආමාශය තවත් ආම්ලික වීමක් නේද වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න.

ආයුර්වේදයේ අපිටත් තාවකාලික සහනයන් දෙන්න නිෂ්පාදන සකසන්න පුලුවන්. ඒත් වැදගත් වෙන්නේ තමන්ගේ රෝගයේ තත්වය වටහාගන්න වෛද්‍යවරයෙකුගෙන්ම ප්‍රතිකාර ගැනීම. ඒ වෙනුවෙන් දිගින් දිගටම පැමිණීමට නොහැකි කාර්ය බහුල ඔබ වෙනුවෙන් දුරස්ථ ප්‍රතිකාර ක්‍රම පවා ආයුර්වේද වෛද්‍යවරියක් හැටියට වෙදහාමිනේ සතුව තියෙනවා. අනෙක් සෑම ආයුර්වේද වෛද්‍යවරයෙක් ගාවත් මේ සඳහා නිට්ටාවට සුව වෙන ප්‍රතිකාර තියෙනවා. අවශ්‍ය වෙන්නේ රෝගියෙක් හැටියට ඔබගේ කැපවීම හා උනන්දුව විතරයි.

ඔබගේ අදහස් හා විමසීම් සඳහා අප අමතන්න පිටුවේ පෝරමය භාවිතා කරන්න. තෙරුවන් සරණයි!.

Email - nagarjunaherble@gmail.com

වැඩිදුරටත්.................

අපගේ බ්ලොග් අඩවිය ආයුර්වේදය, ජ්‍යොතිෂ්‍යය, දේශීය කෘෂිකර්මය හා ආශ්‍රිත අංශ පිළිබඳවත් සාකච්ඡා කෙරෙන පූර්ණ වෙබ් අඩවියක් බවට පත් කරන්න අදහසක් තියෙනවා. දැනටමත් එහි මූලික පියවර කිහිපයක් අරන් තියෙනවා. ඉතින් තරුණ වෛද්‍යවරුන් හැටියට අපේ අඩුපාඩුකම් හඳුනගෙන අළුත් ගමනක් යන්න හිතන හැමදෙනාමත් එකතු කරගෙන “වෙදහාමිනේගේ අඩවිය“ අළුත් ආකෘතියකින් ඉදිරියට ගෙනියන්නයි වෙදහාමිනේගේ සූදානම.එහිදී පාඨකයින් හැටියට අපේ අඩවියේ වෙන්න ඕන වෙනස්කමගෙැන අදහස් වගේම, ලිපි හා අදහස් සැපයීමෙන් දායක වෙන්න පුළුවන් උපාධිධාරී හෝ පාරම්පරික වෛද්‍යවරුන් හා අනෙකුත් ක්ෂේත්‍ර වල ප්‍රමානික උගතුන්ගේ සහායත් ‍වෙදහාමිනේ බලාපොරොත්තු වෙනවා. ඔබගේ අදහස් හා විමසීම් සඳහා අප අමතන්න පිටුවේ පෝරමය භාවිතා කරන්න.
ස්තූතියි! 

මොනවද මේ වෙද ගැට?

ආයුර්වේද වෙදකම ගැන එහෙමත් නැත් නම් සිංහල වෙදකම එක්ක බැඳිච්ච අපූර්ව සාහිත්‍යාංග ගණනාවක් තියෙනවා. කවි, ශ්ලෝක, ගැටපද ඒ අතරින් ප්‍රධානයි. මේ සාහිත්‍යාංග වලට පොදු ව්‍යවහාරෙදි නම් කියන්නේ වෙදගැට කියලා.ඇත්තටම ‍මේ වෙද ගැට කියන්නේ මොනවාද? මේවායේ වැදගත් කම මොකද්ද? කියලා තමයි මේ ලිපියෙන් කතා කරන්න හිතුවේ. 



පොතේ පතේ ලියැවෙනවට වඩා පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආපු අපේ දේශීය වෙදකම මූලික කරගත් ආයුර්වේදය සංක්‍රමණය වුණේ කටපාඩමින්. පොතක පතක රැඳෙන දැනුමකට වඩා වැඩි වටිනාකමක් 
ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත රැඳෙන්න මේ කටපාඩමින් රැකගෙන ආ දැනුම වැදගත් වුණා. ඒ නිසාම මේ දැනුම බුද්ධි හීන , සටකපට  වැරදි පුද්ගලයින් අතට සංක්‍රමණය වීම  සම්පූර්ණයෙන්ම වැළකුණා. නමුත් කිසියම් හෝ මොහොතක මෙම රහස් වට්ටෝරු නොවැදගත් කෙනෙකු අතට පත්වුනත් ප්‍රෙයා්ජනයක් අත් නොවෙන විදියට ආයුර්වේද යේ කවි, ශ්ලෝක ආදිය වෙත ව්‍යාංගාර්ථයෙන් තේරුම ලැබෙන ලෙස සාහිත්‍යමය වටිනාකමකුත්  ආරෝපණය කළහම තමයි “වෙදගැට“ කියන අපූරු නිර්මාණය බිහිවුණේ. 

වෙදගැට කියන්නේ සෑම විටෙකම කවි හා ශ්ලෝක විතරක් නෙවෙයි. සමහර වෙද පරම්පරා වල ප්‍රස්ථාව පිරුළු ආකෘතියේ වෙදගැට පවා තියෙනවා. මේ විදියටම සැකැසුණු දහම් ගැටත් තියෙනවා. “විෂඝෝර සර්පයා - දැක නෑරු මෝඩයා“ කියන්නේ ඒ විදියේ දහම් ගැටයක්. (ඒකේ තේරුම තණ්හාව නැති කර ගැනීමට පෘථ:ජනයින් උත්සුක විය යුතුයි කියන එකයි.)  අතීතයේදී නම් පරම්පරාවෙන් පරම්පරාවට මේ දැනුම නිසි ලෙස සංක්‍රමණය වුණු නිසා  ගැටළුවක් වුණේ නෑ. ඒත් ඇත්තටම වර්තමානයේදී බොහෝ පාරම්පරික වෙද මහත්වරුන්ට තමන්ගේ මරනෙන් පස්සේ මේ වෛද්‍ය ශාස්ත්‍රය ලබාදෙන්න හරි හමන් වැඩපිලීවෙලක් නෑ. නමුත් පරම්පරාවේ දැනුම පිට කෙනෙකුට දෙන්න හිතේ පුංචි අකමැත්තකුත් තියෙන නිසා වෙදපොත්, ශ්ලෝක, වෙදගැට, සේරම දේවල් අදාළ වෙද මහත්මයාගේ වියෝවෙන් විනාශ වෙන්න හේතුවක් වෙලා. ඒ අයගේ දරු මුණුබුරන්ට මේ දේවල් ගැන වටිනාකමක් අවබෝධයක් නැති නිසා වෙදපොත් ටිකත් අවසානෙදි විකිණෙන්නේ බෝතල් පත්තර කඩේට. මේ ගැන මෙයට පෙර වෙදහාමිනේ ලියූ ලිපිය හා ඒ දේවල් රැකගන්න කරපු යෝජනා මෙතැනින් බලන්න.

වෙදගැටයක් තුළ කිසියම් රෝගයක ලක්ෂණ, ඊට අදාළ ප්‍රතිකාර, ඖසධ මාත්‍රාව ආදිය වෛද්‍ය දැනුම ඇති අයෙකුට තේරුම් ගන්න පළුවන් ආකාරයටනිසි ලෙස පහදලා තිබුණා.  ගොඩක් දෙනා දන්න රහසක් නොවන “වෙදගැට“යක් හා එහි දළ තේරුම පහත දක්වන්නේ වෙදගැට ගැන පුංචි අදහසක් “වෙදහාමිනේගේ අඩවියේ “ පාඨකයින්ට දැනගන්න එක්ක.

කුට මුත නාගරා අඹු සොඳ කටකාරී - අට අඹු ගෙනා සිටි අඹූ එකටම බේරී
සිටි අඹු කණා සුණු ලා පස්දින නෑරී - අටවන ජොරා බැට කාගෙන යයි බේරී


දැන් මේක සරලව කියෙව්වහම පවුලක අඹුවන් අතර සිදුවූ සිද්ධියක් වගේ තමයි පේන්නේ. ඒත් මේකේ සඳහන් වෙන්නේ ආයුර්වේදයේ බෙදීම් අනුව අට වැදෑරුම් වන උණ වර්ග සියල්ලටම එකසේ භාවිතා කළ හැකි ඖෂධ යෝගයක්. (එහෙමයි කියලා නොදන්න කෙනෙකුට මේක භාවිතා කරන්න බැරි රෝගීයාගේ බල දුබලතාවය, රෝග තත්වය, ආශ්‍රිත තත්ව අනුව තවත් ඖෂධ එක්රැස් කිරීම්, ඉවත් කිරීම් කළ යුතු නිසා.) මේ සඳහා වන කෂායේ සුවඳ කොට්ටම්, රසකිඳ, වියළි ඉඟුරු, ඉරිවේරිය, කටුවැල්බටු ආදිය තිබෙන බව මේ කවියේ පළමු පදයෙන් න් කියැවෙනවා. ඒ වගේම එක් තැනක අඹු කියලා ඖෂධයකට කිව්වට තවත් තැනකදි අඹු කියන්නේ ජලයට. බොහෝ දෙනා අතර කෂාය සඳහා ප්‍රසිද්ධ වාක්‍යයක් වන වතුර පත අට එකට හිඳින්න කියන එක තමයි දෙවැනි පේලියේ “අට අඹු ගෙනා සිටි අඹූ එකටම බේරී“ කියල සඳහන් වෙන්නේ. තුන්වැනි පදයේ තියෙන්නේ කෂායට යොදන අනුපාන හා භාවිතා කළ යුතු කාලය ගැන. 

ඉතින් ඔබට හිතාගන්න පුළුවන්ද මහා සාගරයක් වගේ විෂය පථයක් තියෙන ආයුර්වේදයේ සම්පූර්ණ උණ රෝග සඳහාම ඖෂධ එක් කවියක සුන්දර පද හතරකට කැටි කරගන්න පුළුවන් වීම ගැන. ඒ නිර්මාණශීලීත්වය, පර්යේෂණ නොපැවත්වීම, අත්හදාබැලීම් නොකිරීම වගේ දේවල් අද දවසේ ආයුර්වේද වෛද්‍යවරුන්( විශෙෂයෙන් පාරම්පරික වෛද්‍යවරුන්) අතර නැතිවීම නිසා තමයි ආයුර්වේදයේ ප්‍රගමනයක් දක්නට නොලැබෙන්නනේ. ඒ වගේම තමයි ජාතියක් හැටියට එකිනෙකා අතර නිසි එකමුතුවක් - සම්බන්ධතාවයක් නැතිවීමත් නිසා ත් අපේ වෙදකම අභාවයට යනවා. ඉතින් තරුණ වෛද්‍යවරුන් හැටියට අපේ අඩුපාඩුකම් හඳුනගෙන අළුත් ගමනක් යන්න හිතන හැමදෙනාමත් එකතු කරගෙන “වෙදහාමිනේගේ අඩවිය“ අළුත් ආකෘතියකින් ඉදිරියට ගෙනියන්නයි වෙදහාමිනේගේ සූදානම.
                                           
ඒ කෙදි පාඨකයින් හැටියට අපේ අඩවියේ වෙන්න ඕන වෙනස්කමගෙැන අදහස් වගේම, ලිපි හා අදහස් සැපයීමෙන් දායක වෙන්න පුළුවන් උපාධිධාරී හෝ පාරම්පරික වෛද්‍යවරුන්ගේ සහායත් ‍වෙදහාමිනේ බලාපොරොත්තු වෙනවා.

දැනටමත් පසුගිය ලිපිය ලියද්දි තිබුණට වඩා අපේ බ්ලොග් පිටුවේ ආකෘතිමය වෙනස් වීම් සිදුවෙලා තියෙනවා ඔබ දකින්න ඇති. ඒ අනුව ජ්‍යොතිෂ්‍ය පිටුවකුත්, ඔබේ ගැටළු සඳහා පිළිතුරු ළබාදීමේ සේවාවකුත් අපි අළුතෙන් ආරම්භ කළා. ඒවායෙන් ප්‍රාෙයා්ජන ගන්නා ලෙස වෙදහාමිනේ කාරුණිකව ඉල්ලා සිටිනවා. එහෙම නම් අළුත් ලිපියකින් ළඟදීම හමුවෙමු.  ආයුබෝවන්.
Email - nagarjunaherble@gmail.com

දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා

ඔබ විවාහකයෙක් නම් ඔබේ ඊළඟ අරමුණ සුන්දර දරු සිඟිත්තෙකු කැදැල්ලට කැඳවා ගෙන ඒම. ඒක එහෙම නම් ඔබට මේ ලිපිය වැදගත්. ඔබ ඔබේ දරුවා හදා වඩා ගන්නේ කාගේ වුවමනාවටද? අතීතයේදී නම් ඔබේ දරුවා හදාගන්න ඔබට උපදෙස් අනුශාසනා දෙන්නේ ඔබ දෙපළගේ මව්වරු හෝ වැඩිමහල් සොයුරියන්. නාවන හැටි, කිරි පොවන හැටි, බෙහෙත් දෙන හැටි, කෑම බීම සකසන විදිය ආදිය ගැන දැන හුරුවෙන්, කළ හුරුවෙන් උපදෙස් ලබාදුන්නේ ඒ අය. ඒත් අද දවස වෙද්දි ඒ කාර්යය පැවරිලා තියෙන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවට හෝ වෛද්‍යවරයාට.අද දවසේ බටහිර වෛද්‍යවරු කියන්නේ සමාගම් ගණනාවක අලෙවි නියෝජිතයින්. දරුවාට දෙන යෝගට් එකේ ඉඳල කිරිපිටි වර්ගයේ විටමින් වර්ගයේ වෙලඳ නාමය තිරණය කරන්නේ ඔවුන්. එතැනදී බටහිර වෛද්‍යවරුන් බොහොමයක් තමන්ගේ වෘත්තීය ගරුත්වය පැත්තකට දාලා තමන්ගේ පාරිභෝගිකයින් (රෝගීන් කියන්න බැරි ඔවුන්ගෙ තියෙන්නේ වාණිජ අරමුණක් නිසා) අවස්ථානුකූලව තෘප්තිමත් කරලා දිගුකාලීන වෙලඳපොලක් තනාගන්නවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන දහසින් බැඳි පියළි වලින් තමන්ගේ ප්‍රභාව වර්ධනය කරගෙන ඒකම යළි යළිත් පාවිච්චි කරන්නේ තමන්ගේ වෙළඳ ආයතන පෝෂණය කරන්න. වර්තමාන ක්‍රමවේදය අනුව ගර්භීණී භාවය භයානක අවස්ථාවක් හැටියට හඳුන්වලා දීලා ඉක්මන් ලියාපදිංචි වීම්, පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුම්වත් කිරීම්, සායනයට සහභාගී වීම් ආදිය වහාම ක්‍රියාත්මකකළ යුතු දේවල් හැටියට දක්වලා ආරම්භයේ සිටම වෛද්‍යවරයාගේ අත්අඩංගුවට ගැබිණී මවව පත් කර ගන්නවා. එතැන් සිට නියම කරන යකඩ පෙත්තේ ඉඳල දරුවට මාස හයක් හතක් පහු වෙනකම් මේ අත්අඩංගුව ඒ විදියටම ක්‍රියාත්මකයි. (පෞද්ලිකව වෙදහාමිනේ නම් යකඩ පෙති බිව්වෙවත්, වෛද්‍යවරු චැනල් කළේ වත් , ස්කෑන් කලේ වත් නෑ. හැබැයි නිසි අවබෝධයෙන් තොරව ඔබට එහෙම නොකර ඉන්න යෝජනා කරන්නෙත් නෑ.) දරුවා ලැබුණාට පස්සේ කායම් හොද්ද හදන තැන ඉඳල, වෙනිවැල්ගැට තම්බා නෑවීම්, රන් කිරි කට ගෑම්, ගම්මිරිස් පිඹීම්, රත කල්කය දීම් සමහර තැන් වල දෙමව් පිය වැඩිහිටි අවබෝධයෙන් අද දක්වා කෙරුණත් ඒවා කෙරෙන්නේ වෛද්‍යවරුන්ට, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට රහසේ. මොකද දැනගත්තොත් දහසකුත් ප්‍රශ්ණ. සායනයෙදි පසිද්ධියේ බැණ වැදීම් දක්වා මේ තත්වය උඩු දුවන තත්වයක් තමා අද වන විට තියෙන්නේ. (හැබැයි සිංහල අපි අපේ සාම්ප්‍රදායික වත් පිළිවෙත් පහත් කරල මඟ ඇරල ගියාට දෙමළ ජනතාව මොන ප්‍රශ්ණ මැද වුණත් තම සාම්ප්‍රදායික වත් පිළිවෙත් නවජාත බිළිඳුන් වෙනුවෙන් අනිවාර්යයෙන් කරන්න එඩිතරයි.) රජයේ සායන වලින් බැහැරව පෞද්ගලික චැනල් වෛද්‍යවරයාගෙන් පවා මේ වත් පිළිවෙත් කරන්නද ඇහුවොත් “ඇයි ඒවා දෙන්නේ.. අපේ බෙහෙත් හොඳ නැද්ද?“ “ඕවා පිරිසිදුව හදපුවා නොවේ... ගල්කුඩු හිටන් තියෙනවා“ “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ වගේ සෘණාත්මක ප්‍රතිචාර තමා ලැබෙන්නේ.
අද දවසේ වෙදහාමිනේ සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ කුඩා දරුවන්ට දෙන රත කල්කය ගැන. රත කල්කය කියන්නේ මොකද්ද? ඒක වැදගත් වෙන්නේ ඇයි? දිය යුත්තේ කොපමණ මාත්‍රාවකින්ද? වගේ දේවල් තමා වෙද හාමිනේ මෙම ලිපියෙන් සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ. රත කල්කයට දෙසඳුන් කල්කය කියලත් කියනවා. එහෙම කියන්නේ රත් හඳුන් හා සුදු හඳුන් කියන දෙවර්ගයම මෙම කල්කය සැදීමට වැඩි ප්‍රතිශතයකින් භාවිත කරන නිසා. ඊට අමතරව කොල්ලු, වදකහ, වැල්මී, සහිඳ ලුණු හා දෙහි යුෂ විවිධ අනුපාත වලින් යොදාගෙන නිශ්චිත පියවර ගණනාවක් ක්‍රමිකව පසුකරලා තමා මේ කල්කය හදන්නේ. (වෙදහාමිනේ මේ ක්‍රමවේදය පියවරෙන් පියවරට විස්තර කරන්න දැනගත්තත් මෙවන් පොදු ලිපියකින් එවැනි හෙළි කිරීම් කරල බහුජාතික සමගම් හොරුන්ට වට්ටෝරු දන්දීලා අපේ දේවල් අහිමි කර ගන්න උවමනාවක් නැති නිසා එහෙම කරන්නේ නැ. ) කාලෙකට කලින් ගමේ වෙදගෙදරක දි වුණත් අද දවසෙදි මහා පරිමාණ නිෂ්පාදනාගාර වල වුණත් රත කල්කය හැදෙන්නේ අනෙක් කල්ක වලට වඩා විශේෂ අවධානයකින්. ඒකට හේතුව තමා රත කල්කය නවජාත(අළුත උපන්) බිළිඳුන් සඳහාත් භාවිතා කරන ඖෂධයක් වීම. හැබැයි රත කල්කය ලබාදෙන්නේ නවජාත බිළිඳුන් සඳහා පමණක් නොවෙයි. තරමක් වැඩුණු දරුවන්ගේ ඉඳලා වැඩැහිටියන් දක්වාම රත කල්කය දෙන්න පුළුවන්. රතකල්කය සැදීමේදි යොදාගන්නා ඖෂධ සියුම්ව අඹරනවා. මේ නිසා තමා බටහිර වෛද්‍ය වරු “ඕවා පිරිසිදුව හදපුවා නොවේ... ගල්කුඩු හිටන් තියෙනවා“ යන චෝදනාව රත කල්කයට එරෙහිව ගේන්නේ. හැබැයි අද දවසෙදි අපි කන හාල් ඇටයක් ගානේ ආසනික් තියෙද්දි, කන එළවළුවක් ගානේ තව විවිධ රසායන බැර ලෝහ තියෙද්දි, මාළු කෑල්ලක ෆෝමලින් තියෙද්දි මේ කිසි දෙයක් මව් කිරි හරහා බිළිඳු ශරීරයට සංක්‍රමණය නොවෙනවා කියලා බටහිර වෛද්‍යවරු හිතනවාද? එහෙම තියෙද්දි ගලේ අඹරලා හදන රතකල්කේ කන්හැන්දක ගල්කුඩු හානිකර විදියට තියෙන්න පුළුවන්ද? අනෙක ගෙදරක මිරිස් ගලක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා, හැමදාම භාවිතා කරන මිරිස් ගලක් අඟල් කාලක් ගෙවෙන්න අවුරුදු දහයක් දොළහක් ගතවෙනවා. එහෙම නම් පැයක් දෙකක් බෙහෙත් අඹරද්දි ගෙවෙන්නේ කොච්චර කුඩා කොටසක්ද කියලා. බටහිර වෛද්‍යවරු ආඩම්බරයෙන් නිර්දෙශ කරන ලෝක ප්‍රකට වෙළඳ නාම සහිත නිෂ්පාදන වල ප්‍රමිතිය ගැන අදටත් ප්‍රශ්ණ තියෙනවා. ඒත් අලංකාර දැන්වීම් කරණයෙන් නිලංකාර වෙලා අපේ දේට ඇඟිල්ල දිගුකරන බටහිර වෛද්‍යවරුත් නටන මොණරුන් වගේ. ලස්සන ඉස්සරහ විතරයි.
නියමිත බර ඇතිව වෙනත් සංකූලතා කිසිත් නැති නවජාත බිළිඳෙකුට දින 21ක් සම්පූර්ණ වූ පසු රතකල්කය දීම ආරම්භ කළ හැකියි. ඒ සඳහා සුදුසුකම් සහිත දේශීය වෛද්‍යවරයෙකු වෙත දරුවා ඉදිරිපත් කර මාත්‍රාව හා අවස්ථා ගණන තිරණය කළ හැකියි. වෛද්‍යවරයෙකු ගාවට නොගිහින් සමහර අවස්ථා වල නිවසේදීම රත කල්කය දෙන අවස්ථාත් තියෙනවා. නමුත් වෙදහාමිනේ කියන්නේ නම් දරුවා දෛශීය වෛද්‍යවරයෙකු ‍වෙත ඉදිරිපත් කිරීම වඩා සුදුසු බවයි. පිළිගත් දේශීය වෛද්‍යවරයෙකු යෝජනා කරන ඕනෑම නිෂ්පාදකයෙකුගේ රතකල්කය ඇසුරුමක් දරුවා වෙනුවෙන් භාවිතා කරන්න පසුබට වෙන්න එපා. මොකද සෑම ආයුර්වේද නිෂ්පාදකයෙකම නියම ප්‍රමිතියෙන් මේ දේ සකසනවා. සාමාන්‍යෙයන් රත කල්කය ඇසුරුමක් ග්‍රෑම් 50ක්. මෙය වසර දෙකක පමණ කල් ඉකුත්වීමේ කාලයකින් යුක්තයි. ගෙදර ගෙන ආ පසුව හොඳින් සෝදා අව්වේ වියලාගත් වැසුම් සහිත භාජනයක රඳවා තබා වෛද්‍ය උපදෙස් මත නිසි කාල පරාසයකින් භාවිතයට ගැනීම සුදුසුයි. දින 21 බිළිඳෙකුට නම් නිර්දේශ කරන්නේ කොත්තමල්ලි ඇටයෙන් භාගයක තරම් ප්‍රමාණයක්. සංකූලතා සහිත දරුවෙක් නම් ටික දිනක් පමා කරලා සංකූලතා පහවූ පසු තමා රත කල්කය භාවිතා කරන්නේ. “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ කියලා බටහිර වෛද්‍යවරු තර්ක කරන්නේ ඔය කාරණය තමා. බටහිර වෛද්‍ය ක්‍රමයෙදි රෝගයකට ප්‍රතිකාර ලෙස ඖෂධ යොදාගන්නවා මිසෙක රෝග බෝවීම වැලැක්වීමට (එන්නත් හා පෝලියෝ බින්දු හැර) වෙනත් ඖෂධ භාවිතයක් නැහැ. දරුවෙකු ස්වභාවිකව බිහිවීමේදී ප්‍රසව මාර්ගයේදී සහ මුල්ම කිරි වල අඩංගු ප්‍රතිශක්ති කරණ ගුණයන්ගෙන් පසු ආයුර්වේදයෙන් නිර්දේශ කරන පළමු ප්‍රතිශක්තීකරන ඖෂධය තමා රත කල්කය. මේකෛන් වෙන්නේ ළදරු අවධියේ නිතර මතුවෙන ජීර්ණ අපහසුතා, උණ ගැනීම්, සමේ රෝග,රුධිර ගත විෂ හා සෙම ආදිය සමනය කිරීම. නිකමට මාස 6ට අඩු දරුවෙක් ඉන්න මවක් නම් ඔබ ඉහත හේතු නිසා (මතුවන රෝග ලක්ෂණ වන බඩ පිපුම, අජීර්ණය, කිරිවමනය, මළ බද්ධය, හමේ බිබිළි, සෙම, හෙම්බිරිස්සාව, තුවාල, වණ, උණ, ඇස්වල කබ.....)කී වරක් දරු පැටියා වෛද්‍යවරයා ළඟට රැගෙන යනවාද කියලා. ඉතින් රත කල්කය නිසි ලෙස භාවිතයෙන් සිද්ධ වෙන්නේ මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට අවස්ථා අහිමි වීම. ඉතින් මොන බටහිර වෛද්‍යවරයාද කැමති තමන්ගේ පාරිභෝගිකයෙක් අඩු වීමට. මේ නිසා තමා ඔවුන් “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ යැයි පවසමින් මේක ලබාදීම වැලැක්වීමට උත්සහ කරන්නේ. රත කල්කය දෙන මාත්‍රාව සඳහන් කළත් තාම දෙන විදිය කිව්වෙ නෑනේ. රත කල්කය විතරක් නෙවෙයි වෙනත් ඕනෑම දෙයක් නවජාත දරුවෙකුට ලබාදෙද්දි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම දේ පිරිසිදු කම. මව් කිරී දීමේදී පවා ඒක වැදගත්. මේ පිරිසිදු කම ගැන මව්වරු නොසිතීම නිසා දැන් මාතෘ සායන වලදි දරුවාට මාස6ක් දක්වා වතුර වත් පොවන්න එපා කියලා කියන්න තරම් වෛද්‍යවරු පෙළඹිලා. මුලින්ම නටන වතුරෙන් සේදූ තේ හැන්දකට මව් කිරි බිංදු 03-04ක් දොවාගෙන ඊට රත කල්කය නිර්දේශිත ප්‍රමාණය දියකරගන්න. එය කලින් සෝදා වේලාගත් කපුරෙද්දකින් නැවත හැන්දට පෙරාගෙන ලැබෙන ද්‍රාවණය දරුවාගේ දිවේ ගා වහාම මව් කිරි දෙන්න. මේ මාස තුනට වඩා අඩු දරුවන්ට රත කල්කය දෙන ක්‍රමය.ඊට වැඩි දරුවන්ට රතකල්ක ප්‍රමාණය කෙළින්ම දිවේ තවරා මව් කිරි දිය හැකියි. මව් කිරි වෙනුවට කොත්තමල්ලි තැම්බූ වතුරත් භාවිතා කළ හැකියි.
ඔන්න ඉතින් රත කල්කය ගැන කිව යුතු සියළු දේ කියලා ඉවරයි. හැබැයි ඉතින් පිළිගත වෛද්‍යවරයෙකු නිර්දේශ කරපු ප්‍රමාණයට වඩා අඩු මාත්‍රාවක්, අඩු වාර ගණනක් භාවිතා කරලා නිසි ප්‍රත්ඵල බලාපොරොත්තු වෙන්න එපා. රත කල්කය විතරක් නෙවෙයි මොනම ඖෂධයක් වත් නිසි මාත්‍රාවට වඩා අඩුවෙන් භාවිතා කරන්න එපා. එතකොට ලැබෙන සහනය තාවකාලිකයි. ඒ වගේම අපේ උරුමය, අපේ අයිතිය අපේ අවශයතා වෙනුවෙන් භාවිතා කරන්න එඩිතර වන්න. නිදහස් සෞඛ්‍ය සේවය කියල දෙයක් අපිට ලැබුණට ඒක ජාත්‍යන්තර බූවල්ලෙකුගේ දළ දඩු ග්‍රහණයට නතුවෙලා ඉවරයි. ඒක තුළ සැළසුම් සකස් වෙන්නේ අපේ ජනතාවට අවශ්‍ය විදියට නොවෙයි. වෙනත් විදේශ බලවේග වලට අවශ්‍ය විදියට. එහෙම සැලසුම් සකස් කරල ක්‍රියාත්මක කරන ගමන් අනෙක් පසින් වෙනත් මානයන්ගෙන් අපේ උරුමය එයාලගෙ කරගන්න සියුම් උත්සාහයක් ගන්නවා. එහෙම ගන්න බැරිනම් ලොකු වටිනාකමක් පෙන්වා විනාශ කිරීමක් දක්වා වුණත් යන්න ඒ බලවේග ක්‍රියාත්මකයි. කබර හූනන්, වල්ලාපට්ටා හා රතු කරපිංචා හරහා ක්‍රියාත්මක වෙන්නේ ඒ දේ තමා. ඉතින් හිතන්න, අපිම අපේ දේ වෙනුවෙන් පෙනී සිට රැක ගන්නවාද? නැතිනම් අනෙකෙකුගේ වුවමනාවට අපි අපේ අධ්‍යාත්මය දිය කර ගන්නවාද කියා? වෙදහාමිනේගේ ඩිස්පැන්සරිය ඉස්සරහ රෝගීන් පෝලිම් නොගැසෙන තරමට වෙදහාමිනේ සතුටුයි. එතකොට වෙදහාමිනේට හිතෙන්නේ අනේ මට ආදායම නැහැ කියා නොවෙයි. අද මේ රටේ ගොඩක් දෙනා සුවෙන් හා සතුටෙන් ඇති කියලයි. ඒත් හවස් වරුවට හන්දි හන්දි ගානේ බටහිර දොස්තර වරු ගාව හුස්ම ගන්න බැරි දරු පැටව් වඩාගෙන, වේදනාවෙන් ඉකි ගහන දරු පැටව් වඩාගෙන දොස්තරල එනකම් රැස්කකා බලාගෙන ඉන්න අම්මලාගෙ මලානික මුහුණු දකිද්දි ඔවුනගේ අනවබෝධය ගැන සියුම් කණගාටුවක් වෙද හාමිනේගේ ශරීරය පුරා විදුලියක් වගේ දුවනවා. එතකොට වෙදහාමිනේට හිතෙන්නේ “අනේ මගේ දරු පැටව් දෙන්නා කොච්චර වාසනාවන්තද“ කියලා මිසෙක වෙන දෙයක් නොවෙයි. Email - nagarjunaherble@gmail.com

වෙදහාමිනේ යළි කරලියට ..... විරාම ලකුණු රැසකට පසු අඛණ්ඩ ලිවීමකට සැරසෙමින්

වෙදහාමිනේගේ අඩවිය - සෑහෙන කාලයක් අළුත් ලිපියක් පළකරන්න අවස්ථාව ලැබුණෙ නෑ. ඒ වෙනුවෙන් වෙදහාමිනේගෙ පැත්තෙන් නිදහසට හේතු දක්වන් අවස්ථාවක් හැටියට තමයි මුල්ම ලිපිය යොදාගන්න බලාපොරොත්තු වෙන්නේ. 2010 අවුරුද්දේ කන්තලේ ගිය වෙදහාමිනේ වසර දෙකක දුෂ්කර කාලයක් ගෙවල ඉවර වෙලා 2012 අවුරුද්දේ ආපහු හුරුපුරුදු ගම්පහ කිට්ටුවට ආවා. ඒ එනකොට ආපහු සාමාන්‍ය රාජකාරී ජීවිතයට හැඩගැහෙන්න උත්සහයක් නොගත්තේ පෞද්ගලික ජීවිතේ අවශ්‍යතාවයන්ට මුල්තැන දෙන්න හිතුව නිසා. ඒ නිසා ගෙදර විවේකයෙන් ඉඳගෙන අධ්‍යාපනයේ ඉදිරි කටයුතුත් අළුත් ඖෂධ පන්තීන් ගැන පරීක්ෂණ කිහිපයක ප්‍රායෝගික සාර්ථකත්වය අත්හදා බැලීමත් වගේ සීමිත කටයුතු කිහිපයක් විතරයි සිද්ධ කලේ. 2010 ජනවාරි වල වෙදහාමිනේගේ අඩවිය ලියන්න ගන්න කොට මාස හයක පුංචි පුතෙකුගෙ මවක් වුණු වෙද හාමිනේ දැන් වයස අවුරුද්දක් වුණු තවත් පුංචි පුතෙකුගෙත් මවක් වෙලා. ඒ නිසා පසුගිය 2012 ඉඳල 2014 ජනවාරි වෙනකම් ඔවුනගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පූර්ණ කැපවීමක් කරන්න වෙදහාමිනේ කටයුතු කළා. රාජකාරී තනතුරු තානාන්තර මොනතරම් වටිනවා වුණත් ඒ හැම දේටම වඩා ගෘහණියක් මවක් බිරිඳක් විදිහට ගැහැණියකගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටු කරන්න මුල්තැන දිය යුතුයි කියලා තමයි වෙදහාමිනේ හිතන්නේ. 2014 ජනවාරි වල වෙදහාමිනේ තමන්ගේ රාජකාරි කටයුතු නැවත පටන් ගත්තා. ඒත් පූර්ණව නෙවෙයි. දැනට දවසක් හැර දවසක් විදියට පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෙදහාමිනේ පූර්ණව රාජකාරියට එන්න තවත් මාස කිහිපයක් යාවි. ඒ වුණත් ඊට කලින් බ්ලොග් අඩවිය යාවත්කාලීන කරන්න වෙදහාමිනේ හිතුවෙ යාවත්කාලින නොවුණත් පසුගිය සමයේ බ්ලොග් අඩවියට ලැබුණු පිවිසීම් හා ප්‍රතිචාර ‍හිතුවටත් වඩා වැඩි මට්ටමක තියෙන නිසා. 2009-10ට සාපේක්ෂව දේශීය හා විදේශීය සිංහල පරිශිලකයන්ගේ ප්‍රමාණය ඉහළ යාම නිසා දැන් බොහෝ දෙනෙක් තමන්ගේ සාමාන්‍ය දෛනික අවශ්‍යතා වෙනුවෙන් අන්තර්ජාලයේ සහය ලබාගන්න පටන් ඇරගෙන. ඒ නිසා දුරකථනයෙන්, ඊමේල් මඟින් හා ප්‍රතිචාර ලෙස වෙදහාමිනේගෙන් ප්‍රතිකාර ගැන වෙනත් ලෙඩරෝග ගැන වගේම පොදු පැහැදිලි කිරීම් ගැන විමසීම් වල වැඩිවීමක් දක්නට තියෙනවා. 2009දි සිංහලෙන් ආයුර්වේද කතිකාවතක් ඇරඹූ පළමු බ්ලොග් අඩවිය වුණු වෙදහාමිනේගේ අඩවියට පසුව ඊටත් වඩා සක්‍රීයව ක්‍රියාත්මක වුණු වෙනත් ආයුර්වේද බ්ලොග් අඩවි හා වෙබ් අඩවි කිහිපයක් හඳුනාගැනීමේ හැකියාව වෙදහාමිනේටත් ලැබුණා. ඇත්තටම ඒ ගැන සතුටුයි. ඒත් දැනුම ප්‍රාග්ධනය වන ලෝකයක බුද්ධිමය කොල්ලකරුවන් ගහන සමාජයක අපේ දේ සියල්ල අමු අමුවේ වගකීමෙන් තොරව පළකිරීම වෙදහාමිනේ අනුමත කරන ක්‍රමය නොවේ. එවැනි බ්ලොග් අඩවි පවත්වාගෙන යන තරුණ වෛද්‍යවරුන් ඒ ගැනත් අවධානයට ගන්නවානම් හොඳයි කියලයි වෙදහාමිනේගේ යෝජනාව. කොහොම වුණත් අතීතයේදි ඉඩකඩම් වෙනුවෙන් යුද්ධ කෙරුණ වෙනුවට අනාගතයේ දී ප්‍රාග්ධන යුද්ධය සිදුවෙනු ඇත්තේ සයිබර් අවකාශය තුළ. ඒ වෙනුවෙන් වෙදහාමිනෙත් අළුත් විදියට හිතල අන්තර්ජාලය හා පරිගණක මාදුකාංග භාවිතා කරල අළුත් තාලෙ යොමුවීම් කිහිපයකට යෙදෙන්නත් අදහස් කරල තියෙනවා. ඒ ගැන විස්තර ළඟදිම කියන්නම්. 2010 ඉඳල 2014 වෙනකම් දුරකථනයෙන්, ඊමේල් මඟින් තොරතුරු විමසලා දුරු කතර ගෙවාගෙන හොයාගෙන ඇවිත් ප්‍රතිකාර ගත්තු රෝගීන්ටත්, ඈත දුරු රටවල ඉඳල විමසිම් කරලු උදවියටත් බොහෝමත් ස්තූති වන්ත වන ගමන් ඔබේ සමහර විමසීම් සදහා ප්‍රතිචාර පමාවීම හෝ නොලැබීම සිදුවුණා නම් ඒ ගැන කණගාටුවත් වෙදහාමිනේ මේ මොහොතේ සටහහන් කරන්නේ හදවතින්ම නැඟෙන ශෝකයෙන්. එහෙම නම් කාලෙකට පස්සෙ එන ආයුර්වේද ලිපිය තවත් පැය කිහිපයකින් බලාපොරොත්තු වන්න කියමින් හේතු දැක්වීම අවසන් කරනවා. Email - nagarjunaherble@gmail.com

මඟුලේ යන්නන් දැකලා - නාග විසට නස්න කළා

මඟුලේ යන්නන් දැකලා-කුඹුරේ මඩ කලල් කලා
වැස්සට පැලයට ඉඳලා - නාග විසට නස්න කලා
ඉහත කවිය ගැන ඔබට මොනවද හිතෙන්නේ. එහි අවසාන පදය නිසා නොවෙන්න ඒක ‍ඖෂධ වට්ටෝරුවක් කියල සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැහැ. ඉහත කවිය ආයුර්වේදයේ සිංහල වෙදකම කියන කොටසට අයත් "වෙදගැට" නමින් හදුන්වන සාහිත්‍යාංගයක්.අපේ සංස්කෘතියෙ අපිටම ආවේණික සාහිත්‍යාංගය තමයි - කවිය. ඒ නිසාම සිංහල වෙදකමේ බොහෝ මුඛපරම්පරාගත රහස් වට්ටෝරු පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආවෙ කවි වලින්. යම් කිසි කාලෙකදි එහි අනාගත අවදානම අවබෝධ කරගත්තු අපේ පැරැන්නන් මේවා ලිඛිතව සංරක්ෂණය කරන්න පුස්කොළ පොත් වල, සෙල්ලිපි වල සටහන් කරල තියෙනවා. එදා අතීතයේ අපේ ලෙඩට දුකට තිබුණු එකම පිළියම අපේ වෙදකම වූ නිසාම එදා ඒ ගැන කරපු අත්හදා බැලීම්, නව සොයාගැනීම් වගේම භාවිතා කිරීමත් අදට වඩා උනන්දුවෙන් සිද්ධ වෙලා තියෙනවා.අද අපිට වෙනත් විකල්පයක් හැටියට "ඇලොපති වෛද්‍ය ක්‍රමය" තියෙන නිසා ආයුර්වේදයේ නැතිනම් සිංහල වෙදකමේ වැදගත්කම අඩුවෙලා ගිහින් තියෙනවා. ඒ නිසා නව පර්යේෂණ සිදුකිරීම්, අත්හදා බැලීම් එහෙම සිද්ධ වෙනවා අඩුයි. ඒවා සිදු වුණත් බොහෝදුරට ඒ උපාධි නිබන්ධනයකට, පන්ති සාමාර්ථයකට,
උසස් වීමකට අදාළව කෙරෙන අතපත ගෑමේ පර්යේෂණ විතරයි. අවසානයේ ඒ පර්යේෂණ වාර්තාවත් නවතින්නේ "ඇලොපති" බෙහෙත් පෙති කොම්පැණියක දෙපා මුල ලොකු මුදල් කුට්ටියක් ළඟ.

සුද්දගේ ගාව තියෙන එකම හොඳ දේ හැටියට වෙදහාමිනේ දකින "සංවිධානාත්මක බව" අපේ සංස්කෘතිය තුළ අපිට පිහිටල තියෙන්නේ බොහොම අඩුවෙන්. ඒකට මූලිකම හේතුව අපි හැමෝම තමන් සතු ජාතික වගකීම හඳුනා නොගැනීම. මේ දේවල් අපේය. එය අනෙකා විසින් රකිනාතුරු නොසිට රැක ගත යුතුය-තමාගේ ඇවෑමෙන් මෙය ඉදිරි පරම්පරාවට භාරදිය යුතුය කියන "ජාතික මෙහෙවර" අපේ පාරම්පරික වෛද්‍යවරුන් හා වැඩිහිටියන් අතින් සිදු නොවීම ජාතියේ අවාසනාවක්. බොහොමයක් වැඩිහිටියෝ තමන්ගේ දෙවැනි පරම්පරාවට තමන් දන්නා දැනුමෙන් කොටසක් හංගාගෙන කොටසක් පමණක් ලබාදීම ඇත්තටම ඛේදවාචකයක්.
ඒක වෛද්‍ය දැනුමට විතරක් නෙවෙයි දරු නැලවිලි ගී වගේ සරල දේවලට පවා ඉහලින්ම අදාලයි. නිකමට හිතල බලන්න ඔබේ අත්තම්මා/ අම්මා ඔබව නලවපු නැලවිලි ගී වලින් කීයක් ඔබගේ දරුවාව නලවන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් වුණාද කියලා. එක්කෝ ඔබ ඒ ටික වැඩිහිටියන්ගෙන් අහගත්තේ නෑ. නැත්නම් වැඩිහිටියෝ ඔබට කියල දුන්නේ නෑ. මේ පරම්පරා ගැටුමෙන් අහිමි වෙලා යන්නේ අපේ උරුමය බව නම් අමතක කරන්න එපා. අවසානයේදී වසර දෙදහස් පන්සීයක උරුමය ගැන අපේ අතීත පුරාජේරු කතා එහෙමම තියෙද්දි , ඇමරිකාවෙ මැදිහත් වීමෙන් සංරක්ෂණය කරපු සිද්ධස්ථාන ගඩොල් කඳු වෙද්දි, අපේ අධ්‍යාත්මය අන්තරස්දාන වෙලා තියේවි. ඇමරිකාව හරි යුනෙස්කෝව හරි ඇවිත් අපේ උරුමය වනපොත් කරගෙන යනකම් ඉන්නෙ නැතිව තම තමන්ගේ වගකීමක් හැටියට හිතල පැරණි පරම්පරාවේ සැඟවුණු දැනුම අදම ඔබේ අතට ගන්නත් ඒවා අවශ්‍ය විට නිවැරදිව භාවිතා කරන්නත් ගුරු මුෂ්ඨි තියාගන්නෙ නැතිව ඒවා ඊළඟ පරම්පරාවට දෙන්නත් අදම හිතට ගන්න.(හිතට අරන් විතරක් මදි. අදම ක්‍රියාත්මක වෙන්න.)

අද සමාජ ක්‍රමයේ හැටියට වෛද්‍යවරයෙක් දන්නෙ වෛද්‍ය කර්මයට අදාළ දේවල් විතරයි. නීතීඥයෙක් දන්නේඒ කේෂ්ත්‍රයට අදාළ දේවල් විතරයි. පෙදරේරුවෙක් දන්නේ තමන්ගේ වපසරියට අවශ්‍ය දේවල් විතරයි. ඒත් අපේ පැරැන්නන්ගේ කාලෙ එහෙම නෙවෙයි. හැමෝම ආගමික, ‍වෛද්‍ය, යන්ත්‍ර මන්ත්‍ර, කෘෂි කර්ම, ශිල්ප දැනුමෙන් පරිපූර්ණ වෙලා හිටියා. ටිකක් හිතල බලන්න ඔබේ පියා වෙදෙක් නොවුණත් වෙදකමේ යම් යම් දේවල් දැනගෙන හිටියා. වඩුවෙක් නොවුණත් වහලෙ කුරුපා ගැන, ගෙයි උළුවස්සෙ නීති ගැන දැනගෙන හිටිය. හදීසියකට ලෑලි කෑලි ටිකක් පුරුද්දල මේස කෑල්ලක් ගහ ගන්න හැකියාවක් ඔහුට තිබ්බ. අද මොකද වෙලා තියෙන්නේ? ඔබ වඩුවෙක් නෙවෙයි නම් ඔබට ඒ දේ පුළුවන්ද? ගෙයක් හදන්න ගෘහ නිර්මාණ ශිල්පියෙකුට භාරදීල පැත්තකට වෙලා ඉන්න ඔබ ඒ ගැන පාරම්පරික හෝ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට ටිකක් වත් උනන්දු වෙනවාද? නෑ. හෙට දවසේ ඔබේ දරුවාට ලෑල්ලකට ඇණයක් ගහන හැටි කියල දෙන්නත් පාසලට විෂය නිර්දේශ ගේනකම් ඉන්න වෙයිකියල හිතෙන්නේ නැද්ද?විහිළුවක් නෙවෙයි එදා අපි තනියෙම හදාගත්ත සරුංගලේ හදාගන්න අද දවසේ ඔබේ පුතාට පුළුවන්ද? ඒකත් අද විෂය නිර්දේශයේ කොටසක්. ඒ වුණත් පාසලේදී සේරුව හරියට සමබර කරල , සව් කොළ අලවල, රැලි ටික දාල සරුංගලය හදන්න කාල පරිච්ඡේදයේ ඉඩ මදි වුනොත් ඉතිරි ටික කියල දෙන්න ඔබට පුළුවන්ද? ඒ ටික බැරි නිසා තමයි, චීනගෙ මකර සරුංගලේ ගම් දනව් පුරා කඩපිලවල් වල හරි හරියට විකිණෙන්නෙ.

අපි ආපහු පාරම්පරික වෙද දැනුම ගැන කතා කරමු. රොබට් නොක්ස් කියන විදෙස් සිරකරුවා තමන්ගේ ග්‍රන්ථයක (පරිවර්තන කෘතිය - එදා හෙළදිව,ඩේවිඩ් කරුණාතිලක ,ගුණසේන ප්‍රකාශණ) සදහන් කරල තියෙන විදියට අපේ රටේ හැම ගැමියෙක්ම වෙදෙක් බවත්, බතක් ඉදෙන ප්‍රමාදයෙන් කැඩුණු අස්ථියක් පෑහීමට හැකි ඖෂධ ඔවුන් දැන සිටි බවත් සඳහන් කරල තියෙනවා. අපේ අත්තම්මලා සීයලා අනිවාර්යයෙනුත්- 77 ආර්ථික පෙරළියේ අවිචාරවත් ගොදුරු බවට පත් නොවුනනම් අම්මල, තාත්තලත් අනිවාර්ය වෙද්දු. මොකද එයාල හැමෝම මොනවාහරි අසනීපයකට ගොඩ වෙදකමක්, කෙමක්, අත් බෙහෙතක්, පත්තුවක් මැල්ලුමක්, තෙල් සාත්තුවක් අනිවාර්යයෙන් දැනගෙන හිටිය කියන එක බොරුවක් නොවෙයි. ඒ විතරක් නෙවයි එයාල ඒවා ප්‍රායෝගිකව භාවිතා කරල තියෙනවා. අද වගේ ප්‍රවාහනය , සන්නිවේදනය තාක්ෂණය අතින් නොදියුණු ඒ කාලෙ සර්ප දෂ්ඨනයක්, කැඩුමක් බිඳුමක් වුණු ගමන් රෝහලකට යන්න පහසුකම් නොතිබුණු එදා දවසෙ වෙදමහත්තයෙක් නොහිටිය වෙලාවක නස්න කරල විස බස්සපු, උණ පතුරු තියල බෙහෙත් බැඳපු වැඩිහිටියො ගැන අපි අනන්තවත් අහල තියෙනවා. අදටත් මේ දේවල් නාගරීකරනය නොවුනු ගම්මැදි වල, කඳුකර ප්‍රදේශවල, ඈත වෙල්ලස්සෙ ඒ විදියටම වෙනව වෙන්න පුළුවන්.අපේ අම්මල අත්තම්මල දරුවන් අතර වයස් පරතරය පාලනය කරන්න අවශ්‍ය උපත් පාලන ඖෂධ වගේම අනවශ්‍ය දරු උපත් ගබ්සා කරවන්න භාවිතා කරන ඖෂධ පවා දැනගෙන හිටිය. ඒත් එයාල ඒව තමන්ගෙ දූවරුන්ට කියල නොදෙන්න පරෙස්සම් වෙන එක නම් වැරදි වැඩක්. මොකද ඒ ස්වභාවික ක්‍රමවේදයන් ශරීරයට අහිතකර නොවුනා වගේම ඒවා භාවිතයෙන් සුළු අතපසුවීමකින් පසු අපේක්ෂා භංගත්වයට පත්ව මරණයකින් කෙලවර වෙන ජීවිත දෙකකින් එකක් ගලවගන්න අවස්ථාව අනිවාර්යයෙන්ම ලැබෙනවා.ඒ පාරම්පරික දැනුම හෝ ප්‍රායෝගික දැනුම වෙද පොතක, නිඝන්ඩුවක, දෙපාර්තමේන්තු ලේඛණයක හෝ වෙනත් කිසියම්ම හෝ තැනක සටහන් වෙලා නැති දෙයක් නම් හෙට දවසෙ අපේ වගකීම් සහගත වැඩිහිටියො මිය පරලොව ගියහම ඒ දැනුමට අත්වෙන ඉරණම මොකද්ද? ඒවත් මැරිල යන්න අරිනවාද?නැත්නම් සංවිධානාත්මක සංරක්ෂණ ක්‍රමවේදයක් හදනවද?

ඔබ කියාවි සංවිධානාත්මක සංරක්ෂණ ක්‍රමවේදයක් හදමු කියල. එතකොට මම ඔබෙන් අහනවා දැනට එහෙම එකක් නැද්ද කියල. ඇත්තටම දැනටමත් එහෙම එකක් තියෙනවා. දැනට ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින සංරක්ෂණ හා පර්යේෂණ අංශවල මේ සම්බන්ධ දේවල් කෙරෙනවා. රටේ කොහේ හරි තැනක යම් කෙනෙක් ළඟ තියෙන පොත්, තල්පත්, ලේඛණ ආදිය දෙපාර්තමේන්තුව භාරයට අරන් ඒවා භාරදුන් අයගේ නම ලේඛණගත කරල පුස්තකාලයට යවනවා. ඉන් පස්සෙ කාලයක් එකතු වන ලේඛණ ආදියේ තොරතුරු ඇතුළත් කරල 'දේශීය චිකිත්සා සංග්‍රහය' ග්‍රන්ථයක් සම්පාදනය කරල මුද්‍රණය කරල අවශ්‍ය අයට මිළදී ගන්න ඉඩ ලබාදෙනවා. දැනට මෙහි කාණ්ඩ ගණනාවක් මුද්‍රණය වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ මේක මිළදී ගැනීමට පවතින දුෂ්කරතා තමයි. හාවා හඳ දකින්නා වගේ කාලයකට සැරයක් මුද්‍රණය කිරීම තමයි මෙහි සම්ප්‍රදාය. පැරණි කාණ්ඩ මිළදීගැනීමත් හරිම අමාරුයි. ඒවගේම තමයි ලැබෙන සියළුම ලේඛන 'දේශීය චිකිත්සා සංග්‍රහය'ට ඇතුළත් වීමේ ගැටළුත් , දෙපාර්තමේන්තුව තුළ සිටින සමහර වගකීම් රහිත පිරිස් මුල් ලේඛණ අස්ථාන ගත කිරීමේ කූට ක්‍රියාමාර්ගවල යෙදීමත්
ආදී ප්‍රශ්ණ මේ සංරක්ෂණ ක්‍රියාවලිය වටා ගොනුවෙලා තියෙනවා.

හැබැයි මෙම ක්‍රියාවලියේ තියෙන ප්‍රධාන ගැටළුව තමයි මහජනයා මේ අය වෙත ලේඛණ ඉදිරිපත් කිරීමට තියෙන උනන්දුවේ අඩුකම. ඊට හේතු කිහිපයක් බලපානවා. පළවෙනි එක තමයි දෙපාර්තමේන්තුව මේ දේවල් පිටපත් කරගෙන ආපහු දෙනවා වෙනුවට ඔවුන් වෙත රඳවාගැනීම සිදු කරන නිසා තමන්හෝ තමන්ගේ පරම්පරාවේ රහස් දේවල් රජයට පවරාදීමට තිබෙන අකමැත්ත. මොකද මේ දේවල් තමන්ගේ පරම්පරාගත උරුමයන් , තමන්ගේ සමීපතමයින් භාවිතා කරපු දේවල් නිසා ජනතාවගේ ඊට තිබෙන බැඳිම මත එහෙම පවරන්න හිත හදාගන්න බැරිකම. දෙවැන්න තමන්ට උරුම වුණු වෙදකම හෝ පොත්පත් තමන්ගේ ඉදිරි පරම්පරාවේ පිරිසට උවමනා වෙයි කියන ආකල්පය. තෙවැන්න වැඩි පරෙස්සමට දෙපාර්තමේන්තුවට දීල දැනට තියෙන සුරක්ෂිත භාවයත් නැතිව යයිද කියන බය නිසා.
(මොකද මේ රටේ දෙපාර්තමේන්තු ගැන ජනතාවගේ තියෙන්නේ එතරම් හොද ආකල්පයක් නොවීම වගේම ආ.දෙ. තමන්ගේ වත්තෙ තිබිච්ච සදුන් ගස් ටික හොරෙන් කපාගෙන යනකම් නිදියගෙන හිටපු දෙපාර්තමේන්තුවක් වීම)සිව්වැන්න දෙපාර්තමේන්තුව සතුව පවතින සංරක්ෂණ ක්‍රමවේදය පිළිබදව පවතින ප්‍රසිද්ධියේ මද කම. පස්වැන්න තමයි මේවා භාරදීමට එන කෙනෙකුට විඳින්න වෙන ප්‍රායෝගික දුෂ්කරතා.තමන්ගේ දේරජයට භාරදෙන්න ගියාමත් මේ මේසෙන් අර මේසෙට, එතැනින් උඩ තට්ටුවට මාරු වෙවී යන සාම්ප්‍රදායික දෙපාර්තමේන්තු ක්‍රමවේදය කාට නම් ඉවසිය හැකිද? යන්නත් ප්‍රශ්ණයක්. මෙන්න මේ හේතු දෙපාර්තමේන්තු සංරක්ෂණ සැලැස්ම සාර්ථක නොවීමට බලපෑවත් ඔවුන් සතුව මෙසේ සංරක්ෂණය කරගත් දැනුම නම් මහමෙරක් වගේ ආයුර්වේදයට වටින බව කිව යුතුයි. නමුත් භාවිතාවට නොගන්නා සංරක්ෂණයකින් ඵලක් තියේද කියලත් හිතල බලන්න ඕන.‍මේ ගැන දෙපාර්තමේන්තුවෙන් මීට වඩා උනන්දුවක් මතුවිය යුතුයැයි වෙදහාමිනේගේ අදහසයි. ඒවගේම මෙතෙක් ලේඛණ ගත නොවී වහරේ පවතින දේවල් සංරක්ෂණය කිරීම ගැන වැඩපිළිවෙලක් සැකසීමත් දෙපාර්තමේන්තුවේ වගකීමක්.

අඳුරට සාප කර කර අඳුරෙම ඉන්නවට වඩා එක පහනක් හරි දල්වන්න පුළුවන් නම් ඒක වටිනවා. මේ ව්‍යසනය ගැන හිත විස්සෝපෙන් කේෂ්ත්‍රයේ තරුණ වෛද්‍යවරු පිරිසක් සමඟ කතා කර කර හිටපු වෙලාවක වෙදහාමිනේගේ ඔළුවට ආව වැඩපිලිවෙලකට කාගෙත් එකඟතාවය ලැබුණා. ඒ තමයි නවීන තාක්ෂණය භාවිතා කරමින් මේ දේවල් සංරක්ෂණයට අපි යොමුවිය යුතුයි කියන කාරණය. මේ වැඩේට වෙදහාමිනේම බහින්න තමයි අදහස. හැබැයි මේ වැඩේට වෙදහාමිනේගේ අඩවියේ පාඨක ඔබගේ සහයෝගයත් ඉතා වටිනවා. ගුවන්විදුලියේ ශ්‍රවණ පර්යේෂණ අංශයේ සී ද ඇස් කුලතිලක මහත්මයල පටිගත කිරීමේ යන්ත්‍රයක් පිටේ එල්ලගෙන රට වටේ ජනකවි, ජනශ්‍රැති එකතු කලා වගේම වෙදහාමිනෙත් ලැප්ටොප් එකකුත් ස්කෑනරේකුත් අරගෙන රටවටේ යන්නයි ලෑස්තිය. අපි හිතමු කාගෙ හරි ගෙදරක පරණ වෛද්‍ය තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් තියෙනවා කියල. වෙදහාමිනේ එතැනට ගිහින් අයිති කෙනා ඉදිරිපිටදිම ඒ ටික ස්කෑන් කරගන්නවා. ඒවා ඡායාරූප විදියට ගබඩා කරගෙන අයිති කෙනාට සංයුක්ත තැටියකට කොපි කරල පිටපතක් භාර දෙනවා. ඒකෙම පිටපතක් පසුව පළමු අයිතිකරුගේ විස්තරත් සමඟ ආයුර්වේද දෙපාර්තමේන්තුවට සහ ජාතික පුස්තකාලයට භාරදෙනවා. වෙදහාමිනේ ළඟත් පිටපතක් තියෙනවා. රටේ ඉන්න ඕනෑම ආයුර්වේද වෛද්‍යවරයෙකුට, පර්යේෂකයෙකුට, ශිෂ්‍යයෙකුට අවශ්‍ය විටකදී පරිශිලනය සඳහා මේ දේවල් ලබා දෙනවා. ලේඛණ ගත නොවුණු දේත් ඒවිදියමයි. ඒවා මෛක්‍ර‍ෆෝනය හරහා පටිගත කරගෙන කලින් විදියටම ක්‍රියාකරනවා. එතකොට මේ දේවල් සංරක්ෂණයත්, භාවිතයත්, පර්යේෂණයත් යන අංග තුන සඳහාම යොදවා ගත හැකි නිසා ඵලදායිතාවයෙන් යුක්තයි.
හැබැයි කිසිම විදියකින් මේ දේවල් අලෙවි කිරීමේ පරමාර්ථයක් වෙදහාමිනේට නෑ. කවදහරි දවසක කිසියම් වගකිවයුතු ආයතනයක් මෙහි භාරකාරීත්වය ගන්නවනම් ඒකත් පවරන්න වෙදහාමිනේ ලෑස්තියි.

ඒවගේම තමයි මේ වැඩේ එච්චර ලේසි පහසු වැඩක් නොවෙයි. කාලය,මුදල්,ශ්‍රමය කියන සම්පත් වැය කරගෙන කැපවීමෙන් කරන්න ඕන දෙයක්. "වෙදහාමිනේගේ අඩවියේ" පාඨක ඔබෙන් වෙන්න ඕන දේ තමයි මේ වගේ ලේඛණ, දැනුම තියෙන කිසියම් හෝ පුද්ගලයෙක් ගැන ඔබ දන්නා හෝඩුවාවන් වෙදහාමිනේට දන්වන එක. ඒවගේම වෙදහාමිනේගේ වැඩපිළිවෙලට එකතු වෙලා වැඩකරන්න පුළුවන් තමන්ගේ කාලය මේ වෙනුවෙන් යොදවන්න පුළුවන් විශ්ව විද්‍යාල, වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයත් වෙද හාමිනේට තියෙනව නම් ඒකත් වටිනවා. ඒ වගේම ඔබ සතුව පරිගණකයක්, ස්කෑනරයක්, මෛක්‍රෆෝනයක් තියෙනව නම් වෙද දැනුම හෝ වෙනත් දැනුමක් සහිත පැරැන්නන්ගේ ලේඛණ හෝ වෙනත් දේ සංරක්ෂනයට පෙළඹෙන්න. පුළුවන් නම් ඒවා වෙදහාමිනේටත් ඊමේල් කරලා එවන්න. මෙතනදි අදාල දැනුම මහ විශාල පොතක්ද, පුංචිම පුංචි කවියක්ද කියන එක සාපේක්ෂව නොබල හැම දෙයක්ම එක විදියට වටිනවා කියල හිතල හඹා යායුතුයි කියලයි මම නම් හිතන්නේ. මේ ගැන ඔයාලගෙ අදහස් වගේම ප්‍රායෝගික ගැටළු ගැනත් වෙදහාමිනේට දන්වන්න ඔබට පුළුවන්. ංආ! මුලින්ම තිබුණු වෙදගැටය ගැනත් යමක් කියන්න එපෑය. ඒකෙන් කියැවෙන්නේ නාග දෂ්ඨනයකදී කරන ප්‍රත්‍යක්ෂ්‍ය නස්නයක් ගැන. මඟුල් කරඳ මුලේ පොතුත්, (පරණ ගෙවල්වල භාවිතාකළ) මැටිකලය තබන බිම රැඳි මඩත් නර මුත්‍රයෙන් අඹරා අදාළ රෝගියාට නස්න කළ විට විෂ බහින බව තමයි ඒකෙන් දැක්වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න බැරි, ඒත් සරල පද පෙළක් තියෙන පුංචි කවියක රැඳිල තියෙන්නේ ප්‍රබල මිනිස් සුසුමක වටිනාකම නේද? පොඩ්ඩක් හිතන්න. අපේ අනන්‍යතාවය රැකගන්න ගොඩක් දේවල් ඔබට කරන්න ඉතිරි වෙලා තියෙනවා.

Email - nagarjunaherble@gmail.com

පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ සැබෑ පංචකර්මය


අද කාලෙ ආයුර්වේද කේෂත්‍රයේ හොදම ව්‍යාපාරික යොමුවීම හැටියට මතුවෙලා තියෙන්නේ''ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන"නමින් පවත්වාගෙන යන ආයතන ආරම්භ කිරීම.කාලෙන් කාලෙට විවිධාකාර ව්‍යාපාරික රැලි වලට අහුවෙන ආයුර්වේදය මේ දවස් වල පංචකර්ම රැල්ලට අහුවෙලා එහාට මෙහාට පැද්දෙනවා. අද දවස වෙනකොට බස්නාහිර හා දකුණු පළාත,මහනුවර නගරය, දඹුල්ල - අනුරාධපුර වගේ ප්‍රධාන සංචාරක කළාප ආශ්‍රිතවත් අගලෙන් අගලට බෝඩ් ලෑලි ගහල තියෙන 'පංචකර්ම මධ්‍යස්ථාන' දකින්න පුළුවන්. අනික් ප්‍රදේශ වල ගත්තත් නගරයකට එකක්වත් මේ ආකාරයේ "පංචකර්ම" මධ්‍යස්ථාන තියෙන බව රහසක් නොවෙයි.නිකම්ම නිකම් මසාජ් සෙන්ටර් එකකට වැඩිය මේ 'පංචකර්ම මධ්‍යස්ථාන' වෙනස් වෙන්නෙ කොහොමද කියන එක හොයන්න බලන්න කෙනෙක් නැති නිසා අද වෙනකොට ආයුර්වේදයේ නම විකුණමින් ගණිකා මධ්‍යස්ථාන විවෘත වීමම කණගාටුවට කරුණක්.

ඇත්තටම ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාරවලදී "පංචකර්ම චිකිත්සාව" කියල කොටසක් භාවිතා වෙනවා.ඒක කඩේට ගිහින් තේ එකක් බීල ගෙදර එනව වගේ, ඇදුමක් අරන් එනව වගේ පහසුවෙන් ආරම්භ කරල අවසන් කරන්න බැරි ක්‍රමවත්ව, විධිමත්ව, සංයමයෙන් කරන්න ඕන ක්‍රියාවලියක්. අනෙක ඒක කිසිදු ආයුර්වේද දැනුමක් නැති තෙරපි(මසාජ්) දැනුම පමණක් ඇති තරුණයෙක් හෝ තරුණියක් යොදාගෙන කරන්න බැරි අවදානම් සහගත ක්‍රියාවලියක්.උදේ ඉදල වෙනත් වැඩ වලින් හෙම්බත් වෙලා පැයකට දෙකකට 'පංචකර්ම මධ්‍යස්ථාන'යකට ගොඩ වෙලා
හිතටවත් ගතටවත් නොදැනෙන ප්‍රතිකර්මයකට ලක්වෙලා රුපියල් දෙදහක් විතර වියදම් කරල ලබාගන්න දේට වඩා ජීවිතයේ පැවැත්මට අතිශය වැදගත් ‍‍භෞතික හා මානසික සහනයක් දැනෙන වැඩපිළිවෙලක්.

මම මෙම ලිපි පෙළින් හැමදාමත් කියනව වගේ අවිචාරයෙන් දෑස් නිලංකාර කරගෙන හැල්මෙ දුවන 'ඉන්ස්ටන්ට්' සමාජයේ පුරවැසියන්ට මේ ආයුර්වේද ක්‍රමයෙන් නිසිඵල ලබන්න බෑ. දැනට අවුරුදු දහයකට දොළහකට කලින් ලෝකයට දැනෙන්න ගත්ත 'ස්වභාවිකත්වයට ලංවීමේ රැල්ල' ක්‍රමයෙන් ලංකාවටත් නැවත දැනෙන්න ගත්තෙ ඊට අවුරුදු කිහිපයකට පස්සෙ.ඉතාලියේ -ඇමරිකාවෙ වගේ රටවල් වල ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරු වගේම අරාබි යුනානි
වෛද්‍යවරුත් මූලික වෙලා ආරම්භ කරපු පංචකර්ම මධ්‍යස්ථාන, ත්‍රිගර්භ කුටි වල සාර්ථක ක්‍රියාදාමයන් අත්විදින්න භෞතික වගේම මානසික නිදහසකුත් ඇතිකරගත්තු බටහිරයන් ඒවගෙන් නිසිඵල ගනිද්දි, තරුණ පෙනුම, දිර්ඝායුෂ ලබද්දි
ආයුර්වේදයේ අයිතිකරුවන් කියල කියන්න පුළුවන් අපේ රටවල ඒ නමින් බිහිවෙන්නෙ "ගණිකා මඩම්" නම් ඒක හරිම ඛේදවාචකයක්. ඇමරිකානුවන්ටත්, චීන්නුන්ටත් වඩා දක්ෂ ව්‍යාපාරිකයන් වෙන්න හදන අපේ ව්‍යාපාරිකයින් ඒවගේ රටවල්වලින්ම ගෙන්වන සුදු ග්‍රීස් වලට, ක්‍රීම් බේස් වලට ඉන්දියාවෙන් ගෙන්වන තෙල්වර්ග, ස්වභාවික සුවද සහිත
එසන්ස් කලවම් කරල "ආයුර්වේද නිෂ්පාදන" කියල වෙළදපාලට දාන කොට අවිචාරවත්ව ඒව පසුපස දුවන සමාජයක් විදියට අපේ මොළගෙඩි නිර්වින්දනය කරන්න මේ රටේ විද්‍යුත් ජනමාධ්‍යයත් (විශේෂයෙන්ම උදේ වරුවෙ විකාශය වන
රූපවාහිනී වැඩසටහන්) කුප්‍රකට දායකත්වයක් ලබාදීල තියෙනවා.


ඔය කියපු ප්‍රවණතාවයෙම දිගුවක් විදිහට අපේ රටේ සාමාන්‍ය පැළැන්තියෙන් උඩින් ඉන්න යමක් කමක් තියෙන පැළැන්තියේ අයට ගැලපෙන්න "බියුටි සැලූන්" ක්‍රමවේදයත්, නාගරික"සම්බාහන මධ්‍යස්ථාන" ක්‍රියාදාමයත්, ආයුර්වේද තෙල් බේත් වර්ග කිහිපයකුත් එකතු කරල 'පංචකර්ම මධ්‍යස්ථාන'බිහිවෙන්නෙ "ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන" විදිහට. සාමාන්‍ය බියුටි සැලූන් එකකට වඩා සාමාජීය ගෞරවයකුත්,සම්බාහන මධ්‍යස්ථානයකට වඩා නීතිමය ආරක්ෂාවකුත් තියෙන නිසා ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන වලට පාරිභෝගිකයෝ ගෙන්න ගන්න අමාරු නෑ. මෙච්චර කාලයක් ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රමවේදයක් වුණු පංචකර්මය මාකට් වෙලා කැරට්,බෝංචි ගානට එනකම් හුරුපුරුදු වචනයක් වුනේ වර්තමාන ව්‍යාපාරිකයන් විසින් වෙනත් ලෝකෙකින් හොයාගෙන ආව අරුම පුදුම බලගතු 'දිවඔසු'වක් ගානට හිතාගත්තු අවිචාරවත් අනිවාර්ය පාරිභෝගිකයන් කණ්ඩායමකුත් බිහිකරගෙන.

ඇත්තටම ආයුර්වේදයේ ඇතුළත් පංචකර්මය කියන්නේ දැන් කාලෙට ගැලපෙන සරලම උදාහරණයකින් කිව්වොත් "වාහනයක් සර්විස් කරනවා" වගේ වැඩක්. අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ශෝතස් වල තැන්පත් වෙලා තියෙන සෙම් සොටු තෙල් බැක්ටීරියා වගේ දේවල් හා වෙනත් අපද්‍රව්‍ය ක්‍රමවත් විදියට ඉවතට ඇදල දාල අභ්‍යන්තර ශරීර පද්ධතීන් වල ක්‍රියාවලීන් "ටියුන්" කිරීමක් තමයි මේකෙන් වෙන්නෙ.මේකෙ අරමුණ නිරෝගී භාවය පවත්වා ගැනීම නිසා පංචකර්මයකට ලක්වෙන්න රෝගී වෙනකම්ම ඉන්න ඕනෙ නෑ. නමුත් පංචකර්මයේ එක් එක් කොටස රෝගීන් සදහා ආයුර්වේදයේ ප්‍රතිකාර අාරම්භ කිරීමට පෙර යොදා ගන්නා අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට "වසක් -විසක්" ශරීර ගත වුණාම වමණය කිරීම දක්වන්න පුළුවන්. ඒ වගේම වසරකට සැරයක් විතර බඩසුද්ද වෙන්න "අරළු පෙති" බීමත් පංචකර්මයේ දී භාවිතා වන විරේචන කොටසට අයත් දෙයක්.පංච කර්මය එහි නමේම තේරුමේ හැටියට ක්‍රමවේද පහකින් සමන්විත එකක්.

01. වමනය
02. විරේචනය/ විරේකය
03. නස්‍ය / නස්නය
04. වස්තිය
05. රක්ත මෝක්ෂණය

මේ සාමාන්‍ය ආයුර්වේදයේ පංචකර්මය.නමුත් යුනානි ආයුර්වේදයේ "කපින්" නමින් හැදින්වෙන හයවෙනි කොටසකුත් මේකටම සම්බන්ධව තියෙනවා.වමන කොටසෙදි සිදුවෙන්නේ ආහාර ජීරණ පද්ධතියේ ඉහළ කොටසේ පවතින අපද්‍රව්‍ය ඉවත්කිරීම. ඒ ස හා අනිවාර්යයෙන් උදය වරුව යොදා ගන්නා අතර විහරණයන්ගෙන් වැළකී එයට සූදානම් විය යුතුයි.මෙමගින් ආමාශයික යුෂ සාන්ද්‍රණය නිවැරදි කිරීම, ආමාශගත විෂ ඉවත්කිරීම, ආහාර දිරවීමේ ගැටළු මගහැරවීම වගේ ප්‍රයෝජන ලැබෙනවා. ඒවගේම වමනයෙන් බැහැරවන දේ පරීක්ෂාවෙන් පිළිකා ආදිය හදුනාගැනීම, ශරීර දුර්වලතා වටහාගැනීමත් වෛද්‍යවරයා විසින් සිදුකරනවා. විරේචනයේදී වන්නේ මුඛයෙන් ලබාදෙන ඖෂධ මගින් ආහාර ජීර්ණ පද්ධතියේ පහළ කොටස් පිරිසිදු කිරීම.සාමාන්‍යයෙන් ඉවත් නොවන බඩේ ඇලී පවතින මළ ද්‍රව්‍ය ඉවත් කිරීම මගින් අංගුලිකා උත්තේජනය මෙමගින් සිදුවෙනවා. ඒවගේම බැහැරවන මළ පරීක්ෂාවෙන් ආන්ත්‍රික පිළිකා හදුනාගැනීම කීට රෝග, වෙනත් ආමාශයික දුර්වලතා වටහා ගැනීම වෛද්‍යවරයාගේ කාර්ය භාරයට අයත්.මේ කොටස කෙරෙන්නේ වමන කර්මය දාට දවස් කිහිපයක අන්තරයකින් පසුව තෝරාගන්නා දිනයකදී. පොහෝ දින, වැසි දින මේ සදහා සාමාන්‍යයෙන් යොදාගන්නේ නෑ.


නස්‍ය නැත්නම් නස්න කොටස මගින් නාසය ඔස්සේ ඇතුළු කරන ඖෂධ මගින් ශ්වසන පද්ධතියේ සහ කෝටරකයේ අපද්‍රව්‍ය ඉවත්කිරීම සිදුකෙරෙනවා.නාසයෙන් හා මුඛයෙන් පිටකෙරෙන අපද්‍රව්‍ය මගින් සෙම් සොටු ඉවත් කිරීමෙන් නිතර සෑදෙන හිසරදය, සෙම්ගෙඩි ආදි රෝග පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඊළගට සදහන් වස්තිය හැමවිටම භාවිතා නොවුණත් විරේචනය මගින් ඉවත් නොවූ මළ කොටස් ඇත්නම් ඒවාට ගුද මාර්ගය ඔස්සේ ඇතුළුකරන මළ ලිහිල් කිරීමේ ඖෂධ භාවිතයෙන් පසු වස්ති යන්ත්‍ර(ආයුර්වේදයේ භාවිත වස්ති යන්ත්‍ර - බටහිර වස්ති යන්ත්‍ර පැමිණීමට පෙරත් පැවතිණි.)භාවිතයෙන් හෝ පිරිසිදු දෑත් භාවිතයෙන් ඉවත් කිරීම සිදුකරනවා.ගුද වස්ති වලට අමතරව මුත්‍ර වස්ති කිරීමෙන් අවශ්‍යතාවය අනුව මුත්‍ර පද්ධතියේ අවහිරතා මගහැරීම්/පිරිසිදු කිරීම් කරන අවස්ථාත් තියෙනවා. රක්ත මෝක්ෂණය කියන්නේ රැධිර සංසරණ පද්ධතියේ අපිරිසිදු කොටස් ඉවත් කිරීමට. ඒ සදහා අතීතයේදී සත්ව අං කොටස් හා ලබු කබල් වැනි දේශීය උපාංග භාවිතා කළත් අද දවසේ ජනප්‍රිය ක්‍රමය වන්නේ කූඩැල්ලන් මගින් අපිරිසිදු රැධිර කොටස් ඉවත් කිරීමයි.

මෙම ක්‍රියාදාමයේදී සෘජුවම අපේ ශරීරයේ පද්ධති වලින් ස්නායු පද්ධතිය හා ප්‍රජනන පද්ධතිය හැර අනෙක් පද්ධති වල අපද්‍රව්‍ය ඉවත් කිරීම සිද්ධ වෙනවා.නමුත් අනෙක් පද්ධති පිරිසිදු කිරීමෙන් හා උත්තේජනයෙන් මෙම පද්ධති වල ක්‍රියාදාම ක්‍රමවත් වීමත් සිදුවෙනවා. වැඩිදුරටත් ස්නායු පද්ධතියේ සහ ප්‍රජනන පද්ධතියේ ප්‍රතිකර්ම කෙරෙන වෙනත් අවස්ථාවක් ආයුර්වේදයේ තියෙනවා. එය ත්‍රිගර්භ කුටි ක්‍රමවේදයලෙස හදුන්වනවා.මේ සියළු කටයුතු එක් දවසකින් නිමකර ප්‍රතිකාරයට භාජනය වන්නා පිටත්කර හැරීමේ හැකියාවක් නැහැ. මේ සියළු දේ එක පිට එක දරා ගැනීමේ හැකියාවක් කෙතරම් නිරෝගී පුද්ගලයෙකුටවත් නෑ. මේ සියල්ල පිළිවෙළින් සිදු කිරීමට සතියක්වත් රෝගියාත් - වෛද්‍යවරයාත් යන දෙදෙනාම කැපවිය යුතුයි.එසේම පංචකර්ම ක්‍රියාවලියක් ඇරඹීමට පෙර ඒ සදහා රෝගියා සූදානම් කරවීමක් කළ යුතුයි. එමගින් බලාපොරොත්තු වන්නේ පෙර සදහන් කළ ශරීරයේ සෝත්‍රස් හරහා අපද්‍රව්‍ය ඉවත් කිරීම පහසු කිරීමට අදාළව ඒවා ලිහිල් කිරීමට අදාළ ක්‍රියාකාරකම්. ඒවාට කියන්නේ 'පූර්ව කර්‍ම' කියලයි. එහිදී පංචකර්මයට ලක්වන පුද්ගලයා එක දිගට දවස් තුනක් පමණ මෙම ක්‍රියාදාමයට යොදා ගන්නවා.
එවිට රෝගියා තමන්ගේ ආහාර , ඇදුම්, එදිනෙදා කටයුතු වෛද්‍ය වරයාගේ අනුදැනුම ඇතුව භාවිතා කිරීමත් කළ යුතුයි. පූර්ව කර්‍ම වර්ග දෙකක් තියෙනවා. පළමු වැන්න ස්නේහ කර්මය. දෙවැන්න ස්වේද කර්මය.

ස්නේහ කර්මය කියන්නේ තෙල් සාත්තුවට. දැන් කාලෙ භාෂාවෙන් කිව්වොත් 'මසාජ්' එකට. ඒත් ආයුර්වේදයේ යොදාගන්නා තෛල අභ්‍යංග විධි එයට පාත්‍ර වන්නාගේ කාමුක හැගීම් අවදි වන විදියට භාවිතා කෙරෙන්නේ නෑ. වෛද්‍යවරයාගේ තීරණය අනුව මුළු ශරීරයම හෝ කොටසක් තෝරාගත් ඖසධීය තෙලකින් සම්භාහනය කිරීම
මගින් මාංශ පේශි ලිහිල් කිරීම, රුධිර නාල වසා ගැටිත්ති උත්තේජණය කිරීම, ඒවායේ අවහිරතා මගහැරවීම, බාහිර ඉදිමීම් , තැලීම් සුවකිරීම මෙමගින් බලාපොරොත්තු වෙනවා.ඉන් අනතුරුව කෙරෙන ස්වේද කර්මයේදී සිද්ධ වෙන්නේ බාහිරින් යොදාගන්නා ඖෂධ භාවිතා කරමින් රෝගියාගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ නංවා දෝෂ හා මළ කොටස්
‍සෝත්‍රස් වෙත අද්දවා ගැනීම සහ මිනිසාගේ විශාලම අවයවය වන සමේ පිරිසිදු භාවය වර්ධනය කිරීමයි.ඒ සදහා ලීයෙන් හෝ මැටි වලින් නිමවූ ස්වේද කුටියක් භාවිතා වන අතර මෙය අද දවසේ 'ස්ටීම් බාත්' ලෙස හදුන්වනවා.

එයින් පසුව තමයි රෝගියාව පංචකර්මයට යොමු කරන්නේ. එසේ පිළිවෙලක් ඇතිව පංචකර්මයට යොමුකරන අයෙකුට ලැබෙන ප්‍රතිලාභත් හරි ඉහළයි. අකළට ගිලිහෙන තරුණ පෙනුම යළි ලබාදීම, ශාරීරික ජවය පවත්වාගැනීමේ හැකියාව, ලිංගික හැගීම් හා ශක්තියේ වර්ධනය, දීර්ඝායුෂ ලැබීම, පිළිකා, රුධිර පීඩන විචල්‍යතා, හෘදයාබාධ වැනි රෝග වලින් වැළකීමේ හැකියාව, දද- කුෂ්ඨ වැනි රෝග වලින් මිදීමේ හැකියාව වගේ දේවල් ඒ අතර ප්‍රධානයි.හැබැයි මේ සදහා නිවැරදිව යොමුවෙන කෙනෙක් තමන්ගේ සියළු කටයුතු එක් මාසයකට අත්හැරල දාන්න වෙනවා. අඩුම තරමේ ශ්‍රී ලංකා රුපියල් පනස්දාහක්වත් වියදම් කරන්න වෙනවා.නමුත් ඉහත කියන සියළු ප්‍රතිලාභ ලබාගැනීම සදහා වසර තුනකට වරක්වත් මෙම කැපකිරීම් කල හැකිනම් හොද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඔබටත් ලබාගත හැකියි. (ඉහත සදහන් රෝගයන් සදහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවුණාම ටිකෙන් ටික වැය වන මුදලත් කාලයත් එක්ක ගත්තහම කැප කළයුතු දේ බොහොමයි.) හැබැයි අද දවස වෙනකොට මේවගේ දේවල් මේ පිලිවෙලටම කරන සැබෑ ආයුර්වේද වෙදමැදුරු හොයාගන්න එක ටිකක් අමාරුයි.නමුත් නැත්තෙමත් නෑ.

දැන් එතකොට "ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන" නමින් සිද්ධ වෙන්නෙ ඉහත කී පූර්ව කමර්‍ සිද්ධ කිරීම විතරයි.එහිදීත් මසාජ් හැටියට භාවිතා වන්නේ වෛද්‍ය ක්‍රමවේද නොවෙයි. ඒ වෙනුවට යොදාගන්නේ ලිංගික හැගීම් උත්සන්න වෙන අභ්‍යංග විධි. ස්ටීම් බාත් ස්‍දහාත් නිවැරදි කාල පරාස, ක්‍රමවේද භාවිතා වෙනව කියල කියන්න බෑ.
මේවා පවත්වාගෙන යන බොහෝ දෙනෙක් ආයුර්වේද වෙන්නේ නමින් පමණයි. තමන්ගේ මසාජ් සෙන්ටර් සහ ගණිකා මඩම් වලට නීතිමය ආරක්ෂාව ලබාගන්න ආයුර්වේද වෛද්‍යවරයෙක් බදවාගෙන (සමහර විට ඒ වෛද්‍යවරයාටත් හොරෙන්) ඊටම සම්බන්ධ වෙනත් තැනක මෙවැනි ජාවාරම් කරන ව්‍යාපාරිකයන් බොහොමයි. සමහර ස්ථාන වල
බදවාගන්නා තරුණ අභ්‍යංග වරුන්ට (තෙරපිස්ට්)නිසි පුහුණුවක් නැති කමත්,ඔවුන් තමන්ගේ අමතර ආදායම වැඩිකර ගැනීම සදහා (සමරවිට පාලකයන්ටත් හොරෙන්) වැරදි ක්‍රියාකාරකම් වලට යොමුවීමත් නිසා අද වන විට "ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන" සල්ලාලයින්ගේ පාරාදීස බවට පත්වෙලා. හැබැයි නිවැරදිව ආයුර්වේද ක්‍රමවේද භාවිතා කරන මධ්‍යස්ථාන ත් නැතිවාම නොවෙයි.සත්‍ය තත්වය නම් ඒවාට පාරිභෝගික ඉල්ලුම සාපේක්ෂව අඩු බවයි.

ඉල්ලුමට අනුව සැපයුම ලබාදීම මත තමයි ඕනෑම ව්‍යාපාරයක් රදාපවතින්නේ.ඒනිසා රැල්ලට එරෙහිව පිහිනන්න ව්‍යාපාරිකයො කැමති නැති බව අපි පිළිගන්න ඕනෑ. හැබැයි ඒ වෙනුවෙන් ආයුර්වේද නම භාවිතා කිරීම ගැන වෛද්‍යවරු හැටියට අපිත් ආයුර්වේදයට ආදරය කරන ඔබත් විරුද්ධ විය යුතුයි. හැමදාම ආයුර්වේදයේ පුස්කොළ පොත් ගැන විවරණ කර කර නොඉද කාලයට ගැලපෙන තාලයට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේද නිර්මාණය කර නොගත්තොත් 'අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නෙනගී' කියන කුමාරතුංග මුනිදාස කිවියාණන්ගේ කීම වගේම ඩාවින්ගේ පරිණාම වාදයත් සනාථ කරමින් ආයුර්වේදය යටපත් වෙලා යාවි. නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර කරන ආයුර්වේද සිද්ධාන්ත මත පමණක් රැදී මාකටින් කළ හැකි ප්‍රතිකාර විධි සදහා අත්වැල් බැදගැනීමට නවීනව සිතන ආයුර්වේද වෛද්‍යවරුන්ටත් , සුබවාදීව සිතන ආයෝජකයින්ටත් කාලය එළැඹී ඇති බව වෙදහාමිනේ ගේ අදහසයි.

Email - nagarjunaherble@gmail.com

ඔබත් රහට කන්නෙ වහද?



ඔබ පසුගිය මාසයට දින කීයක් වෛද්‍යවරයෙකු හමුවුනාද? එහෙමත් නැත්නම් පසුගිය වසරක කාලය ඇතුළත ඔබ කී වරක් වෛද්‍යවරයෙකු හමුවුනාද? කියල මතකයට නගා ගන්න ඔබට පුළුවන්ද? දැන් සමහරවිට ඔබ ආඩම්බරයෙන් සිහිකරාවි "පසුගිය වසර පුරාවටම මම වෛද්‍යවරයෙක් හමුවුනේ නෑ කියල."ඇත්ත, අපි කවුරුත් කැමති වෛද්‍යවරයෙකු හමුනොවී, ප්‍රතිකාර නොගෙන ඉන්න. ඒත් ඔබේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියො, දූ දරුවො, පවුලේ
අය ගැන හිතුවහම එයාලත් එහෙමද කියල හිතල බලන්න.ඒත් නාගරික ප්‍රදේශයක හවසකට දේශීය හෝ බටහිර පෞද්ගලික ආරෝග්‍යශාලා ළග, උදේට රෝහලක බාහිර ප්‍රතිකාර අංශයක කොපමණ පිරිසක් බේත් හේත් ගන්න පොදි කනවද කියල පොඩ්ඩක් බලන්න. මේ තරමට අපේ රටේ මිනිස්සු ලෙඩ්ඩු වුනේ කොහොමද කියල හිතල බලන්න ඔබට විවේකයක් ලැබුනෙ නැද්ද? එහෙම නැත්නම් ඔබ එහෙම ලෙඩෙක් නොවුනෙ ඇයි කියල හිතල බලන්න ඔබ පෙළඹුනාද? ලෙඩෙක් නොවී ජීවත් වෙන්න නම් අපි අනුගමනය කළ යුතු දේවල් ගැන ටිකක් විතරකියන්න තමයි 'වෙදහාමිනේගේ' මේ ලිපිය වෙන්වෙන්නෙ.

මේ දවස් වල හැමෝම කතාවෙන්නෙ 2600වන සම්බුද්ධ ජයන්තිය ගැනනෙ. අපි අහල බලල ඉගෙන ගෙන තියෙන විදියට "මධ්‍යම ප්‍රතිපදාව" කියන සංකල්පය මුලින්ම හදුන්වාදුන්නෙත් බුදු දහමේ නිර්මාතෲ වන ගෞතම බුදුන් වහන්සේ තමයි.අපේ ශරීරයේ තියෙන පංච ඉන්ද්‍රියයන් පිනවීම ගැන සිය දේශනාවල උපදෙස් දෙමින් ඒවා පාලනයකින් යුතුව පිනවීමෙන් ලෞකික වගේම ලෝකෝත්තර සුඛයයන් කරා ගමන් කළ හැකිබව බුදුන් වහන්සේ සදහන් කරල තියෙනවා.ශරීරයේ පංච ඉන්ද්‍රියයන්
කියන්නේ ඇස,කණ, නාසය, දිව හා සම(ශරීරය) කියන අංග.මෙයින් කුමන ශරීරාංගයක් වුනත් ඕනෑවට වඩා පිනවීමෙනුත් ,අවශ්‍ය තරමට සන්තර්පණය නොකිරීමෙනුත් මිනිසාට විතරක් නෙවෙයි ඕනෑම සත්වයෙකුට රෝග හටගන්නවා.ඒ අතරිනුත් දිව කියන අංගය වඩා ප්‍රබලයි. දිව පිනවන්න නම් රස දැනෙන දේ භාවිතා කළ යුතුයි.රස නොදැනෙන දේ භාවිතයෙන් වන්නේ ශරීරය වැහැරීම. රස දැනෙන දේ භාවිතයෙන් වෙන්නෙ ශරීරය ශක්තිමත් වීම. නැතිනම් ප්‍රාණවත් වීම.ඒත් රසය ගැන පමණක් හිතා භාවිතා කරන ආහාර පාන වලින් සිද්ධ වෙන්නෙ ශරීරයේ ‍ස්වභාවික ජෛව රසායනික ක්‍රියාවලිය බිද වැටීම.සියයට සියයක් දේශීය වෛද්‍යවරු වගේම සමාගම් වල ඉත්තන් ගැත්තන් බවට පත් නොවුණු ලක්බිමට එහෙම ලියන වෛද්‍ය චමල් සංජීව වැනි බටහිර වෛද්‍යවරුත් මේ මතය සමග එකගයි.

ඔබටත් දිව පිනවීම මධ්‍යම ප්‍රතිපදාවෙන් කරන්න පුළුවන් කමක් තියෙනව නම් ඉදිරි වසරෙදි විතරක් නෙවෙයි ජීවිත කාලෙටම වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් හේත් ගන්න යන්න නොවෙන තාලෙට ජීවත් වෙන්න මග හදාගන්න පුළුවන්. ආහාර වලට වඩා ඖෂධ පෙති,කරල් ගිලින සමාජයක එහෙම නොවී ජීවත් වීම ආඩම්බරයක් විදිහට හිතන්න පුරුදු වීමත් අද කාලෙට වැදගත්.ඒවගේම ඔබ දැනට කිසියම් නිදන්ගත රෝගයකින් පෙලෙනවානම් මේ සාමාන්‍ය ආහාර රටාවට යොමුවෙන්න කලින් සුදුසුකම් ලත් දේශීය හෝ බටහිර වෛද්‍යවරයෙකුගෙන් අනුමැතිය ලබාගත යුතු බවත් අමතක කරන්න එපා.ඒ වගේම කිසිදු රෝගයකින් නොපෙළෙන කෙනෙක් වුවත් වසරකට වරක් වත් සුදුසුකම් ලත් දේශීය හෝ බටහිර වෛද්‍යවරයෙකු හමුවී විරේකබෙහෙත් හා පණු බෙහෙත් ලබාගත යුතු බවත් අමතක කරන්න එපා.එසේම අවුරුදු 30 ඉක්මවූ කෙනෙකු නම් වසරකට වරක් වෛද්‍ය පරීක්ෂණයක්,තම
සෞඛ්‍ය ගැටළු පිළිබද සාකච්ඡාවක් සිදුකිරීමත් වැදගත්.

ආයුර්වේද වෛද්‍යවරු හැටියට අපි හැමදාම උපදෙස් දෙන්නෙ කෘතිම ආහාර වලින් ඈත් වෙන්න කියල.කටට රසට කන්න ඕන තමයි. ඒත් රහයි කියල වහ කන්නෙ මොකටද? මුළු ලෝකයේම අපිට විතරක් උරුම වටිනා කුළුබඩු වර්ග ගණනාවක් යොදාගෙන ඒවා ක්‍රමානුකූල අනුපාතයට මිශ්‍ර කරල ආහාරයෙන් ආහාරයට විවිධ අනුපාතයෙන් මිශ්‍ර කරල ආහාර රසවත් කරන්න, සුවදවත් කරන්න අපේ අම්මල, ආච්චිල දැනුවත් වෙලා හිටිය. සමහරුන්ට අදටත් මතක ආච්චි අම්මගෙ පරිප්පු හොද්දෙ, පොල් සම්බෝලෙ රහ මැවුණෙ සුප්කැට, mono sodium glucomate අඩංගු කුඩු වර්ග නිසා නෙවෙයි.ඒවගේම හොද්ද,මාළුව,ඇඹුල ලිපේ තියෙද්දි, සම්බෝලෙ අනද්දි ඒකට ලුණු , අඹුල් මදිද- වැඩිද කියල කියන්න පුළුවන් ඉවක් අපේ තාත්තලට,සීයලට තිබුණ.අද ඒ රසාංකුර මැරිල ගිය මිනිස්සු දානෙ උයද්දිත් නොපෙනෙන විදියට හැන්දට අරන් දිවේ ගාල තමන් මුලින් ඉදුල් කරන තත්වෙට ඇවිත් තියෙනවා.
පවුලක පෝෂණය ගැන වගකීම තමන් අතේ බව හිතන්න ඕන අපේ සහෝදරියො සහ දුවණි වරු රූපවාහිනියෙ යන ටෙලි නාට්‍ය බලන්න තියෙන හදිසියට අතේ තියෙන සොච්චම කඩේට දීල සොසේජස් කරලක්, සෝයාමීට් ටිකක් අරන් ඇවිත් තෙල් ,මිරිස් යහමින් දාලා තව මදිනම් සුප්කැටත් දාල එහෙන් මෙහෙන් ගහල තමන්ගෙ පවුලෙ අයට හදල දෙන්නෙ මොනවද කියල පොඩ්ඩක් හිතල බලන්න.ඒවගේම තෙල් මිරිස් නැතිව කන්න බෑ කියල කියන පිරමි පාර්ශවයෙ උදවියත් මේ ගැන හිතල බලන්න.

msg වලට අස්ථි දිරීම්,පිපිරීම් එනව කියල කියනකොට අපි කරන්නෙ ඇනිලීන් හරි ඇන්මම් හරි ගෙනත් බොන එක. අස්ථි දිරීමට හේතුව හොයල හේතුව නැති නොකර තවත් වසක් අපේ ශරීරයට එකතු කරගෙන අස්ථි ශක්තිමත් කිරීම සිදුවෙයිද? නෑ. ‍අන්තිමට වෙන්නෙ මේ වගේ කෘතිම දේවල් වල තියෙන වෙනත් වෙනත් රසායනික ද්‍රව්‍ය අපේ ඇග ඇතුළෙදි ප්‍රතික්‍රියා කරල වෙනත් වෙනත් සංයෝග නිෂ්පාදනය වෙලා කොහෙ හරි තැන්පත් වෙන එක. අන්තිමට කාලෙකදි ඒක මතුවෙන්නෙ පිළිකාවක් විදිහට.එහෙම නැත්නම් මේ සංයෝග වකුගඩු හරහා නොපෙරී රැදීමෙන් වෙන්නෙ වකුගඩු අක්‍රිය වී විනාශ වීම.ඊට පස්සෙ සිද්ද වෙන්නෙ ජීවත් වෙන තුරාවට පිටරට බෙහෙත් නිෂ්පාදන ආයතන වල නිත්‍ය පාරිභෝගිකයින් බවට පත්වෙමින් මැරි මැරී ජීවත් වෙන්න සිද්ධ වීම. නැත්නම් වකුගඩු බද්ධයට, පිළිකා සැත්කමට ආධාර ඉල්ලමින් පත්තරවල, හන්දිවල හිගාකකා රස්තියාදු වෙවී උන්හිටි තැනුත් උකස් කර කර තමනුත් දරුපවුලත් අනාථ කරමින් මැරි මැරී ජීවත් වීම.ඉතින් අදම හිතන්න. මේකට පිළියම මොකද්ද කියල. කෘතිම ආහාර පාන වලින් වැලකෙන එකද? නැත්නම් හොරෙක් හතුරෙක්ගෙන් හරි ණයක් තුරහක් වෙලා පිළිකාවට එන්න කළින් මොකක් හරි රක්ෂණ සමාගමකින් ජීවිත/සෞඛ්‍ය රක්ෂණයක් ගන්න එකද ? අතීසාරයට අමුඩ ගහන තීරණ වලට චිර ප්‍රසිද්ධ අපේ රටේ බොහෝ දෙනා දෙවැනි පිළියමට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ.

අපිම මුදල් දීල ගේන ටීවී එකෙන් පෙන්වන හරසුන් කෑම බීම වලට අපිම මුදල් දීල කඩෙන් අරන් ඇවිත් ඒව කාල ලෙඩ වුණාම අපේ සල්ලිම දීල බෙහෙත් අරන් ඒ ලෙඩ වලට වියදම් කරන්න මුදල් නැති වෙයි කියල බයට රක්ෂණයකුත් අරන් ආහාර දාමයක් වගේ තැනින් තැන රැදෙන රාක්ෂයන් වන් සමාගම් සමූහයක බැංකු ගිණුම් තර නොකර මුල්ම පුරුකෙන් ගැලවිලා ස්වභාවික ආහාර රටාවකට යන්න අපි දෙපාරක් හිතන්න ඕනද?

එහෙම හිතන්න ඕන නෑ කියල වගකීමෙන් කියන ඔබට තුන්වේලෙ ස්වභාවිකව ආහාර ගැනීමේ ක්‍රමය ගැන කියල දෙන මේ ලිපියෙ ඊළග කොටස වෙසක් පෝයට කලින් පළකරන පොරොන්දුවෙන් වෙදහාමිනේ සමුගන්නෙ 'ලිපිය දිග වැඩි වෙන කොට' නීරස වේවි කියල හිතෙන නිසා. ඕ ලිපියට පෙර ඔබේ අදහසුත් ඇත්නම් ඒ ගැන මට කියන්න.

Email - nagarjunaherble@gmail.com

බෝවිටියා දං පලු ගෙඩි වාරේ ..........


පළතුරු කිව්වහම මතක් වෙන්නෙ මොනවාද? එකිනෙකට වෙනස් පළතුරු වර්ග කීයක නම් තත්පර 10ක් 20ක් ඇතුළත ඔබේ මතකයට ඒවිද?ඔබට වගේම මෙය කියවන බොහෝ දෙනෙකුටත් ඒ නම් අතරින් මුලන්ම මතක් වෙන්නෙ ඇපල්, දොඩම්, මිදි , නාරං වගේ විදේශීය පළතුරු තමයි. එතැනින් ටිකක් ඉදිරියට ගියහම අඹ , දිවුල්, කෙසෙල්, ගස්ලබු, අන්නාසි වගේ අපි නිරන්තරයෙන් නගරයේ පළතුරු කඩවල දකින ජනප්‍රියතම දේශීය පළතුරු වර්ග ටික. ඊළගට මතකයට එන්නෙ රඹටන්, අලිපේර, මංගුස්, දූරියන්, අනෝදා, වරකා වගේ දේවල් . එතැනින් එහාට පළතුරු වල නම් විදියට මතක් වෙන දේවල් බොහොම අඩුයි.මොකද බහුතරයක් දෙනා නගරයේ හරි අර්ධ නාගරික ප්‍රදේශ වල ඉපදිල හැදිල වැඩිල හැමදාම උදේ හවා දැකල,
රස බලල තියෙන්නෙ ඔය ජනප්‍රිය පළතුරු වර්ග ටික විතරයි. කලාතුරකින් හරි කෙනෙක් දෙන්නෙක් තමයි නිතර ඇස නොගැටෙන කාමරංගාවක, දෙඵමක, පලු ගෙඩියක,සියඹලාවක රස බලල ඇත්තෙ.

ඒත් අපේ මේ පුංචි රට ගත්තහම පළතුරු ආකරයක්.අද නාගරික ප්‍රදේශවල පර්චස් දහයෙ පහළොවේ කට්ටි කැඩුණු බොහෝ ඉඩම් මීට වසර දහයකට උඩදි අනිවාර්යයෙන්ම රසම රස දේශීය පලතුරු පැණි සුවද පිරිච්ච,කුරුලු කූජනයෙන් පිරිපුන් සුන්දර ලදු හෝ බඩවැටි තමයි.අදටත් කොළඹින් හැතැප්ම 30ක් 40ක් ඈතට යනකොට මේ වගේ දේශීය පළතුරු වලින් පිරුණු සුන්දර කැළෑ රොදවල් ඕනෑ තරම්.ඒත් අද බොහෝ දෙනා පළතුරු කියල උජාරුවෙන් කන්නෙ අපේ රස පළතුරු එක්ක සංසන්දනය කළොත් ගුණය අතින් පහළම මට්ටමේ තියෙන ආනයනය කළ ඇපල් ගෙඩියක් හෝ දොඩම් ගෙඩියක්.පිටකොටුවෙන් උදේ හවා රැකියා අවසන් වී නිවෙස් කරා යන බොහෝ දෙනා සුජිත් අයියගෙ පත්තර කඩේටත්,ඩේවිඩ් කඩල කඩේටත් අතර තියෙන පටු පදික වේදිකාවේ ඇපල් මිදි ගන්න පොරකන හැටි වෙද හාමිනේ අනන්තවත් දැකල තියෙනවා. ඒත් එතැනින් පඩිපෙළ බැහැල මැනිං මාර්කට් එකට ඇතුල් වෙන කොට විකුණ ගන්න බැරිව පරු වෙලා යන කාමරංගා, වෙරඵ, බෙලි , හින් නාරං වගේ දේවල් තියාගත්තු ගමෙන් එන අම්මලා ළගට ඒ අයගෙන් බොහෝ දෙනා යන්නෙ නැත්තෙ තම තමන්ගෙ ත්වෙට මදිපාඩුවක් වෙන නිසාද දන්නෙ නෑ.ඒ වුණාට අර අම්මලා ළග තියෙන දිවඔසු තරම් ගුණ තියෙන දේවල් ගන්න එන ගැන ටිකක් වෙලා බලන් හිටියොත් පේන්නෙ ඒ බොහෝ දෙනත් කාලෙකට පෙර ඇපල් දොඩම් කාපු, දැන් වෛද්‍ය උපදෙස් මත ඒවගෙන් මිදිල දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට, පිළිකා වලට බෙහෙත් ගන්න ලෙඩ්ඩු පිරිසක් කියල තමයි.මීට අවුරුදු දහයකට දොළහකට පෙරත් ඔවුන් දේශීය දේවල් වලට හුරුවෙලා හිටිය නම් අද ඔය විදියට පන්න පන්න ගමේ එළවලු, ගමේ පළතුරු හොය හොයා කන්න , පෙති අහුරු ගිල දමමින් නිරන්තර වෛද්‍ය පරීක්ෂා වලට ලක්වෙමින් , අදද හෙටද කියල බයේ ජීවත් වෙන්න ඕනෑ වෙන එකක් නෑ.

ඒ කොහොම වෙතත් අද දවසෙ වෙද හාමිනේ කතා කරන්න යන්නේ ටිකක් විතර වෙනස් පළතුරු වර්ග ටිකක් ගැන.අද වෙද්දි අපට අමතක වෙලා යන අපේ පරම්පරාවෙ ගොඩක් වැඩිහිටියො නමින් අහල තිබුණට දැකල නැති පළතුරු වර්ග ගැන.ඒවා නම් බොහොමයක් විවෘත ආර්ථිකයේ තරගකාරීත්වයෙන් , අපිට - විශේෂයෙන්ම අපේ පොඩි එවුන්ට අහිමි වෙලා ගිය සුන්දර ලෝක වල නෑදෑ හිතමිතුරන් වෙලා හිටිය දං,කීන,මොර,පලු,කටුලොවි, එරමිණියා , උගුරැස්ස වගේ දේවල්. රස විදින්න අත දිග මානෙ නැති වුණත් හිතෙන් හරි රසය මතක් කරගන්න පුළුවන් කාපු කෙනෙකුට නම්. මම මේ සදහන් කරපු පළතුරු වල තියෙන විශේෂත්වය (වාණිජ වශයෙන් තියෙන දුර්වලතාවය) තමයි මේ සියල්ලකින්ම හොද රසයක් ලැබෙන්නේ ගහෙන් කඩා ගත්තු ගමන් ආහාරයට ගැනීමෙන්.වෙලදපළට ප්‍රවාහනයදි ඉක්මනට තැලිල,තැම්බිලා යන මේ දේවල් කල් තියාගන්න එක අමාරු වැඩක්.


දං සහ කීන කියන්නෙ ලංකාවේ බොහෝ ප්‍රදේශ වල වැවෙන ගඩා ගෙඩි වර්ග දෙකක්.කෝපි ගෙඩියක් තරමට ලොකුවෙන දං ගෙඩිය (සමහර ප්‍රදේශ වල හීන් දං) මුලදි ලා කොළ පාටයි.ක්‍රමයෙන් ඉදෙන කොට දම් පාට වෙලා අන්තිමට කළු පාට වෙනවා. ගෙඩි පොකුරු පොකුරු පදුර පිරෙන්නම හැදෙන මේවා කෑවහම දිව, දත් එහෙම දම් පාට වෙනවා. ආමාශගත තුවාල, වණ - අන්ත්‍රගත ප්‍රදාහ වගේ දේවල් සුව කිරීමට හේතුවන මේ දං ගැස්ට්‍රයිටීස් වලින් පෙලෙන අයට හිතකරයි.ඉබේ මුත්‍රා පහවීම පාලනයටත් මේවා උපකාරී වෙනවා. මාදං කියන්නේ මිදි ගෙඩියක් විතර ලොකු වෙන ටිකක් විතර ලොකු ගහක හැදෙන දං වලට හැම අතින්ම සමාන පෙනුමින් යුත් තවත් සුවිශේෂී පළතුරක්.ශරීර අභ්‍යන්තරයේ සිදුවන රුධිර වහනයන් පාලනයට මාදං යොදාගන්න පුළුවන්. ආයුර්වේදයේදී මාදං කොළ පොතු වගේ දේවල් තැලීම්, වැටීම් වැනි අනතුරු වලට ලක්වුණු රෝගීන්ට ප්‍රතිකාර සදහා භාවිතා කරනවා. කීන (සමහර පැති වල චීන) කියන්නේ දං පදුරට සමාන තරමක් දීප්තිමත් කොළ පාටින් පෙනෙන පදුරක හැදෙන දං වලටම සමාන පොකුරු පොකුරු ගෙඩි හටගන්නා වර්ගයක්. හැබැයි ඉදෙද්දි කහ පාටයි. ඉදුනාමත් මිහිරි ඇඹුලකින් කන් දෙක දක්වාම හරිවට්ටවන කීන ගෙඩියක් දෙකක් කෑවාම බඩගින්න මතුවෙන්නෙ හරිම ඉක්මනින්.ඉස්සර කාලෙ කැලේ කොලේ දගළපු පුංචි එවුන්ට කෑම කවන්න "ඇපටෝන්" සිරප් පොවන්න මව්පියන්ට අවශ්‍ය නොවුනේ කීන වගේම ඇඹිල්ලත් ගෙවල් අයිනෙ ලන්දෙ බඩවැටියෙ ඕනෑතරම් තිබුණු නිසා.ඇඹිල්ල කියන්නේ පුංචි පුංචි කොළ තියෙන පොඩි පදුරක ගම්මිරිස් කරලක් වගේ ගෙඩි පොකුරු තියෙන වර්ගයක්.රඹුටන් වගේ කෙදි තියෙන එනසාල් කරලක් වගේ ප්‍රමාණයෙන් යුත් තවත් ඇඹිල්ල වර්ගයක් වියළි කලා‍පයේ බහුලව දක්නට ලැබෙනවා. මේවා ඉදෙන කොට කොළ පාටින් පටන් අරන් ක්‍රමයෙන් රතු රෝස පැහැයට මාරු වෙලා අවසානයේදී කළු වෙලා යනවා. ආහාර රුචිය වඩන්න වගේම පිපාසය සන්සිදුවන්නත් ඇඹිල්ල වලට උපරිමයෙන් පුළුවන්.

අතුපතර තියුණු කටු සහිත විවිධ ගස් වැල් ආක්‍රමණය කරමින් වැඩෙන එරමිණියා වලත් කාලයකට පුංචි පුංචි ගෙඩි එක සීරුවට හටගන්නවා.මේවා ටිකක් ඇඹුල් රසට හුරුයි. කැස්ස හැදිල සෙම බැදිල අවහිර වුණු උගුර පාද ගන්න ලුණු වතුරෙ පොගවපු අමු එරමිණිය ගෙඩියකින් ලැබෙන සහනය අද දවසෙ කැස්සටම කියල විශේෂයෙන් වෙළදපොලට එන ටොෆි, ලොසිංජර වලට වඩා ඉහළයි. හැබැයි අමු එරමිණියා ගෙඩි වැඩිපුර කෑවහමත් උගුර හම යන්න පුළුවන්. ඉදුණු එරමිණියා නම් ඕනෑ තරම් කෑමට ගත්තහැකි. ඊළගට ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවෙන, අද පවා කොළඹ නාගරික ප්‍රදේශවලත් වැවෙන බෝවිටියා රතු රැධීරාණු වර්ධනය කරන ගුණයෙන් යුත් පළතුරක්. කලයක් වගේ හැඩයක් ගන්න හීං බෝවිටියා ගෙඩියෙ පොත්ත ඉවත් කළාම මතුවෙන මදය කුඩු කුඩු සහිත එකක්.මේ මදය කාලා කටපුරා දම්පාට තවරගත්ත සුන්දර අතීතයක් වෙදහාමිනේට උරුම වීම ගැන ආඩම්බරයක් වගේම වෙදහාමිනේගේ දරු පැටවුන්ට ඒ වගේ සුන්දර ළමා වියක් අහිමි වේද කියල බියකුත් වෙදහාමිනේට තියෙනවා. සෙංගමාලය හැදුනු ළමුන්ට වගේම වැඩිහිටි අයටත් , ලේ මදකමින් පෙළෙන අයටත් ගුණදායක හීන් බෝවිටියා කැද ආයුර්වේද ප්‍රතිකාර වලදිත් නිතර භාවිතා වෙනවා. රටපුරාම දක්නට නැති වුණත් වියලි කලාපයේ බහුලය දක්නට ලැබෙන පලු කියන්නෙත් රසවත් පළතුරක්. අරාබිකරයෙ හැදෙන රටඉදි ගෙඩියට හැඩයෙන් වගේම ගුණයෙනුත් සමාන පලු රටඉදි වලට වඩා ප්‍රමාණයෙන් කුඩයි.කොළ පාටින් කහ පාටට හැරිල ඉදෙන පලු ගෙඩි වල ප්‍රණිත පැණි ගතියක් සමග කිරි වලිනුත් සමන්විතයි.නැගෙනහිර පළාතේ සහ පුත්තලම වගේ මුස්ලිම්වරු බහුල ප්‍රදේශ වලදි පලු වලට අධික ඉල්ලුමක් තියෙන්නේ ඒවා පුරුෂ ශක්තිය වර්ධනය කරන ආහාරයක් හැටියට ඔවුන් පිලිගන්න නිසා.ජේ. ආර්.පී සූරියප්පෙරුම මහතාත් දොරමඩලාව වැඩසටහනකදී පුන පුනා ප්‍රකාශකළේ ශක්තිජනක ආහාරයක් වන පලු යනු "දේශීය රටඉදි" බවත් එය ජාතික ආහාරයක් කළ යුතු බවත්ය. පලු වල ගුණ සලකා බැලුවොත් එය වාජීකරණ ශක්තිය ඇතිකරන, ශරීරයේ බලය වඩන, පෘෂ්ඨිය වඩන ආහාරයක්.ඒත් බොහො සිංහල ගම්මැදි වල නම් පලු ගස්යට පරු වෙලා යන පලු ඕනෑ තරම්.



උගුරැස්ස හා කටු ලොවි කියන්නෙත් බොහෝ දෙනා පටලවා ගන්න එක වගේම පෙනුම තියෙන පළතුරු දෙවර්ගයක්.රතු රෝස පාට තද මාංසල කොටසක් තයෙන කාපු ගමන් කට පුරා කහට පැතිරෙන වර්ගය කටුලොවි. ඉදුනාම කළු පාටට හුරු තද දුඹුරු පාටින් යුතු මිහිරි පැණි රහත්-කහට රහත් මිශ්‍රව තියෙන
වර්ගය උගුරැස්ස. උගුරැස්ස ගෙඩයෙ පොත්ත නොබිදෙන්න අතින් තලල කෑවාම කහට ගතිය අඩුයි.හෘද රෝගීන්ට වඩා හතකර, රුධිර ධාවනය ක්‍රමවත් කරන , සම පැහැපත් කරන සහ දන්ත රෝග වලක්වමින් විදුරුමස් ශක්තිමත් කිරීමේ හැකියාවත් උගුරැස්ස වල තියෙනවා.ඒ හැරුණු කොට හෘද රෝගීන්ට හිතකර ඇඹරැල්ලා, සිදරං, හීන් නාරං වගේම දුර්වල ආඝාත හා පක්ෂාගාත රෝගීන්ට ගුණදායක දෙළුම්, අලිගැටපේර, අම්ල පිත්ත රෝගීන්ට සුදුසු ‍ඇඹුල්පේර, රතු පේර (දෙමුහුම් කිලෝ පේර නොවේ.) ආදිය අපේ රටේ උරුමයන්. ඒත් අන්ධයාගේ කකුලේ හැපුණු මැණික ට සිදුවන දේම සිදුවෙමින් අකාරුණික පොරෝ පහරකින් සදහටම මියැදෙන්නට මේ අනගි සම්පත් වලට උරුම වෙලා තියෙනවා.පණුරෝග නසන , අග්නිය වඩන , දත් ශක්තිමත් කරන වෙරළු, වාජීකරණ ශක්තිය වඩන කොට්ටම්බා මද, රට ගොරකා, කාමරංගා, ගර්භාශගත අබාධ වලට ගුණ දෙන උක්පුරුක්, ඉදුණු අළු කෙසෙල් වගේ දේවලුත් අපේ ගුණදායක පළතුරු අතර නිතර නොදකින දේවල්.

මේ විදිහට අපේ ඇසට අසු නොවන බොහෝ ගුණදායක පළතුරු වර්ග වලින් අපේ රට සශ්‍රීකයි. එහෙත් කණගාටුවට කාරණය තමයි, බොහෝ දෙනා මේවා අදුනන්නේ නැතිකම හා ඒවායේ ගුණය පිළිබද අවතක්සේරු මානසිකත්වයකින් කටයුතු කිරීම. යටත් විජිත නිදහසින් පස්සෙ අපි බොහෝ දෙනෙක් විශ්වාසය තබන්නට වෑයම් කලේ නොරටින් එන දේවල් වලට වගේම අප උත්සහ කලෙත් නොරටුන් වගේ ජීවත් වීමටයි කියන එක සාධාරණ සත්‍යයක්. ඒත් ඒ සිතුවිලි හා ඇවතුම් පැවතුම් නිසාම අපි නැවතිල තියෙන්නෙත් දරැණු අදුරු අගාධයක් පාමුල බව තවමත් නිසි ලෙස වටහා නොගැනීම හා අනෙකාට වටහා නොදීමත් අවාසනාවට
ඇත්ත කථාවක්. වැඩියෙන්ම දුක දැනෙන්නෙ අපි අපේ පොඩි එවුන්ටත් තහංචි සීමා පනවල උදේ ඉදන් හවස් වෙනකම් ඩේ කෙයාර් වල ටියුෂන් වල හිර කරල අවහිර කරල තියෙන්නේ ගඩා ගෙඩි අතර රැදෙන මේ සුන්දර අවකාශය නේද කියල හිතෙන කොටයි. ස්වභාවිකත්වයෙන් ඇත් වෙලා තෙරක් නොපෙනෙන වාණිජ තරගකාරී ලෝකෙ අතරමංවෙලා දැන්වීම් වලින් දකින අරැමෝසම් වසවිස ගිලිමින් අපි මේ විනාශ කරගන්නෙ අපේ අධ්‍යාත්මය විතරක් නෙවයි, අපේ අනාගත පරම්පරාවේ නිර්මාණශීලී සෞඛ්‍ය සම්පන්න අනාගතය බවත් මතක් කර ගන්න. මේ එලැඹෙන සිංහල අවුරුදු නිවාඩුවටවත් මලින් පලින් බර සුන්දර ගම්මානයක සතියක් දෙකක් (සංචාරක හෝටලයක නම් නොවේ) නිදහසේ ගත කරල ගඩාගෙඩියක දෙකක රහ බලල එන්න උත්සහයක් ගන්න මැලිවෙන්න එපා.

Email - nagarjunaherble@gmail.com

සේරුවිල නැත්නම් සේරුවාවිල



අවිස්සා‍වේල්ල ට ආයුබෝවන් කියල ඇවිත් වෙදහාමිනේට නවතින්න වුනේ පින්බර සේරුවිලට නුදුරු තැනක. අලුත් පරිසරය, අලුත් මුහුණු එක්ක අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරගන්න මේ ටික කාලෙට හැකියාවක් ලැබුණා. සිංහල බහුතරයක් ජීවත් වෙන බස්නාහිර පළාතේ හැදිල වැඩිල දෙමළ වචනයක්වත් කථා නොකරපු වෙදහාමිනේ දැන් දෙමළත් ටික ටික කතා බහ කරනවා. මේ පරිසරයට මුහු වෙන්න නම් මේ මිනිසුන්ගෙ ජීවන රටාව, වටපිටාව, මේ පරිසරයටම වෙන්වුණු බෙහෙත් පැළැටි රෝග පරාසයන් වගේම භාෂාවත් හදුනගන්න ඕනෑ වුණා.පසුගිය ලිපියෙ සදහන් කරපු විදියට ආරම්භයේදීම ඇතිවුණ අසීරු අමාරුකම් ජය අරගෙන ආපහු වෙදහාමිනේගෙ අඩවියට ගොඩවෙන වෙලාවේ ඒ අත්දැකීම් වලින් ටිකක් බෙදාහදා ගත්තොත් හොදයි කියල හිතුනා.

නැගෙනහිර පළාත කිව්වහම ගොඩක් දෙනාගෙ හිතේ මැවෙන්නෙ යායට පෙනෙන කුඹුරු යායවල්, වැව් වලින් වතුර ගලාගෙන යන කෙත් ඇලවල්, උදේ හවා හේනට කුඹුරට තමන්ගෙ දහඩිය මහන්සිය වැයකරන ගොවි ගෙවිලියන්, හතේ පන්තියේ සිංහල පොතේ පළමුවැනි පාඩමේ ජීවත්වුණු මුදලිහාමි වගේ ළමා ළපැටියන් වගේ දේවල්. ඒ ඔක්කොම මගේ හිතෙත් ඇදිල තිබුණ - කන්තලේ පහු කරගෙන අල්ල, ගල්ආරු(කල්ලාර්), සේරුනුවර හරහා මේ පළාතට එනකම්.දවස් දෙක තුනකට නාගරික ජීවිතයෙන් මිදිල යහලු යෙහෙලියෝවැඩිහිටියො එක්ක විනෝද සවාරියක් හරි වන්දනාවෙ හරි ඇවිල්ල මේ මිනිස්සුන්ගෙ ජීවිත වලට උඩින් එබිල බලද්දි අපිට පේන්නෙ අර මම කළින් කිව්ව විදිහෙ අ.පො.ස. සාමාන්‍යපෙළ චිත්‍ර පාඩමේදී දිය සායම් තවරල ලස්සනට අදින ග්‍රාමීය දර්ශණයක් තමයි. හැබැයි මේ මිනිස්සු එක්ක ජීවත් වෙද්දි ඒ ලස්සනට යටින් මතුවෙන දුක්ඛ දෝමනස්සයන් බොහෝමයි.

සිව්වන ඊළාම් යුද්ධය ඇරඹුණු මාවිල්ආරු සොරොව්ව අත පොවන මානයේ වුනාට මේ ප්‍රදේශයේ ජිවත්වෙන පවුල් තුන්දහසෙන් දෙදහසකටම තමන්ගෙ ගොවිතැන් කරන්න වෙලා තියෙන්නේ අහස් දියෙන් විතරයි. මෙහෙට වැස්ස ලැබෙන්නේ සාමාන්‍යයෙන් ඔක්තෝබර්- ජනවාරි අතර ඊසාන දිග මෝසමෙන්. ඒ නිසා කරන්න ලැබෙන්නේ මහ කන්නය විතරයි. මෙදා පාර නැගෙනහිර පළාතට ලැබුණු අසීමිත වර්ෂාව නිසා සිද්ධ වුනේ පීදෙන්න ලක ලැහැස්ති වෙලා තිබුණු ගොයම සහමුලින්ම වගේ විනාශ වෙලා ඔවුන් තවත් අසරණ වුණු එක විතරයි. ඒ වැස්සෙන් මේ ප්‍රදේශයේ තිබුණු කුඩා වැව් තුන හතරක් කඩාගෙන ගිය නිසා මෙහෙ මිනිස්සුන්ට ඊළග මාස තුන හතරෙදි කටුසර බෝගයක් වගා කරන්න විතරක් නෙවෙයි නාන්න පවා වතුර ටිකක් හොයාගන්න අමාරු වෙන පාටයි. පහුගිය සමයෙත් මෙහෙ උදවිය බොන්න වතුර ටිකක් හෙයාගන්න හැතැම්ම දෙක තුන දුර ලිං වලට යන අවස්ථා වෙදහාමිනේ දැක්කා. එහෙම ගිහිල්ලත් ගොඩක් වෙලාවට ගේන්න වෙන්නෙ මළකඩ/කිවුල් රහ තියෙන කැකෑරුණු වතුර තමයි. ඒ වතුර නිසි ලෙස උණු කර පෙරා පානය නොකරන නිසා මෙහේ මිනිස්සු වකුගඩු අමාරු වලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් පේන්න තිබුණත් ඒකෙන් මිදෙන්න ලොකු වුවමනාවක් එදා දවස කොහොමහරි ගෙවා ගන්න හිතන ඔවුනට ඇත්තෙ නෑ.



වසර තිහක යුද්ධය නිසා මේ ප්‍රදේශවලින් ඉවත්වෙලා ඈත ප්‍රදේශවල පදිංචියට ගිය අය දැන් නැවතත් මෙහේ පදිංචියට ඇවිත් තිබුණත් ඒ එනකොට ඔවුන් සතුව තිබුණු නිවාස විනාශ වෙලා ගිහින්- ඉඩ කඩම් කැලෑවට ගිහින්. ඒ සමහර අය පදිංචි වෙලා හිටපු හෝ වගාකරපු ඉඩම් දැන් මුස්ලිම් ජාතිකයන් විසින් ඔප්පු තිරප්පු සකසාගෙන භාවිතා කරන නිසා එවැනි අයට සිද්ධ වෙලා තියෙන්නේ රජයේ ඉඩම් වල කටුමැටියෙන් සකසා ගත් නිවාස වලට වී දුක්ඛිත ජීවිත ගත කරන්න.මේ ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක වුණත් ඒවායේ බොහෝමයක් නිළධාරීන් සිංහල නොවන නිසා සිංහල ජාතිකයන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය සතුටුදායක නෑ. වෙදහාමිනේ ජාතිවාදී නොවුණත් සත්‍ය තත්වය ඒ විදියෙන් දක්වන්නේ සිදුවන අසාධාරණය දෑසින්ම දකින නිසයි. මෙහෙට පත්වෙන බොහෝ සිංහල පරිපාලන නිලධාරීන් හැකි හැම වෙලාවෙම උත්සහ ගන්නේ දකුණේ ප්‍රදේශයකට මාරුවක් හදාගන්න. හැබැයි උවමනාවෙන්ම ඉන්න හදන සමහර නිළධාරීන් පිරිසකුත් මේ අතර ඉන්නවා. ඒ අය බොහොමයක් ඉඩකඩම් වවාගෙන,දැව හෝ වෙනත් නීතිවිරෝධී ජාවාරම් වලට දායක වෙමින් කටයුතු කරන බව ප්‍රදේශයේ ප්‍රසිද්ධ රහස්. උපන්බිමේ අනවසර පදිංචිකරුවන් හැටියට ලේඛණ ගත වෙලා ඉන්න මේ සිංහල පිරිස් අතර පවතින අසමගියත් , පිල් බෙදීමත් නිළධාරීන් ලවා තමන්ගේ වුවමනා රාජකාරීමය කටයුතු කරගන්න ලොකුම බාධාවක්. කෙටියෙන්ම කිව්වොත් මෙහේ පරිපාලන යාන්ත්‍රණයේ ස්වභාවය 1940 ගණන්වල රජරට ආදායම් පාලකයෙක් වුණු විමලරත්න කුමාරගම වාර්තා කළ විදියෙම තත්වයක් තමා තියෙන්නේ.

ඊළග ලොකුම දුෂ්කරතාවය අලි කරදරය.සෝමාවතී වනෝද්‍යානයට මායිම් වෙන මේ ප්‍රදේශය අලි ඇතුන්ටනම් තෝතැන්නක්. හැමදාම හවස හතර පහ වෙනකොට කැලේ අලි ගම් වදින එක සාමාන්‍ය දෙයක්. අලි කරදරය නිසා කිසිම වගාවක් හරියාකාරව කර ගන්න බෑ. පොල් පැලයක්, කෙසෙල් පැලයක් , වී ටිකක් වගා කර ගත්තත් මෙයාලගෙන් බේර ගන්න පුදුම යුද්ධයක් කරන්න ඕන. මේ මහ කන්නෙට වී වගා කරපු අය හවස හතර හමාර වෙන කොට රෑට බත් ගෙඩියකුත් බැදගෙන කුඹුරට ගිහින් මදුරුවෝ තල තලා පැල් රකින්න පටන් ගන්න ඕන.වසර පහ හයකට කලින් යුද්දෙ දවස් වල මේ තරමට අලි කරදර නොතිබුණු බවයි ගමේ පරණ උදවිය කියන්නේ. දැන් අලි කරදර වැඩි වීමට හේතුව පින්නවලින් හෝ ඇත් අතුරු සෙවණින් මුදා හරින අලි ඇතුන් බොහොමයක් සෝමාවතිය වනෝද්‍යානයට මුදාහැරීම බවයි ඔවුන් කියන්නේ.මොකද මේ අලි මිනිසුන්ට බය නැති නිසා වගාවකට වැදුණු විට කෙතරම් එලෙව්වත් ඉවත නොයා විනාශ කරන බවයි දැනගන්න ලැබෙන්නේ.ඒ නිසා වනෝද්‍යාන මායමට විදුලි වැටක් හෝ ලැබෙනව නම් වඩා යහපත් බවයි ප්‍රදේශවාසීන්ගේ අදහස.



ප්‍රදේශයේ අවහිරතා, දුෂ්කරතා ගැන කියනවනම් තවත් ගොඩක් දුරට විස්තර කරන්න පුලුවන්. ඒ අතරට ගමනාගමන දුෂ්කරතා, නිෂ්පාදන අලෙවිකරණ ගැටලු, සන්නිවේදන පහසුකම් පිළිබද ගැටලු වගේ දේවල් ප්‍රධානයි. ඒ මොන දේවල් වුණත් දරාගෙන මිනිස්සු මෙහේ රැදී සිටිමින් යුධ සමයේ පවා ගම් බිම් අත්හැර නොගියේ සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ගරු සේරුවිල සරණකිත්ති ස්වාමීන් වහන්සේගේ එඩිතර ක්‍රියාමාර්ගයන් නිසයි. අපි කවුරුත් අහල පුරුදු දිඹුලාගල හිමියන්ගේ කාර්යභාරයම නැගෙනහිර සිංහල සළකුණ රදවා තබාගැනීමට උන්වහන්සේ කළ කාර්යභාරය මිළකල නොහැකියි. කොටි ත්‍රස්තවාදීන් විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්ථාවේ එයට විරුද්ධව උපවාස ක්‍රියාමාර්ගයක් දියත් කර රජයේ අවධානය වහාම යොමුකර කොටි ත්‍රස්තවාදය විනාශ කිරීමට මූලිකත්වය ගත්තේත් උන්වහන්සේයි.

එහෙනම් ඉතිං තවත් තොරතුරු සහිත ලිපියකින් යලිත් හමුවෙනතුරු අදට වෙදහාමිනේගේ ලිපිය නවත්වන්නම්.

Email - nagarjunaherble@gmail.com