Showing posts with label ප්‍රතිකාර. Show all posts
Showing posts with label ප්‍රතිකාර. Show all posts

බඩේ දැවිල්ලයි - උගුරට ඒමයි - කෑමයි බීමයි-දෙන දුක මේකයි - අම්ලපිත්තය හඳුනාගමු.

උප්පැන්න සහතිකේ ජාතිය සිංහල වුණාට ලෙඩක් දුකක් වුණත් හැදෙනව නම් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් නමක් තියෙන ලෙඩක් හැදෙනවාට කැමති ජාතියක් තමයි සිංහලයා කියන්නේ. එහෙම උජාරුවෙන් තමන් සතුවත් තියෙනවා කියල කැමැත්තෙන් කියන,  කාර්ය බහුල ජීවිතයක් ගත කරන බාල,තරුණ, මහළු බේදයකින් තොරව කාටත් වැළඳෙන රෝගයක් තමයි “අම්ලපිත්තය“. හැබැයි ගොඩක් දෙනා මේ රෝගය දන්නේ “ගැස්ට්‍රයිටීස්“ එහෙමත් නැත්නම් “ගැස්ටික්“ කියලා. මූලිකවම බඩ පපුවේ දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම, අජීර්ණය වගේ දේවල් තමා මේ රොගයේ ලක්ෂණ වෙන්නේ.

කොච්චර බෙහෙත් බිව්වත් හොඳ වෙන්නේ නෑ කියලා බොහෝ දෙනෙක් මේ දවස්වල අකුරු තුනක නමකින් එන කුඩා පැකට්ටුවක් වතුරේ දියකරලා බීලා තාවකාලිකව සැනසෙන්න බලන මේ රෝගය ආයුර්වේද ක්‍රමයෙන් නිට්ටාවටම සුව කරන්න පුළුවන්.

හැබැයි ඒ සුවකිරීම කරන්න නම් රෝගියෙක් විදියට අඩුම තරමේ මාස තුනක්වත් කැපවීමෙන් ආහාර හා දෛනික පිළිවෙත් අනුගමනය කරන්න එකඟ වෙන්න ඕන. මාළුවා නහින්නෙත් කට නිසා කියනවා වගේ අපිත් අපේ දෛනික ආහාර චර්යාවන් වැරදි විදියට අනුගමනය කිරීම තමයි මේ රෝගය වැළඳීමට මූලිකව හේතු වෙන්නේ.

ආයුර්වේදයේ හැඳින්වීම හැටියට අපට වැළඳෙන ඕනෑම රෝගයකට මුල්වෙන්නේ ත්‍රිදෝෂයින්ගෙන් එකක් හෝ කිහිපයක් කෝප වීම. “අම්ලපිත්තය“ සඳහා මූලිකවම බලපාන්නේ පිත කෝප වීම. ආයුර්වේද ශාස්ත්‍රයට අනුව පිත කොටස් දෙකකටබෙදෙනවා. ඒ ප්‍රකෘති පිත හා විදග්ධ පිත විදියට. මෙයින් විදග්ධ පිත තමා අම්ලපිත්තයේදී කෝප වෙන්නේ. විදග්ධ පිත ඇඹුල් රසයක් ගන්නවා. ඇඹුල් පිත - අම්ලපිත්තය විදියට තමයි නාමකරණය වෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් ගැස්ට්‍රයිටීස් කියලා කිව්වට බටහිර වෙදකමේ මේකට කියන නම "Hyper Acidity" .

බටහිර වෙදකමේදී අම්ලපිත්ත රෝගය හැදෙන හේතු තුනක් සඳහන් කරනවා.
01. ආමාශයේ හෝ බඩවැල් වල තුවාල ඇති විම
02. අධික දුම්පානය
03. නිසි පරිදි ආහාර නොදිරවීම තමයි ඒ හේතු තුන වෙන්නේ.

ආයුර්වේදයේ දී නම් ටිකක් ගැඹුරු විදියට පහත හේතු අම්ල පිත්තයට හේතු වෙනවා කියලා ලියැවිලා තියෙනවා.
01. සෘතු වලට නොගැලපෙන චර්යාවන්
02. එකිනෙකට නොගැලපෙන ආහාර වර්ග එකවිට භාවිතය
03. නරක් වූ ආහාර , සැර, ඇඹුල් හා පිත කිපෙන ආහාර බවර්ග නිතර ගැනිම
04. මෝරු , රා ආදී බිම වර්ගද, උඳු, මෑ ආදී රළු ආහාර නිතර භාවිතය
05. මානසික ව්‍යාකූලත්වය, අධික තෙහෙට්ටුව හා කුසීත බව
කියන හේතුන් නිසා පිත කෝප වීමෙන් අම්ලපිත්තය හට ගන්නා බවයි ආයුර්වේදය කියන්නේ.

ආයුර්වේදයට අනුව අම්ල පිත්තය කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් අනුව රෝගයේදී දැනෙන රෝග ලක්ෂණ පවා වෙනස් වෙනවා.
ඒ පහත පරිදි.
01. ඌර්ධව ගත අම්ලපිත්තය
02. අධෝගත අම්ල පිත්තය

ඌර්ධවගත අම්ලපිත්තය ට පිත විතරක් නොවෙයි සෙමත් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම සුලභයි. අපි ට මේ රෝගයේ දී නිතර ඇසෙන රෝග ලක්ෂණ තමා දැනෙන්නේ. ඒ කියන්නේ බඩ පිපුම,  දැවිල්ල, ඇඹුල් රසට උගුරට ඒම, බඩ පුරවා දැමීම, පපුව සිරවීම,ඔක්කාර ගතිය වගේ දේවල්.


අධෝගත අම්ල පිත්තය දුලභයි. සෙම සම්බන්ධ නෑ. පිත විතරයි. ලක්ෂණ විදියට දැනෙන්නේ, පිපාසය, දැවිල්ල, කැරකිල්ල, සිහිමුර්ජාව, ඔක්කාරය, බඩගිනි අඩු බව, දහදිය ගැලීම, කටින් කෙල වැගිරීම, සමේ පලු මතුවීම වගේ දේවල්.

මේ නිසා බොහෝ වෛද්‍යවරු පවා මේ තත්වය අඳුනගන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට රෝගියාගෙන් එක එක වාර්තා ගෙන්වගෙන බලලා  ප්‍රතිකාර ලැබෙන්නේ වෙනත් රෝගයකට. ඒ නිසා රෝගියා අසරණ වෙන අවස්ථා වැඩියි.

ඒ නිසා රෝගියා තමන්ගේ වෛද්‍යවරයා සහ ප්‍රතිකාර ක්‍රමය හොඳ සිහියෙන් තෝරාගැනිමකට ලක්කළ යුතුයි.

මේ රෝගය සෑදුනු කෙනෙක් ඉන්නවානම් වහාම මාස කිහිපයක ප්‍රතිකාර පන්තියකට දායක වී පළමුව තමන්ගේ රෝගී තත්වයෙන් මිදිය යුතුයි. ඒ සඳහා ඔබේ තෝරාගැනීම ආයුර්වේද ක්‍රමය නම් වෙදහාමිනේට වුණත්, වෙනත් පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙකුට වුණත් මෙම රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ සඳහා ගතවෙන කාලය අවමව මාස යක් හෝ දෙකක් විය හැකියි. නමුත් එහි උපරිමය තීරණය වෙන්නේ රෝගියාගේ රෝග තත්වයේත්, ඔහුගේ උනන්දුව හා පරෙස්සමේත් ප්‍රමාණය මත.ප්‍රතිකාර කිරීමේදී රෝගය නැවත ඇතිවීම වළක්වා ගන්නා ක්‍රමත් ඔබේ ආයුර්වේද වෛද්‍යවරයා විසින් ඔබව දැනුවත් කරාවි.

රෝගය දැනට නොවැළඳුනු එහෙත් පෙර දක්වා තිබෙන රෝග කාරක හේතු වලට නිරන්තර මුහුණ දෙන කෙනෙක් නම් හෝ රෝගය ප්‍රතිකාර මඟින් සුව කරගත් අයෙක් නම් පහත උපදෙස් පිළිපැදීමෙන් නැවත රෝගය මතුවීම වළක්වාගත හැකියි.

*- අධික ලෙස ශිත කළ බිම වර්ග හා කාබනිකාත බීම වර්ග නිරන්තර භාවිතයෙන් වැළකීම. බබල්ගම් වැනි කෙළග්‍රන්ථී උද්දීපනය කරන රසකැවිලි භාවිතයට නොගැනීම. (බුලත්විට වුණත් අධිකව භාවිතය නරකයි.)
*- දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා නියමිත කාලසටහනක් පවත්වාගැනීම. ඒවා අතර අවම පැය හයක පරතරයක් පවත්වා ගැනීම.
*- ප්‍රධාන ආහාර වේල් දෙකක් අතර (මද උණුසුම් නම් වඩා හොඳයි) වතුර වීදුරු තුනක් වත් පානය කරන්න.
*- තේ හෝ කෝපි පානය හැකිතරම් සීමා කරන්න. ඒ වෙනුවට රස නොකළ කිරි හෝ පළතුරු /ඔසුපැන් වලට හුරුවන්න.
*- ප්‍රධාන ආහාර වේල් අතර තුර කුසගින්නක් නොදැනේ නම් කිසිදු කෙටි ආහාරයක් නොගන්න. එසේ ගන්නේ නම් තෙල් රහිත හා අළුතෙන් සැකසූ  කෙටි ආහාරයක් ගෙන  ප්‍රධාන ආහාරය ගැනීමට පැය තුනකවත් කාල අන්තරයක් තබාගන්න. ඒ අතර තවත් එක් වතුර වීදුරුවක්වත් වැඩිපුර පානය කරන්න.
*- අධික තෙල්, වියළිමිරිස්,කුළුබඩු  යෙදූ ආහාර , ඇඹුල් ආහාර, අබ, විනාකිරි, සැමන්, රටදෙල්, ඌෂ්ණ මාළු හා කරවල, ගෝවා, මුරුංගා මාළුමිරිස් අච්චාරු ආදිය අධික ලෙස අහාරයට නොගන්න. (වැළඳී ඇති අයට මේවා ස්වල්පයක්වත් හොඳ නැත.)
*- මානසික ඒකාග්‍රතාවය - නිදහස පවත්වාගෙන යන්න. අධික ලෙස නිදි වැරීම, අලසව හිඳීම, ත්‍රාසජනක හා අවේගශීලි ක්‍රියාකාරකම් වලින් , ගැටළු පිළිබඳ දිගින් දිගටම කල්පනා කිරීමෙන් වළකින්න.
*- එවැනි අසහනකාරී අවස්ථාවකදී යහපත් මිතුරන්, තමන්ගේ ආගම හෝ පුවත්පත් කියැවීමකින් ඉක්මනින් මානසික සහනය කරා යොමුවීමට කටයුතු කරන්න.

රෝගය වැලඳුනු හා නොවැලඳුනු අයට යෝග්‍ය ආහාර වන්නේ...
*- එළකිරි, කුඩා මාළු, සියළු පළා වර්ග, පළතුරු, තැඹිලි, කුරුම්බා, කැකිරි, කොහිල, පොලොස්, කවපි හා මුංඇට අනෝදා, ගම්මිරිස්, සුදුළූණු, උළුහාල්, බතල, වට්ටක්කා ආදියයි.

තාවකාලිකව සැනසෙන්න කියලා දේශීය හෝ බටහිර ඖෂධයක් නොවන වාණිජ අරමුණක් ඇති නිෂ්පාදන වලට යොමුවීමෙන් වෙන්නේ රෝගය තව තවත් උත්සන්න වීම විතරයි. අනෙක ඇඹූල් රසට උගුරට එන ආම්ලික රෝග තත්වය සමනයට භාෂ්මික දෙයක් ගැනීම විය යුතුයි කියන සාමාන්‍ය දැනීමත් අතහැරලා සිට්රික් අම්ලය සහිත දෙයක් ගැනීමෙන් ආමාශය තවත් ආම්ලික වීමක් නේද වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න.

ආයුර්වේදයේ අපිටත් තාවකාලික සහනයන් දෙන්න නිෂ්පාදන සකසන්න පුලුවන්. ඒත් වැදගත් වෙන්නේ තමන්ගේ රෝගයේ තත්වය වටහාගන්න වෛද්‍යවරයෙකුගෙන්ම ප්‍රතිකාර ගැනීම. ඒ වෙනුවෙන් දිගින් දිගටම පැමිණීමට නොහැකි කාර්ය බහුල ඔබ වෙනුවෙන් දුරස්ථ ප්‍රතිකාර ක්‍රම පවා ආයුර්වේද වෛද්‍යවරියක් හැටියට වෙදහාමිනේ සතුව තියෙනවා. අනෙක් සෑම ආයුර්වේද වෛද්‍යවරයෙක් ගාවත් මේ සඳහා නිට්ටාවට සුව වෙන ප්‍රතිකාර තියෙනවා. අවශ්‍ය වෙන්නේ රෝගියෙක් හැටියට ඔබගේ කැපවීම හා උනන්දුව විතරයි.

ඔබගේ අදහස් හා විමසීම් සඳහා අප අමතන්න පිටුවේ පෝරමය භාවිතා කරන්න. තෙරුවන් සරණයි!.

Email - nagarjunaherble@gmail.com

වැඩිදුරටත්.................

අපගේ බ්ලොග් අඩවිය ආයුර්වේදය, ජ්‍යොතිෂ්‍යය, දේශීය කෘෂිකර්මය හා ආශ්‍රිත අංශ පිළිබඳවත් සාකච්ඡා කෙරෙන පූර්ණ වෙබ් අඩවියක් බවට පත් කරන්න අදහසක් තියෙනවා. දැනටමත් එහි මූලික පියවර කිහිපයක් අරන් තියෙනවා. ඉතින් තරුණ වෛද්‍යවරුන් හැටියට අපේ අඩුපාඩුකම් හඳුනගෙන අළුත් ගමනක් යන්න හිතන හැමදෙනාමත් එකතු කරගෙන “වෙදහාමිනේගේ අඩවිය“ අළුත් ආකෘතියකින් ඉදිරියට ගෙනියන්නයි වෙදහාමිනේගේ සූදානම.එහිදී පාඨකයින් හැටියට අපේ අඩවියේ වෙන්න ඕන වෙනස්කමගෙැන අදහස් වගේම, ලිපි හා අදහස් සැපයීමෙන් දායක වෙන්න පුළුවන් උපාධිධාරී හෝ පාරම්පරික වෛද්‍යවරුන් හා අනෙකුත් ක්ෂේත්‍ර වල ප්‍රමානික උගතුන්ගේ සහායත් ‍වෙදහාමිනේ බලාපොරොත්තු වෙනවා. ඔබගේ අදහස් හා විමසීම් සඳහා අප අමතන්න පිටුවේ පෝරමය භාවිතා කරන්න.
ස්තූතියි! 

දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා

ඔබ විවාහකයෙක් නම් ඔබේ ඊළඟ අරමුණ සුන්දර දරු සිඟිත්තෙකු කැදැල්ලට කැඳවා ගෙන ඒම. ඒක එහෙම නම් ඔබට මේ ලිපිය වැදගත්. ඔබ ඔබේ දරුවා හදා වඩා ගන්නේ කාගේ වුවමනාවටද? අතීතයේදී නම් ඔබේ දරුවා හදාගන්න ඔබට උපදෙස් අනුශාසනා දෙන්නේ ඔබ දෙපළගේ මව්වරු හෝ වැඩිමහල් සොයුරියන්. නාවන හැටි, කිරි පොවන හැටි, බෙහෙත් දෙන හැටි, කෑම බීම සකසන විදිය ආදිය ගැන දැන හුරුවෙන්, කළ හුරුවෙන් උපදෙස් ලබාදුන්නේ ඒ අය. ඒත් අද දවස වෙද්දි ඒ කාර්යය පැවරිලා තියෙන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවට හෝ වෛද්‍යවරයාට.අද දවසේ බටහිර වෛද්‍යවරු කියන්නේ සමාගම් ගණනාවක අලෙවි නියෝජිතයින්. දරුවාට දෙන යෝගට් එකේ ඉඳල කිරිපිටි වර්ගයේ විටමින් වර්ගයේ වෙලඳ නාමය තිරණය කරන්නේ ඔවුන්. එතැනදී බටහිර වෛද්‍යවරුන් බොහොමයක් තමන්ගේ වෘත්තීය ගරුත්වය පැත්තකට දාලා තමන්ගේ පාරිභෝගිකයින් (රෝගීන් කියන්න බැරි ඔවුන්ගෙ තියෙන්නේ වාණිජ අරමුණක් නිසා) අවස්ථානුකූලව තෘප්තිමත් කරලා දිගුකාලීන වෙලඳපොලක් තනාගන්නවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන දහසින් බැඳි පියළි වලින් තමන්ගේ ප්‍රභාව වර්ධනය කරගෙන ඒකම යළි යළිත් පාවිච්චි කරන්නේ තමන්ගේ වෙළඳ ආයතන පෝෂණය කරන්න. වර්තමාන ක්‍රමවේදය අනුව ගර්භීණී භාවය භයානක අවස්ථාවක් හැටියට හඳුන්වලා දීලා ඉක්මන් ලියාපදිංචි වීම්, පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුම්වත් කිරීම්, සායනයට සහභාගී වීම් ආදිය වහාම ක්‍රියාත්මකකළ යුතු දේවල් හැටියට දක්වලා ආරම්භයේ සිටම වෛද්‍යවරයාගේ අත්අඩංගුවට ගැබිණී මවව පත් කර ගන්නවා. එතැන් සිට නියම කරන යකඩ පෙත්තේ ඉඳල දරුවට මාස හයක් හතක් පහු වෙනකම් මේ අත්අඩංගුව ඒ විදියටම ක්‍රියාත්මකයි. (පෞද්ලිකව වෙදහාමිනේ නම් යකඩ පෙති බිව්වෙවත්, වෛද්‍යවරු චැනල් කළේ වත් , ස්කෑන් කලේ වත් නෑ. හැබැයි නිසි අවබෝධයෙන් තොරව ඔබට එහෙම නොකර ඉන්න යෝජනා කරන්නෙත් නෑ.) දරුවා ලැබුණාට පස්සේ කායම් හොද්ද හදන තැන ඉඳල, වෙනිවැල්ගැට තම්බා නෑවීම්, රන් කිරි කට ගෑම්, ගම්මිරිස් පිඹීම්, රත කල්කය දීම් සමහර තැන් වල දෙමව් පිය වැඩිහිටි අවබෝධයෙන් අද දක්වා කෙරුණත් ඒවා කෙරෙන්නේ වෛද්‍යවරුන්ට, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට රහසේ. මොකද දැනගත්තොත් දහසකුත් ප්‍රශ්ණ. සායනයෙදි පසිද්ධියේ බැණ වැදීම් දක්වා මේ තත්වය උඩු දුවන තත්වයක් තමා අද වන විට තියෙන්නේ. (හැබැයි සිංහල අපි අපේ සාම්ප්‍රදායික වත් පිළිවෙත් පහත් කරල මඟ ඇරල ගියාට දෙමළ ජනතාව මොන ප්‍රශ්ණ මැද වුණත් තම සාම්ප්‍රදායික වත් පිළිවෙත් නවජාත බිළිඳුන් වෙනුවෙන් අනිවාර්යයෙන් කරන්න එඩිතරයි.) රජයේ සායන වලින් බැහැරව පෞද්ගලික චැනල් වෛද්‍යවරයාගෙන් පවා මේ වත් පිළිවෙත් කරන්නද ඇහුවොත් “ඇයි ඒවා දෙන්නේ.. අපේ බෙහෙත් හොඳ නැද්ද?“ “ඕවා පිරිසිදුව හදපුවා නොවේ... ගල්කුඩු හිටන් තියෙනවා“ “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ වගේ සෘණාත්මක ප්‍රතිචාර තමා ලැබෙන්නේ.
අද දවසේ වෙදහාමිනේ සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ කුඩා දරුවන්ට දෙන රත කල්කය ගැන. රත කල්කය කියන්නේ මොකද්ද? ඒක වැදගත් වෙන්නේ ඇයි? දිය යුත්තේ කොපමණ මාත්‍රාවකින්ද? වගේ දේවල් තමා වෙද හාමිනේ මෙම ලිපියෙන් සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ. රත කල්කයට දෙසඳුන් කල්කය කියලත් කියනවා. එහෙම කියන්නේ රත් හඳුන් හා සුදු හඳුන් කියන දෙවර්ගයම මෙම කල්කය සැදීමට වැඩි ප්‍රතිශතයකින් භාවිත කරන නිසා. ඊට අමතරව කොල්ලු, වදකහ, වැල්මී, සහිඳ ලුණු හා දෙහි යුෂ විවිධ අනුපාත වලින් යොදාගෙන නිශ්චිත පියවර ගණනාවක් ක්‍රමිකව පසුකරලා තමා මේ කල්කය හදන්නේ. (වෙදහාමිනේ මේ ක්‍රමවේදය පියවරෙන් පියවරට විස්තර කරන්න දැනගත්තත් මෙවන් පොදු ලිපියකින් එවැනි හෙළි කිරීම් කරල බහුජාතික සමගම් හොරුන්ට වට්ටෝරු දන්දීලා අපේ දේවල් අහිමි කර ගන්න උවමනාවක් නැති නිසා එහෙම කරන්නේ නැ. ) කාලෙකට කලින් ගමේ වෙදගෙදරක දි වුණත් අද දවසෙදි මහා පරිමාණ නිෂ්පාදනාගාර වල වුණත් රත කල්කය හැදෙන්නේ අනෙක් කල්ක වලට වඩා විශේෂ අවධානයකින්. ඒකට හේතුව තමා රත කල්කය නවජාත(අළුත උපන්) බිළිඳුන් සඳහාත් භාවිතා කරන ඖෂධයක් වීම. හැබැයි රත කල්කය ලබාදෙන්නේ නවජාත බිළිඳුන් සඳහා පමණක් නොවෙයි. තරමක් වැඩුණු දරුවන්ගේ ඉඳලා වැඩැහිටියන් දක්වාම රත කල්කය දෙන්න පුළුවන්. රතකල්කය සැදීමේදි යොදාගන්නා ඖෂධ සියුම්ව අඹරනවා. මේ නිසා තමා බටහිර වෛද්‍ය වරු “ඕවා පිරිසිදුව හදපුවා නොවේ... ගල්කුඩු හිටන් තියෙනවා“ යන චෝදනාව රත කල්කයට එරෙහිව ගේන්නේ. හැබැයි අද දවසෙදි අපි කන හාල් ඇටයක් ගානේ ආසනික් තියෙද්දි, කන එළවළුවක් ගානේ තව විවිධ රසායන බැර ලෝහ තියෙද්දි, මාළු කෑල්ලක ෆෝමලින් තියෙද්දි මේ කිසි දෙයක් මව් කිරි හරහා බිළිඳු ශරීරයට සංක්‍රමණය නොවෙනවා කියලා බටහිර වෛද්‍යවරු හිතනවාද? එහෙම තියෙද්දි ගලේ අඹරලා හදන රතකල්කේ කන්හැන්දක ගල්කුඩු හානිකර විදියට තියෙන්න පුළුවන්ද? අනෙක ගෙදරක මිරිස් ගලක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා, හැමදාම භාවිතා කරන මිරිස් ගලක් අඟල් කාලක් ගෙවෙන්න අවුරුදු දහයක් දොළහක් ගතවෙනවා. එහෙම නම් පැයක් දෙකක් බෙහෙත් අඹරද්දි ගෙවෙන්නේ කොච්චර කුඩා කොටසක්ද කියලා. බටහිර වෛද්‍යවරු ආඩම්බරයෙන් නිර්දෙශ කරන ලෝක ප්‍රකට වෙළඳ නාම සහිත නිෂ්පාදන වල ප්‍රමිතිය ගැන අදටත් ප්‍රශ්ණ තියෙනවා. ඒත් අලංකාර දැන්වීම් කරණයෙන් නිලංකාර වෙලා අපේ දේට ඇඟිල්ල දිගුකරන බටහිර වෛද්‍යවරුත් නටන මොණරුන් වගේ. ලස්සන ඉස්සරහ විතරයි.
නියමිත බර ඇතිව වෙනත් සංකූලතා කිසිත් නැති නවජාත බිළිඳෙකුට දින 21ක් සම්පූර්ණ වූ පසු රතකල්කය දීම ආරම්භ කළ හැකියි. ඒ සඳහා සුදුසුකම් සහිත දේශීය වෛද්‍යවරයෙකු වෙත දරුවා ඉදිරිපත් කර මාත්‍රාව හා අවස්ථා ගණන තිරණය කළ හැකියි. වෛද්‍යවරයෙකු ගාවට නොගිහින් සමහර අවස්ථා වල නිවසේදීම රත කල්කය දෙන අවස්ථාත් තියෙනවා. නමුත් වෙදහාමිනේ කියන්නේ නම් දරුවා දෛශීය වෛද්‍යවරයෙකු ‍වෙත ඉදිරිපත් කිරීම වඩා සුදුසු බවයි. පිළිගත් දේශීය වෛද්‍යවරයෙකු යෝජනා කරන ඕනෑම නිෂ්පාදකයෙකුගේ රතකල්කය ඇසුරුමක් දරුවා වෙනුවෙන් භාවිතා කරන්න පසුබට වෙන්න එපා. මොකද සෑම ආයුර්වේද නිෂ්පාදකයෙකම නියම ප්‍රමිතියෙන් මේ දේ සකසනවා. සාමාන්‍යෙයන් රත කල්කය ඇසුරුමක් ග්‍රෑම් 50ක්. මෙය වසර දෙකක පමණ කල් ඉකුත්වීමේ කාලයකින් යුක්තයි. ගෙදර ගෙන ආ පසුව හොඳින් සෝදා අව්වේ වියලාගත් වැසුම් සහිත භාජනයක රඳවා තබා වෛද්‍ය උපදෙස් මත නිසි කාල පරාසයකින් භාවිතයට ගැනීම සුදුසුයි. දින 21 බිළිඳෙකුට නම් නිර්දේශ කරන්නේ කොත්තමල්ලි ඇටයෙන් භාගයක තරම් ප්‍රමාණයක්. සංකූලතා සහිත දරුවෙක් නම් ටික දිනක් පමා කරලා සංකූලතා පහවූ පසු තමා රත කල්කය භාවිතා කරන්නේ. “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ කියලා බටහිර වෛද්‍යවරු තර්ක කරන්නේ ඔය කාරණය තමා. බටහිර වෛද්‍ය ක්‍රමයෙදි රෝගයකට ප්‍රතිකාර ලෙස ඖෂධ යොදාගන්නවා මිසෙක රෝග බෝවීම වැලැක්වීමට (එන්නත් හා පෝලියෝ බින්දු හැර) වෙනත් ඖෂධ භාවිතයක් නැහැ. දරුවෙකු ස්වභාවිකව බිහිවීමේදී ප්‍රසව මාර්ගයේදී සහ මුල්ම කිරි වල අඩංගු ප්‍රතිශක්ති කරණ ගුණයන්ගෙන් පසු ආයුර්වේදයෙන් නිර්දේශ කරන පළමු ප්‍රතිශක්තීකරන ඖෂධය තමා රත කල්කය. මේකෛන් වෙන්නේ ළදරු අවධියේ නිතර මතුවෙන ජීර්ණ අපහසුතා, උණ ගැනීම්, සමේ රෝග,රුධිර ගත විෂ හා සෙම ආදිය සමනය කිරීම. නිකමට මාස 6ට අඩු දරුවෙක් ඉන්න මවක් නම් ඔබ ඉහත හේතු නිසා (මතුවන රෝග ලක්ෂණ වන බඩ පිපුම, අජීර්ණය, කිරිවමනය, මළ බද්ධය, හමේ බිබිළි, සෙම, හෙම්බිරිස්සාව, තුවාල, වණ, උණ, ඇස්වල කබ.....)කී වරක් දරු පැටියා වෛද්‍යවරයා ළඟට රැගෙන යනවාද කියලා. ඉතින් රත කල්කය නිසි ලෙස භාවිතයෙන් සිද්ධ වෙන්නේ මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට අවස්ථා අහිමි වීම. ඉතින් මොන බටහිර වෛද්‍යවරයාද කැමති තමන්ගේ පාරිභෝගිකයෙක් අඩු වීමට. මේ නිසා තමා ඔවුන් “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ යැයි පවසමින් මේක ලබාදීම වැලැක්වීමට උත්සහ කරන්නේ. රත කල්කය දෙන මාත්‍රාව සඳහන් කළත් තාම දෙන විදිය කිව්වෙ නෑනේ. රත කල්කය විතරක් නෙවෙයි වෙනත් ඕනෑම දෙයක් නවජාත දරුවෙකුට ලබාදෙද්දි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම දේ පිරිසිදු කම. මව් කිරී දීමේදී පවා ඒක වැදගත්. මේ පිරිසිදු කම ගැන මව්වරු නොසිතීම නිසා දැන් මාතෘ සායන වලදි දරුවාට මාස6ක් දක්වා වතුර වත් පොවන්න එපා කියලා කියන්න තරම් වෛද්‍යවරු පෙළඹිලා. මුලින්ම නටන වතුරෙන් සේදූ තේ හැන්දකට මව් කිරි බිංදු 03-04ක් දොවාගෙන ඊට රත කල්කය නිර්දේශිත ප්‍රමාණය දියකරගන්න. එය කලින් සෝදා වේලාගත් කපුරෙද්දකින් නැවත හැන්දට පෙරාගෙන ලැබෙන ද්‍රාවණය දරුවාගේ දිවේ ගා වහාම මව් කිරි දෙන්න. මේ මාස තුනට වඩා අඩු දරුවන්ට රත කල්කය දෙන ක්‍රමය.ඊට වැඩි දරුවන්ට රතකල්ක ප්‍රමාණය කෙළින්ම දිවේ තවරා මව් කිරි දිය හැකියි. මව් කිරි වෙනුවට කොත්තමල්ලි තැම්බූ වතුරත් භාවිතා කළ හැකියි.
ඔන්න ඉතින් රත කල්කය ගැන කිව යුතු සියළු දේ කියලා ඉවරයි. හැබැයි ඉතින් පිළිගත වෛද්‍යවරයෙකු නිර්දේශ කරපු ප්‍රමාණයට වඩා අඩු මාත්‍රාවක්, අඩු වාර ගණනක් භාවිතා කරලා නිසි ප්‍රත්ඵල බලාපොරොත්තු වෙන්න එපා. රත කල්කය විතරක් නෙවෙයි මොනම ඖෂධයක් වත් නිසි මාත්‍රාවට වඩා අඩුවෙන් භාවිතා කරන්න එපා. එතකොට ලැබෙන සහනය තාවකාලිකයි. ඒ වගේම අපේ උරුමය, අපේ අයිතිය අපේ අවශයතා වෙනුවෙන් භාවිතා කරන්න එඩිතර වන්න. නිදහස් සෞඛ්‍ය සේවය කියල දෙයක් අපිට ලැබුණට ඒක ජාත්‍යන්තර බූවල්ලෙකුගේ දළ දඩු ග්‍රහණයට නතුවෙලා ඉවරයි. ඒක තුළ සැළසුම් සකස් වෙන්නේ අපේ ජනතාවට අවශ්‍ය විදියට නොවෙයි. වෙනත් විදේශ බලවේග වලට අවශ්‍ය විදියට. එහෙම සැලසුම් සකස් කරල ක්‍රියාත්මක කරන ගමන් අනෙක් පසින් වෙනත් මානයන්ගෙන් අපේ උරුමය එයාලගෙ කරගන්න සියුම් උත්සාහයක් ගන්නවා. එහෙම ගන්න බැරිනම් ලොකු වටිනාකමක් පෙන්වා විනාශ කිරීමක් දක්වා වුණත් යන්න ඒ බලවේග ක්‍රියාත්මකයි. කබර හූනන්, වල්ලාපට්ටා හා රතු කරපිංචා හරහා ක්‍රියාත්මක වෙන්නේ ඒ දේ තමා. ඉතින් හිතන්න, අපිම අපේ දේ වෙනුවෙන් පෙනී සිට රැක ගන්නවාද? නැතිනම් අනෙකෙකුගේ වුවමනාවට අපි අපේ අධ්‍යාත්මය දිය කර ගන්නවාද කියා? වෙදහාමිනේගේ ඩිස්පැන්සරිය ඉස්සරහ රෝගීන් පෝලිම් නොගැසෙන තරමට වෙදහාමිනේ සතුටුයි. එතකොට වෙදහාමිනේට හිතෙන්නේ අනේ මට ආදායම නැහැ කියා නොවෙයි. අද මේ රටේ ගොඩක් දෙනා සුවෙන් හා සතුටෙන් ඇති කියලයි. ඒත් හවස් වරුවට හන්දි හන්දි ගානේ බටහිර දොස්තර වරු ගාව හුස්ම ගන්න බැරි දරු පැටව් වඩාගෙන, වේදනාවෙන් ඉකි ගහන දරු පැටව් වඩාගෙන දොස්තරල එනකම් රැස්කකා බලාගෙන ඉන්න අම්මලාගෙ මලානික මුහුණු දකිද්දි ඔවුනගේ අනවබෝධය ගැන සියුම් කණගාටුවක් වෙද හාමිනේගේ ශරීරය පුරා විදුලියක් වගේ දුවනවා. එතකොට වෙදහාමිනේට හිතෙන්නේ “අනේ මගේ දරු පැටව් දෙන්නා කොච්චර වාසනාවන්තද“ කියලා මිසෙක වෙන දෙයක් නොවෙයි. Email - nagarjunaherble@gmail.com

කොලෙස්ටරෝල් - හදුනාගැනීම, ප්‍රකිකාර හා වැළකීමේ ක්‍රම

කොලෙස්ටරෝල් - cholesterol අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා.ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක අපි අරුමෝසම් ලෙඩරෝග පොදිබැදගෙන චැනල් සෙන්ටර් ගානේ නෑගම් යන්නෙ දහසින් බැදි පියලි තෑගිත් අරගෙන.වසරකට ලෝකය පුරා ලක්ෂ 171 ක් බෝ නොවන රෝග වලින් මියැදෙද්දි අපේ රටෙනුත් සැලකිය යුතු පිරිසක් එයට ඇතුළත් වෙනවා.කොලෙස්ටරෝල් වලින් මිය යන පිරිසත් අයත් වෙන්නේ ඒ ගොඩට.


ආයුර්වේද ක්‍රමයට පැහැදිලි කරනවානම් මේක ''මේධෝවෘද්ධි'' නමින් හදුන්වන අතීතයේදිත් පැවති රෝගයක්.''මේධෝවෘද්ධි'' යන්නෙහි අර්ථය නම් අනවශ්‍ය මේද කොටස් රුධිර නාල වල තැන්පත් වීමක් යන්නයි. මෙයම විවිධ පොත් වල පිත්තාශ්ම, පිත්තස්ථෝල ලෙසත් දක්වලා තියෙනවා. ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක් තමයි මේද. හැම දේහ සෛලයකටම තම තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න මේද අවශය වෙනවා. අපි පොඩ්ඩක්වත් මේද අඩංගු නැති ආහාර විතරක්ම අනුභව කළත් අපේ ශරීරයට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් 65% දක්වා නිපදවා ගන්න අපේ අක්මාවට හැකියාව තියෙනවා. මේද අවශ්‍යතාවයෙන් ඉතිරි 35% පුර්ණය කරගන්න තමයි අපි මේද සහිත ආහාර ගත යුත්තේ.

ඒත් අපේ වැඩි දෙනා උදේ ඉදන් රෑ වෙනකම් කන මේදය අධික ආහාර පාන කන්දරාව දිහා බැලුවාම ශරීරයට දෛනිකව අවශ්‍ය මේද ප්‍රමාණයට වඩා හතරපස්ගුණයක්වත් ආහාරයට ගන්නා බව සත්‍යයක්. මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරයට.ඒත් රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නෑ.ඒවා රුධිර නාල වල තැන්පත්වෙනවා.එසේ තැන්පත් වල මේද කොටස් තුනකට බෙදෙනවා. ඒ සංතෘප්ත මේද(LDL) ,අසංතෘප්ත මේද(HDL)හා VLDL ලෙස.මෙයින් අසංතෘප්ත මේද තැන්පත් වීමෙන් අපිට හානියක් වෙන්නේ නෑ.හානියක් වෙන්නේ අනෙකුත් දෙවර්ගයේ මේද වැඩිපුර තැන්පත් වීම මත.එමගින් රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත කෙනෙක් "මේධෝවෘද්ධි" රෝගියෙක් බවට පත්වෙනවා.හැබැයි බඩේ ඉඩට දිවේ රසට අවනත නොවී හිතල මතල කෑම ගත්තොත් මේ රෝගයෙන් මිදෙන්න අපි කාටත් පුළුවන්. (මතක තියාගන්න- හොදට මහන්සි වෙලා වැඩ කරන හොදින් දහඩිය පිටකරන කෙනෙක් මේද සහිත ආහාර ගත්තට "මේධෝවෘද්ධි" රෝගියෙක් වන්නට ඇති ඉඩකඩ අවම බව.)වැඩි විස්තර බලාගන්න වෙදහාමිනේගේ මේ ලිපියත් කියවන්න.

මෙම කොලෙස්ටරෝල් අවදානම ට ලක්වෙච්ච බොහෝදෙනා රෝග තත්වය උච්ච ස්ථානයට එනකම් තමා රෝගියෙකු බව දැනගෙන ඉදල නැතිවීම වෛද්‍යවරු විදියට අපි හොදට දැකල තියෙනවා.අනෙත් බොහෝ භයානක රෝගවලට සාපේක්ෂව "මේධෝවෘද්ධි" වලදි පිටතට දැනෙන ලක්ෂණ එතරම් ප්‍රබල නෑ. ඒ නිසා ඒවා නොතකා හරින අවස්ථා වැඩියි. වැලමිට , පිටි අල්ල, දණහිස, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවෙනවානම්- වරින් වර ඇගේ තැනින් තැන හිරිවැටෙනවා නම්- සාමන්‍ය ප්‍රමාණයට වඩා දහදිදිය ගලනවානම් - ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇති වෙනවානම් ඇගේ තැනින් තැන මේද ‍ගැටිති එනවා නම් ඒ "මේධවෘද්ධි" ලක්ෂණ විය යුතුයි. එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන්කරන වේදනාව ද "මේධවෘද්ධි" ලක්ෂණයක්. මේ බාහිර ලක්ෂණ වලට අමතරව
අක්මාව හා ප්ලීහාව විශාල වීමද සිදුවෙනවා. ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.

රෝගයේ මුල් මට්ටම් වලදි වගේම අවධානම් මට්ටමකදි වුණත් ආයුර්වේද ක්‍රමය ගැන විශ්වාසයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකු සුවපත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රතිකාර විධි වලින් ආයුර්වේදය පොහොසත්. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමුවෙන රෝගියෙකු තමන්ගේ අවදානම් තත්වයෙන් ගැලවිලා නිට්ටාවට සුව වෙන තෙක් එක හිතින් ප්‍රතිකාර සමග බද්ධ වී සිටිය යුතුයි. ඒ ගැන වැඩි විස්තර දැන ගන්න වෙදහාමිනේගේ ලිපිය බලන්න.ආයුර්වේදයේ දී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට මිසෙක රෝග ලක්ෂණ වලට නෙවෙයි. රෝග නිධානය ඉවත් කරල නැවැත රෝගය මතුවීම අත්හිටුවීම වැලැක්වීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. කොලෙස්ටරෝල් වලදි පළමු බෙහෙත් වඩියෙන්ම රෝග පාලනය ආරම්භ කරල එතැන් ඉදල මාස දෙකක් තුළ රෝගියාව සාමාන්‍ය මට්ටමට ගේන්න ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාර වලින් පුළුවන්. ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා කරන වරදක් තමයි මෙන්න මේ අවස්ථාවෙදි ප්‍රතිකාර ගන්න එක නවත්තලා 'දැන් මට හොදයි' කියල ආයෙත් පරණ පුරුදු විදියට පාලනයකින් තොරව ආහාර අරන් - නිසි විහරණ පවත්වා නොගනිමින් අන්තනෝමතිකව කටයුතු කිරීම.ඒ නිසා වෙන්නේ නැවත වරක් සතියක් දෙකක් තුළ ප්‍රතිකාර ආරම්භ කරපු අවස්ථාවේ මට්ටමට රෝගය උත්සන්න වීම.අද නිදහස් වුණු ඔබ හෙට දවසෙ ආයෙත් ඒ අගාධයට වැටෙන්න සූදානම් නෑ නේද?

එතැනදි ආයුර්වේදයටවත් වෛද්‍යවරයාටවත් දොස් කියල වැඩක් නෑ.තමන්ට ජීවිත කාලය පුරාවටම විදවන්න වෙන රෝගයකින් මිදිල සාමාන්‍ය මට්ටමට පත්වෙලා ජීවිතය විදින්න ලැබෙන අවස්ථාව අපතේ නොහැර
තමන්ගේ ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් වත් කර ගත්තොත් කොලෙස්ටරෝල් තත්වය නිසා වෙහෙසට පත්ව අඩපණ වුණු අක්මාව ප්ලීහාව වගේ ඉන්ද්‍රියයන් නැවත යථා තත්වයට පත්වෙලා නිසි කියාකාරී මට්ටමට ගේන්න පුළුවන්. ඊළගට එම ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් කරගෙන යනකොට රෝගියාගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරල තරමක් ලිහිල් ඇවතුම් පැවතුම් රටාවකට ගියාට වරදක් වෙන එකක් නෑ.කොහොම වුණත් ප්‍රතිකාර නවත්වා වසර දෙකක් තුනක් යනකම් මාස දෙකකට වතාවක් වත් වෛද්‍ය පරීක්ෂණයකින් කොලෙස්ටරෝල් තත්වය මැනගෙන ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාවත් තත්වය පිළිබද දැනුවත් කරන්න.ඔබ ක්‍රමයෙන් නිරෝගී බවට පත්වෙන ක්‍රමාංකයන් දැන හදුනාගන්නා ඔහුත් ප්‍රතිකාර ලබාගන්නා විට ඔබගෙන් ලද මුදලින් ලැබුවාට වඩා සුන්දර නිරාමිස සතුටකින් සංතෘප්ත වේවි.

කොලෙස්ටරෝල් වලදි භාවිතයට හිතකර හා අහිතකර ආහාර ගැන කතා කලොත් එහෙම මෙන්න මෙහෙමයි. මේ අහිතකර ආහාර භාවිතයට නොගැනීම හෝ අවමව භාවිතයට ගැනීම කොලෙස්ටරෝල් අවධානම නැති කෙනෙකුට එයින් මිදීමේ අවස්ථා ඇති කරාවි. අධිකව තෙල්,සීනි,පිටි වෙන වෙනම හෝ මිශ්‍රව සැකසූ ආහාර, ක්ෂණික ආහාර, එළුමස් , ඌරැ මස් හා හරක්මස්, මීකිරි හා යෝගට්, පොල්, රටකජු හා කජු, පීකුදු හා බිත්තර, චීස්, බටර් හා මාගරින්, බිත්තර එළගි තෙල් හා සෝස්, සොසේජස්, එළවළු තෙල් ආහාර අපත්‍ය ආහාර විදියට දක්වන්න පුළුවන්. පොල් හා පිරිසිදු පොල්තෙල් රෝගය වැළදුනු කෙනෙකුට අහිතකර වුණත් නොවැළදුනු කෙනෙකුට වැළදීමේ අවදානමක් ඇති කරන්නේ නෑ. පත්‍ය හෙවත් සුදුසු ආහාර විදියට ගන්න පුළුවන් දේවල් අතර නිවුඩු හිත තැම්බූ හාලේ බත්,අළුත් එළවළු හා පළතුරු, පලා වර්ග,කුඩා මාළු හා මේද රහිත කිරි,කුරහන් පිටි සහිත ආහාර, සූරියකාන්ත තෙල් හා පරළු පාන් ඉදිරියෙන්ම තියෙනවා. ඒවගේම ආහාර පිසීමේදි තිබුණොත් යොදන එහෙමත් නැත්නම් නොදාම ඉන්න කරපිංච නැට්ටට, ගොරොක් අණ්ඩට රුධිර නාලගත මේදය දියකර හැරීමේ අරුම පුදුම බලයක් තිබෙන බව අමතක කරන්න එපා. ඒ නිසාම ආහාර පිසීමේදි යොදාගන්නා කරපිංචා, සුදුලූණු, රතුළූනු , කුරුදුපොතු, උළුහාල් ,  කොත්තමල්ලි, ගොරකා වැඩිවැඩියෙන් යොදාගැනීමත් හොදයි. දිනකට සුදුලූණු, රතුළූනු ගෙඩි දෙක තුනක් අනිවාර්යයෙන් කෑමත්, කරපිංචා-ගොරකා-සුදුළූණු-ගම්මිරිස්-ලුණු කැටයක් පමණක් දැල අඹරපු ලුණු මිරිස් , කරපිංචා දළු සම්බෝලය,දෙහි ඇඹුල් දාපු තෙඹු කොළ සම්බෝලයක් දවස ගානේ මාරුවෙන් මාරුවට කෑමත් කොලෙස්ටරෝල් පලවාහැරීමට කියාපු අත්බේත්. වෙල් තම්පලා. මෑ කොළ, දඹල කොළ, ජපන් බටු කොළ(සමහර පැතිවල ආඩිබටු) මැල්ලුමට එකතු කිරීමත් හැදුනු නොහැදුනු දෙගොල්ලටම හොදයි.

ඒ අතරම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ක්ෂණිකව අඩු කරගන්න ඕන නම් කලින් සකසා ගත් වියළූ නැටි සහිත කරපිංචා කොල කුඩුකර කෝපි මෙන් බීමත්, බත් සමග ගිරිතිල්ල කොල සම්බෝලය කෑමත් අත්දුටුවයි සත්‍යයයි. පාවට්ටා කොල වියලා කුඩුකර කෝපි මෙන් බීමත්, සතියකට වරක් වෙනිවැල්ගැට තම්බා බීමත් ඔබව අවධානමෙන් ගලවා තබා ගැනීමට අත්බේත් කරගන්න පුළුවන්. දිනපතා පැය දෙකක් වත් දහදිය දමන කය වෙහෙසෙන වැඩක යෙදීමත් , සක්‍රීය හා අක්‍රීය දුම්පානයෙන් මිදීමත් ,මත්පැනින් ඈත්වීමත් කොලෙස්ටරෝල් අවදානම ඔබෙන් පලවාහැරීමට මහත් සේ උපකාරී වේවි.ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.කාන්තා පාර්ශවයට වයස 40න් පමණ සිදුවන ඔසප් නැවතීමෙන් පසු කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතින බව දැනුවත් වීමත් හොදයි.

කරුණු කාරණා ගොඩක් වගේ වුණාට මේවා බොහොම සරල, සම්ප්‍රදායික, දෛනික ක්‍රමවේදයන්ට පහසුවෙන් අන්තර්ගත කළ හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකතුවක්. ඔබට කොලෙස්ටරෝල් වලින් මිදීමට ආයුර්වේද ප්‍රතිකාර අවශ්‍ය නම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමුවෙන්න.ඒ සදහා මගපෙන්විමක් අවශ්‍ය නම් වෙදහාමිනේට ඊ ලිපියක් එවන්න.නිරෝගි වන්න. මොහොතින් මොහොත අළුත්වෙන ලෝකය දකින්න තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න උත්සහ කරන්න. සම්ප්‍රදාය රැකීම මිසෙක සම්ප්‍රදාය බිදීම ජීවිතයට පාර නොකියන බව තෙරුම් ගන්න. ජීවිතය විදින්න. සොබාදහම සමග මිස එය අභිබවා නොයන්න.
Email - nagarjunaherble@gmail.com