ප්‍රවීණ හෙළ වෙදදුරෙකු අවසන් ගමනේ

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ විද්‍යානිධි වෛද්‍යාචාර්ය ඩබ්ලිව්. අයි. ප‍්‍රනාන්දු (95) මහතා අභාවප‍්‍රාප්ත විය. ඔහු ඉපැදුනේ 1917.10.25 වැනිදාය.අඩසිය වසකට වැඩි කාලයක් වෛද්‍ය වෘත්තියේ යෙදී සිටි ප‍්‍රනාන්දු මහතා රණසිංහ පේ‍්‍රමදාස ජනපති යුගයේදී (1989) පාර්ලිමේන්තුවට පත්කැරිණ.වාද්දුව මැලෑගම වෙද පරපුරේ සාමාජියකු වූ ඔහු 1976-94 කාලයේදී සමස්ත ලංකා ආයුර්වේද සම්මේලනයේ ප‍්‍රධාන සභාපතිවරයා විය. සර්වාංග වෛද්‍යවරයකු වූ ඔහු ඇස් වෙදකමේ විශේෂඥයෙක් ද විය. දේහය දෙහිවල පෙයාර්ලයින් පාරේ අංක 15 දරණ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු ගල්කිස්ස සුසාන භූමියේදී බ‍්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය. වෙදහාමිනේ අධ්‍යාපනය ලැබූ මරදාන වෛද්‍ය මහා මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන සහ වර්තමාන සභාපති වරයා වන වත්තගේ මහතාගේ පියානන් වන මෙතුමාගේ අවසන්කටයුතු පැය 24ක් තුළ සිදුකරන බව දැක්වෙන නිසා එයට සහභාගී වීමට නොහැකි වීම ගැන වෙදහාමිනේ බෙහෙවින්ම කණගාටු වෙනවා. ඒ වගේම මෙම අවස්ථාවේ ඊට එක්වෙන වෛද්‍ය මහා මණ්ඩල ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෛද්‍ය මහා මණ්ඩලයේ වර්තමාන බිඳ වැටීම් ගැන අවධානය යොමුකර එහි ප්‍රගමනයට එක්රොක් වීමට අධිශ්ඨාන කර ගන්නවානම් එය වඩාත් සුභදායි වනු ඇතැයි සිතනවා. කොළඹ හා ඒ අවට සිටින ආයුර්වේද වෛද්‍ය සහෘදයින් මෙම අවමඟුල් අවස්ථාවට සහභාගී වන මෙන් වෙදහාමිනේ කාරැණික ඉල්ලීමක් කරනවා. Email - nagarjunaherble@gmail.com

මඟුලේ යන්නන් දැකලා - නාග විසට නස්න කළා

මඟුලේ යන්නන් දැකලා-කුඹුරේ මඩ කලල් කලා
වැස්සට පැලයට ඉඳලා - නාග විසට නස්න කලා
ඉහත කවිය ගැන ඔබට මොනවද හිතෙන්නේ. එහි අවසාන පදය නිසා නොවෙන්න ඒක ‍ඖෂධ වට්ටෝරුවක් කියල සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැහැ. ඉහත කවිය ආයුර්වේදයේ සිංහල වෙදකම කියන කොටසට අයත් "වෙදගැට" නමින් හදුන්වන සාහිත්‍යාංගයක්.අපේ සංස්කෘතියෙ අපිටම ආවේණික සාහිත්‍යාංගය තමයි - කවිය. ඒ නිසාම සිංහල වෙදකමේ බොහෝ මුඛපරම්පරාගත රහස් වට්ටෝරු පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආවෙ කවි වලින්. යම් කිසි කාලෙකදි එහි අනාගත අවදානම අවබෝධ කරගත්තු අපේ පැරැන්නන් මේවා ලිඛිතව සංරක්ෂණය කරන්න පුස්කොළ පොත් වල, සෙල්ලිපි වල සටහන් කරල තියෙනවා. එදා අතීතයේ අපේ ලෙඩට දුකට තිබුණු එකම පිළියම අපේ වෙදකම වූ නිසාම එදා ඒ ගැන කරපු අත්හදා බැලීම්, නව සොයාගැනීම් වගේම භාවිතා කිරීමත් අදට වඩා උනන්දුවෙන් සිද්ධ වෙලා තියෙනවා.අද අපිට වෙනත් විකල්පයක් හැටියට "ඇලොපති වෛද්‍ය ක්‍රමය" තියෙන නිසා ආයුර්වේදයේ නැතිනම් සිංහල වෙදකමේ වැදගත්කම අඩුවෙලා ගිහින් තියෙනවා. ඒ නිසා නව පර්යේෂණ සිදුකිරීම්, අත්හදා බැලීම් එහෙම සිද්ධ වෙනවා අඩුයි. ඒවා සිදු වුණත් බොහෝදුරට ඒ උපාධි නිබන්ධනයකට, පන්ති සාමාර්ථයකට,
උසස් වීමකට අදාළව කෙරෙන අතපත ගෑමේ පර්යේෂණ විතරයි. අවසානයේ ඒ පර්යේෂණ වාර්තාවත් නවතින්නේ "ඇලොපති" බෙහෙත් පෙති කොම්පැණියක දෙපා මුල ලොකු මුදල් කුට්ටියක් ළඟ.

සුද්දගේ ගාව තියෙන එකම හොඳ දේ හැටියට වෙදහාමිනේ දකින "සංවිධානාත්මක බව" අපේ සංස්කෘතිය තුළ අපිට පිහිටල තියෙන්නේ බොහොම අඩුවෙන්. ඒකට මූලිකම හේතුව අපි හැමෝම තමන් සතු ජාතික වගකීම හඳුනා නොගැනීම. මේ දේවල් අපේය. එය අනෙකා විසින් රකිනාතුරු නොසිට රැක ගත යුතුය-තමාගේ ඇවෑමෙන් මෙය ඉදිරි පරම්පරාවට භාරදිය යුතුය කියන "ජාතික මෙහෙවර" අපේ පාරම්පරික වෛද්‍යවරුන් හා වැඩිහිටියන් අතින් සිදු නොවීම ජාතියේ අවාසනාවක්. බොහොමයක් වැඩිහිටියෝ තමන්ගේ දෙවැනි පරම්පරාවට තමන් දන්නා දැනුමෙන් කොටසක් හංගාගෙන කොටසක් පමණක් ලබාදීම ඇත්තටම ඛේදවාචකයක්.
ඒක වෛද්‍ය දැනුමට විතරක් නෙවෙයි දරු නැලවිලි ගී වගේ සරල දේවලට පවා ඉහලින්ම අදාලයි. නිකමට හිතල බලන්න ඔබේ අත්තම්මා/ අම්මා ඔබව නලවපු නැලවිලි ගී වලින් කීයක් ඔබගේ දරුවාව නලවන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන් වුණාද කියලා. එක්කෝ ඔබ ඒ ටික වැඩිහිටියන්ගෙන් අහගත්තේ නෑ. නැත්නම් වැඩිහිටියෝ ඔබට කියල දුන්නේ නෑ. මේ පරම්පරා ගැටුමෙන් අහිමි වෙලා යන්නේ අපේ උරුමය බව නම් අමතක කරන්න එපා. අවසානයේදී වසර දෙදහස් පන්සීයක උරුමය ගැන අපේ අතීත පුරාජේරු කතා එහෙමම තියෙද්දි , ඇමරිකාවෙ මැදිහත් වීමෙන් සංරක්ෂණය කරපු සිද්ධස්ථාන ගඩොල් කඳු වෙද්දි, අපේ අධ්‍යාත්මය අන්තරස්දාන වෙලා තියේවි. ඇමරිකාව හරි යුනෙස්කෝව හරි ඇවිත් අපේ උරුමය වනපොත් කරගෙන යනකම් ඉන්නෙ නැතිව තම තමන්ගේ වගකීමක් හැටියට හිතල පැරණි පරම්පරාවේ සැඟවුණු දැනුම අදම ඔබේ අතට ගන්නත් ඒවා අවශ්‍ය විට නිවැරදිව භාවිතා කරන්නත් ගුරු මුෂ්ඨි තියාගන්නෙ නැතිව ඒවා ඊළඟ පරම්පරාවට දෙන්නත් අදම හිතට ගන්න.(හිතට අරන් විතරක් මදි. අදම ක්‍රියාත්මක වෙන්න.)

අද සමාජ ක්‍රමයේ හැටියට වෛද්‍යවරයෙක් දන්නෙ වෛද්‍ය කර්මයට අදාළ දේවල් විතරයි. නීතීඥයෙක් දන්නේඒ කේෂ්ත්‍රයට අදාළ දේවල් විතරයි. පෙදරේරුවෙක් දන්නේ තමන්ගේ වපසරියට අවශ්‍ය දේවල් විතරයි. ඒත් අපේ පැරැන්නන්ගේ කාලෙ එහෙම නෙවෙයි. හැමෝම ආගමික, ‍වෛද්‍ය, යන්ත්‍ර මන්ත්‍ර, කෘෂි කර්ම, ශිල්ප දැනුමෙන් පරිපූර්ණ වෙලා හිටියා. ටිකක් හිතල බලන්න ඔබේ පියා වෙදෙක් නොවුණත් වෙදකමේ යම් යම් දේවල් දැනගෙන හිටියා. වඩුවෙක් නොවුණත් වහලෙ කුරුපා ගැන, ගෙයි උළුවස්සෙ නීති ගැන දැනගෙන හිටිය. හදීසියකට ලෑලි කෑලි ටිකක් පුරුද්දල මේස කෑල්ලක් ගහ ගන්න හැකියාවක් ඔහුට තිබ්බ. අද මොකද වෙලා තියෙන්නේ? ඔබ වඩුවෙක් නෙවෙයි නම් ඔබට ඒ දේ පුළුවන්ද? ගෙයක් හදන්න ගෘහ නිර්මාණ ශිල්පියෙකුට භාරදීල පැත්තකට වෙලා ඉන්න ඔබ ඒ ගැන පාරම්පරික හෝ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට ටිකක් වත් උනන්දු වෙනවාද? නෑ. හෙට දවසේ ඔබේ දරුවාට ලෑල්ලකට ඇණයක් ගහන හැටි කියල දෙන්නත් පාසලට විෂය නිර්දේශ ගේනකම් ඉන්න වෙයිකියල හිතෙන්නේ නැද්ද?විහිළුවක් නෙවෙයි එදා අපි තනියෙම හදාගත්ත සරුංගලේ හදාගන්න අද දවසේ ඔබේ පුතාට පුළුවන්ද? ඒකත් අද විෂය නිර්දේශයේ කොටසක්. ඒ වුණත් පාසලේදී සේරුව හරියට සමබර කරල , සව් කොළ අලවල, රැලි ටික දාල සරුංගලය හදන්න කාල පරිච්ඡේදයේ ඉඩ මදි වුනොත් ඉතිරි ටික කියල දෙන්න ඔබට පුළුවන්ද? ඒ ටික බැරි නිසා තමයි, චීනගෙ මකර සරුංගලේ ගම් දනව් පුරා කඩපිලවල් වල හරි හරියට විකිණෙන්නෙ.

අපි ආපහු පාරම්පරික වෙද දැනුම ගැන කතා කරමු. රොබට් නොක්ස් කියන විදෙස් සිරකරුවා තමන්ගේ ග්‍රන්ථයක (පරිවර්තන කෘතිය - එදා හෙළදිව,ඩේවිඩ් කරුණාතිලක ,ගුණසේන ප්‍රකාශණ) සදහන් කරල තියෙන විදියට අපේ රටේ හැම ගැමියෙක්ම වෙදෙක් බවත්, බතක් ඉදෙන ප්‍රමාදයෙන් කැඩුණු අස්ථියක් පෑහීමට හැකි ඖෂධ ඔවුන් දැන සිටි බවත් සඳහන් කරල තියෙනවා. අපේ අත්තම්මලා සීයලා අනිවාර්යයෙනුත්- 77 ආර්ථික පෙරළියේ අවිචාරවත් ගොදුරු බවට පත් නොවුනනම් අම්මල, තාත්තලත් අනිවාර්ය වෙද්දු. මොකද එයාල හැමෝම මොනවාහරි අසනීපයකට ගොඩ වෙදකමක්, කෙමක්, අත් බෙහෙතක්, පත්තුවක් මැල්ලුමක්, තෙල් සාත්තුවක් අනිවාර්යයෙන් දැනගෙන හිටිය කියන එක බොරුවක් නොවෙයි. ඒ විතරක් නෙවයි එයාල ඒවා ප්‍රායෝගිකව භාවිතා කරල තියෙනවා. අද වගේ ප්‍රවාහනය , සන්නිවේදනය තාක්ෂණය අතින් නොදියුණු ඒ කාලෙ සර්ප දෂ්ඨනයක්, කැඩුමක් බිඳුමක් වුණු ගමන් රෝහලකට යන්න පහසුකම් නොතිබුණු එදා දවසෙ වෙදමහත්තයෙක් නොහිටිය වෙලාවක නස්න කරල විස බස්සපු, උණ පතුරු තියල බෙහෙත් බැඳපු වැඩිහිටියො ගැන අපි අනන්තවත් අහල තියෙනවා. අදටත් මේ දේවල් නාගරීකරනය නොවුනු ගම්මැදි වල, කඳුකර ප්‍රදේශවල, ඈත වෙල්ලස්සෙ ඒ විදියටම වෙනව වෙන්න පුළුවන්.අපේ අම්මල අත්තම්මල දරුවන් අතර වයස් පරතරය පාලනය කරන්න අවශ්‍ය උපත් පාලන ඖෂධ වගේම අනවශ්‍ය දරු උපත් ගබ්සා කරවන්න භාවිතා කරන ඖෂධ පවා දැනගෙන හිටිය. ඒත් එයාල ඒව තමන්ගෙ දූවරුන්ට කියල නොදෙන්න පරෙස්සම් වෙන එක නම් වැරදි වැඩක්. මොකද ඒ ස්වභාවික ක්‍රමවේදයන් ශරීරයට අහිතකර නොවුනා වගේම ඒවා භාවිතයෙන් සුළු අතපසුවීමකින් පසු අපේක්ෂා භංගත්වයට පත්ව මරණයකින් කෙලවර වෙන ජීවිත දෙකකින් එකක් ගලවගන්න අවස්ථාව අනිවාර්යයෙන්ම ලැබෙනවා.ඒ පාරම්පරික දැනුම හෝ ප්‍රායෝගික දැනුම වෙද පොතක, නිඝන්ඩුවක, දෙපාර්තමේන්තු ලේඛණයක හෝ වෙනත් කිසියම්ම හෝ තැනක සටහන් වෙලා නැති දෙයක් නම් හෙට දවසෙ අපේ වගකීම් සහගත වැඩිහිටියො මිය පරලොව ගියහම ඒ දැනුමට අත්වෙන ඉරණම මොකද්ද? ඒවත් මැරිල යන්න අරිනවාද?නැත්නම් සංවිධානාත්මක සංරක්ෂණ ක්‍රමවේදයක් හදනවද?

ඔබ කියාවි සංවිධානාත්මක සංරක්ෂණ ක්‍රමවේදයක් හදමු කියල. එතකොට මම ඔබෙන් අහනවා දැනට එහෙම එකක් නැද්ද කියල. ඇත්තටම දැනටමත් එහෙම එකක් තියෙනවා. දැනට ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින සංරක්ෂණ හා පර්යේෂණ අංශවල මේ සම්බන්ධ දේවල් කෙරෙනවා. රටේ කොහේ හරි තැනක යම් කෙනෙක් ළඟ තියෙන පොත්, තල්පත්, ලේඛණ ආදිය දෙපාර්තමේන්තුව භාරයට අරන් ඒවා භාරදුන් අයගේ නම ලේඛණගත කරල පුස්තකාලයට යවනවා. ඉන් පස්සෙ කාලයක් එකතු වන ලේඛණ ආදියේ තොරතුරු ඇතුළත් කරල 'දේශීය චිකිත්සා සංග්‍රහය' ග්‍රන්ථයක් සම්පාදනය කරල මුද්‍රණය කරල අවශ්‍ය අයට මිළදී ගන්න ඉඩ ලබාදෙනවා. දැනට මෙහි කාණ්ඩ ගණනාවක් මුද්‍රණය වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ මේක මිළදී ගැනීමට පවතින දුෂ්කරතා තමයි. හාවා හඳ දකින්නා වගේ කාලයකට සැරයක් මුද්‍රණය කිරීම තමයි මෙහි සම්ප්‍රදාය. පැරණි කාණ්ඩ මිළදීගැනීමත් හරිම අමාරුයි. ඒවගේම තමයි ලැබෙන සියළුම ලේඛන 'දේශීය චිකිත්සා සංග්‍රහය'ට ඇතුළත් වීමේ ගැටළුත් , දෙපාර්තමේන්තුව තුළ සිටින සමහර වගකීම් රහිත පිරිස් මුල් ලේඛණ අස්ථාන ගත කිරීමේ කූට ක්‍රියාමාර්ගවල යෙදීමත්
ආදී ප්‍රශ්ණ මේ සංරක්ෂණ ක්‍රියාවලිය වටා ගොනුවෙලා තියෙනවා.

හැබැයි මෙම ක්‍රියාවලියේ තියෙන ප්‍රධාන ගැටළුව තමයි මහජනයා මේ අය වෙත ලේඛණ ඉදිරිපත් කිරීමට තියෙන උනන්දුවේ අඩුකම. ඊට හේතු කිහිපයක් බලපානවා. පළවෙනි එක තමයි දෙපාර්තමේන්තුව මේ දේවල් පිටපත් කරගෙන ආපහු දෙනවා වෙනුවට ඔවුන් වෙත රඳවාගැනීම සිදු කරන නිසා තමන්හෝ තමන්ගේ පරම්පරාවේ රහස් දේවල් රජයට පවරාදීමට තිබෙන අකමැත්ත. මොකද මේ දේවල් තමන්ගේ පරම්පරාගත උරුමයන් , තමන්ගේ සමීපතමයින් භාවිතා කරපු දේවල් නිසා ජනතාවගේ ඊට තිබෙන බැඳිම මත එහෙම පවරන්න හිත හදාගන්න බැරිකම. දෙවැන්න තමන්ට උරුම වුණු වෙදකම හෝ පොත්පත් තමන්ගේ ඉදිරි පරම්පරාවේ පිරිසට උවමනා වෙයි කියන ආකල්පය. තෙවැන්න වැඩි පරෙස්සමට දෙපාර්තමේන්තුවට දීල දැනට තියෙන සුරක්ෂිත භාවයත් නැතිව යයිද කියන බය නිසා.
(මොකද මේ රටේ දෙපාර්තමේන්තු ගැන ජනතාවගේ තියෙන්නේ එතරම් හොද ආකල්පයක් නොවීම වගේම ආ.දෙ. තමන්ගේ වත්තෙ තිබිච්ච සදුන් ගස් ටික හොරෙන් කපාගෙන යනකම් නිදියගෙන හිටපු දෙපාර්තමේන්තුවක් වීම)සිව්වැන්න දෙපාර්තමේන්තුව සතුව පවතින සංරක්ෂණ ක්‍රමවේදය පිළිබදව පවතින ප්‍රසිද්ධියේ මද කම. පස්වැන්න තමයි මේවා භාරදීමට එන කෙනෙකුට විඳින්න වෙන ප්‍රායෝගික දුෂ්කරතා.තමන්ගේ දේරජයට භාරදෙන්න ගියාමත් මේ මේසෙන් අර මේසෙට, එතැනින් උඩ තට්ටුවට මාරු වෙවී යන සාම්ප්‍රදායික දෙපාර්තමේන්තු ක්‍රමවේදය කාට නම් ඉවසිය හැකිද? යන්නත් ප්‍රශ්ණයක්. මෙන්න මේ හේතු දෙපාර්තමේන්තු සංරක්ෂණ සැලැස්ම සාර්ථක නොවීමට බලපෑවත් ඔවුන් සතුව මෙසේ සංරක්ෂණය කරගත් දැනුම නම් මහමෙරක් වගේ ආයුර්වේදයට වටින බව කිව යුතුයි. නමුත් භාවිතාවට නොගන්නා සංරක්ෂණයකින් ඵලක් තියේද කියලත් හිතල බලන්න ඕන.‍මේ ගැන දෙපාර්තමේන්තුවෙන් මීට වඩා උනන්දුවක් මතුවිය යුතුයැයි වෙදහාමිනේගේ අදහසයි. ඒවගේම මෙතෙක් ලේඛණ ගත නොවී වහරේ පවතින දේවල් සංරක්ෂණය කිරීම ගැන වැඩපිළිවෙලක් සැකසීමත් දෙපාර්තමේන්තුවේ වගකීමක්.

අඳුරට සාප කර කර අඳුරෙම ඉන්නවට වඩා එක පහනක් හරි දල්වන්න පුළුවන් නම් ඒක වටිනවා. මේ ව්‍යසනය ගැන හිත විස්සෝපෙන් කේෂ්ත්‍රයේ තරුණ වෛද්‍යවරු පිරිසක් සමඟ කතා කර කර හිටපු වෙලාවක වෙදහාමිනේගේ ඔළුවට ආව වැඩපිලිවෙලකට කාගෙත් එකඟතාවය ලැබුණා. ඒ තමයි නවීන තාක්ෂණය භාවිතා කරමින් මේ දේවල් සංරක්ෂණයට අපි යොමුවිය යුතුයි කියන කාරණය. මේ වැඩේට වෙදහාමිනේම බහින්න තමයි අදහස. හැබැයි මේ වැඩේට වෙදහාමිනේගේ අඩවියේ පාඨක ඔබගේ සහයෝගයත් ඉතා වටිනවා. ගුවන්විදුලියේ ශ්‍රවණ පර්යේෂණ අංශයේ සී ද ඇස් කුලතිලක මහත්මයල පටිගත කිරීමේ යන්ත්‍රයක් පිටේ එල්ලගෙන රට වටේ ජනකවි, ජනශ්‍රැති එකතු කලා වගේම වෙදහාමිනෙත් ලැප්ටොප් එකකුත් ස්කෑනරේකුත් අරගෙන රටවටේ යන්නයි ලෑස්තිය. අපි හිතමු කාගෙ හරි ගෙදරක පරණ වෛද්‍ය තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් තියෙනවා කියල. වෙදහාමිනේ එතැනට ගිහින් අයිති කෙනා ඉදිරිපිටදිම ඒ ටික ස්කෑන් කරගන්නවා. ඒවා ඡායාරූප විදියට ගබඩා කරගෙන අයිති කෙනාට සංයුක්ත තැටියකට කොපි කරල පිටපතක් භාර දෙනවා. ඒකෙම පිටපතක් පසුව පළමු අයිතිකරුගේ විස්තරත් සමඟ ආයුර්වේද දෙපාර්තමේන්තුවට සහ ජාතික පුස්තකාලයට භාරදෙනවා. වෙදහාමිනේ ළඟත් පිටපතක් තියෙනවා. රටේ ඉන්න ඕනෑම ආයුර්වේද වෛද්‍යවරයෙකුට, පර්යේෂකයෙකුට, ශිෂ්‍යයෙකුට අවශ්‍ය විටකදී පරිශිලනය සඳහා මේ දේවල් ලබා දෙනවා. ලේඛණ ගත නොවුණු දේත් ඒවිදියමයි. ඒවා මෛක්‍ර‍ෆෝනය හරහා පටිගත කරගෙන කලින් විදියටම ක්‍රියාකරනවා. එතකොට මේ දේවල් සංරක්ෂණයත්, භාවිතයත්, පර්යේෂණයත් යන අංග තුන සඳහාම යොදවා ගත හැකි නිසා ඵලදායිතාවයෙන් යුක්තයි.
හැබැයි කිසිම විදියකින් මේ දේවල් අලෙවි කිරීමේ පරමාර්ථයක් වෙදහාමිනේට නෑ. කවදහරි දවසක කිසියම් වගකිවයුතු ආයතනයක් මෙහි භාරකාරීත්වය ගන්නවනම් ඒකත් පවරන්න වෙදහාමිනේ ලෑස්තියි.

ඒවගේම තමයි මේ වැඩේ එච්චර ලේසි පහසු වැඩක් නොවෙයි. කාලය,මුදල්,ශ්‍රමය කියන සම්පත් වැය කරගෙන කැපවීමෙන් කරන්න ඕන දෙයක්. "වෙදහාමිනේගේ අඩවියේ" පාඨක ඔබෙන් වෙන්න ඕන දේ තමයි මේ වගේ ලේඛණ, දැනුම තියෙන කිසියම් හෝ පුද්ගලයෙක් ගැන ඔබ දන්නා හෝඩුවාවන් වෙදහාමිනේට දන්වන එක. ඒවගේම වෙදහාමිනේගේ වැඩපිළිවෙලට එකතු වෙලා වැඩකරන්න පුළුවන් තමන්ගේ කාලය මේ වෙනුවෙන් යොදවන්න පුළුවන් විශ්ව විද්‍යාල, වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දායකත්වයත් වෙද හාමිනේට තියෙනව නම් ඒකත් වටිනවා. ඒ වගේම ඔබ සතුව පරිගණකයක්, ස්කෑනරයක්, මෛක්‍රෆෝනයක් තියෙනව නම් වෙද දැනුම හෝ වෙනත් දැනුමක් සහිත පැරැන්නන්ගේ ලේඛණ හෝ වෙනත් දේ සංරක්ෂනයට පෙළඹෙන්න. පුළුවන් නම් ඒවා වෙදහාමිනේටත් ඊමේල් කරලා එවන්න. මෙතනදි අදාල දැනුම මහ විශාල පොතක්ද, පුංචිම පුංචි කවියක්ද කියන එක සාපේක්ෂව නොබල හැම දෙයක්ම එක විදියට වටිනවා කියල හිතල හඹා යායුතුයි කියලයි මම නම් හිතන්නේ. මේ ගැන ඔයාලගෙ අදහස් වගේම ප්‍රායෝගික ගැටළු ගැනත් වෙදහාමිනේට දන්වන්න ඔබට පුළුවන්. ංආ! මුලින්ම තිබුණු වෙදගැටය ගැනත් යමක් කියන්න එපෑය. ඒකෙන් කියැවෙන්නේ නාග දෂ්ඨනයකදී කරන ප්‍රත්‍යක්ෂ්‍ය නස්නයක් ගැන. මඟුල් කරඳ මුලේ පොතුත්, (පරණ ගෙවල්වල භාවිතාකළ) මැටිකලය තබන බිම රැඳි මඩත් නර මුත්‍රයෙන් අඹරා අදාළ රෝගියාට නස්න කළ විට විෂ බහින බව තමයි ඒකෙන් දැක්වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න බැරි, ඒත් සරල පද පෙළක් තියෙන පුංචි කවියක රැඳිල තියෙන්නේ ප්‍රබල මිනිස් සුසුමක වටිනාකම නේද? පොඩ්ඩක් හිතන්න. අපේ අනන්‍යතාවය රැකගන්න ගොඩක් දේවල් ඔබට කරන්න ඉතිරි වෙලා තියෙනවා.

Email - nagarjunaherble@gmail.com

කොලෙස්ටරෝල් - හදුනාගැනීම, ප්‍රකිකාර හා වැළකීමේ ක්‍රම

කොලෙස්ටරෝල් - cholesterol අද දවස වෙනකොට අම්මා- තාත්තා ගානට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක්. Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරි, එහෙම එකකට භාජනය නොවිච්ච කෙනෙක් වදෙන් පොරෙන් බලෙන් හරි පරීක්ෂණාගාරෙකට යවන සමාජයක ඉංග්‍රීසි නමක් තියෙන ලෙඩක් හැදෙන එකත් වාසනාවක් කියල හිතන්න ගොඩක් දෙනා පුරුදු වෙලා.ලෙඩෙක් වුණොත් රජකම ලැබුණත් වැඩක් නෑ කියල හිතපු සමාජයක අපි අරුමෝසම් ලෙඩරෝග පොදිබැදගෙන චැනල් සෙන්ටර් ගානේ නෑගම් යන්නෙ දහසින් බැදි පියලි තෑගිත් අරගෙන.වසරකට ලෝකය පුරා ලක්ෂ 171 ක් බෝ නොවන රෝග වලින් මියැදෙද්දි අපේ රටෙනුත් සැලකිය යුතු පිරිසක් එයට ඇතුළත් වෙනවා.කොලෙස්ටරෝල් වලින් මිය යන පිරිසත් අයත් වෙන්නේ ඒ ගොඩට.


ආයුර්වේද ක්‍රමයට පැහැදිලි කරනවානම් මේක ''මේධෝවෘද්ධි'' නමින් හදුන්වන අතීතයේදිත් පැවති රෝගයක්.''මේධෝවෘද්ධි'' යන්නෙහි අර්ථය නම් අනවශ්‍ය මේද කොටස් රුධිර නාල වල තැන්පත් වීමක් යන්නයි. මෙයම විවිධ පොත් වල පිත්තාශ්ම, පිත්තස්ථෝල ලෙසත් දක්වලා තියෙනවා. ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක් තමයි මේද. හැම දේහ සෛලයකටම තම තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න මේද අවශය වෙනවා. අපි පොඩ්ඩක්වත් මේද අඩංගු නැති ආහාර විතරක්ම අනුභව කළත් අපේ ශරීරයට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් 65% දක්වා නිපදවා ගන්න අපේ අක්මාවට හැකියාව තියෙනවා. මේද අවශ්‍යතාවයෙන් ඉතිරි 35% පුර්ණය කරගන්න තමයි අපි මේද සහිත ආහාර ගත යුත්තේ.

ඒත් අපේ වැඩි දෙනා උදේ ඉදන් රෑ වෙනකම් කන මේදය අධික ආහාර පාන කන්දරාව දිහා බැලුවාම ශරීරයට දෛනිකව අවශ්‍ය මේද ප්‍රමාණයට වඩා හතරපස්ගුණයක්වත් ආහාරයට ගන්නා බව සත්‍යයක්. මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරයට.ඒත් රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නෑ.ඒවා රුධිර නාල වල තැන්පත්වෙනවා.එසේ තැන්පත් වල මේද කොටස් තුනකට බෙදෙනවා. ඒ සංතෘප්ත මේද(LDL) ,අසංතෘප්ත මේද(HDL)හා VLDL ලෙස.මෙයින් අසංතෘප්ත මේද තැන්පත් වීමෙන් අපිට හානියක් වෙන්නේ නෑ.හානියක් වෙන්නේ අනෙකුත් දෙවර්ගයේ මේද වැඩිපුර තැන්පත් වීම මත.එමගින් රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත කෙනෙක් "මේධෝවෘද්ධි" රෝගියෙක් බවට පත්වෙනවා.හැබැයි බඩේ ඉඩට දිවේ රසට අවනත නොවී හිතල මතල කෑම ගත්තොත් මේ රෝගයෙන් මිදෙන්න අපි කාටත් පුළුවන්. (මතක තියාගන්න- හොදට මහන්සි වෙලා වැඩ කරන හොදින් දහඩිය පිටකරන කෙනෙක් මේද සහිත ආහාර ගත්තට "මේධෝවෘද්ධි" රෝගියෙක් වන්නට ඇති ඉඩකඩ අවම බව.)වැඩි විස්තර බලාගන්න වෙදහාමිනේගේ මේ ලිපියත් කියවන්න.

මෙම කොලෙස්ටරෝල් අවදානම ට ලක්වෙච්ච බොහෝදෙනා රෝග තත්වය උච්ච ස්ථානයට එනකම් තමා රෝගියෙකු බව දැනගෙන ඉදල නැතිවීම වෛද්‍යවරු විදියට අපි හොදට දැකල තියෙනවා.අනෙත් බොහෝ භයානක රෝගවලට සාපේක්ෂව "මේධෝවෘද්ධි" වලදි පිටතට දැනෙන ලක්ෂණ එතරම් ප්‍රබල නෑ. ඒ නිසා ඒවා නොතකා හරින අවස්ථා වැඩියි. වැලමිට , පිටි අල්ල, දණහිස, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවෙනවානම්- වරින් වර ඇගේ තැනින් තැන හිරිවැටෙනවා නම්- සාමන්‍ය ප්‍රමාණයට වඩා දහදිදිය ගලනවානම් - ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇති වෙනවානම් ඇගේ තැනින් තැන මේද ‍ගැටිති එනවා නම් ඒ "මේධවෘද්ධි" ලක්ෂණ විය යුතුයි. එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන්කරන වේදනාව ද "මේධවෘද්ධි" ලක්ෂණයක්. මේ බාහිර ලක්ෂණ වලට අමතරව
අක්මාව හා ප්ලීහාව විශාල වීමද සිදුවෙනවා. ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.

රෝගයේ මුල් මට්ටම් වලදි වගේම අවධානම් මට්ටමකදි වුණත් ආයුර්වේද ක්‍රමය ගැන විශ්වාසයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු ගාවට එන රෝගියෙකු සුවපත් කිරීමේ හැකියාවක් ඇති ප්‍රතිකාර විධි වලින් ආයුර්වේදය පොහොසත්. හැබැයි ආයුර්වේද ප්‍රතිකාර වලට යොමුවෙන රෝගියෙකු තමන්ගේ අවදානම් තත්වයෙන් ගැලවිලා නිට්ටාවට සුව වෙන තෙක් එක හිතින් ප්‍රතිකාර සමග බද්ධ වී සිටිය යුතුයි. ඒ ගැන වැඩි විස්තර දැන ගන්න වෙදහාමිනේගේ ලිපිය බලන්න.ආයුර්වේදයේ දී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයට මිසෙක රෝග ලක්ෂණ වලට නෙවෙයි. රෝග නිධානය ඉවත් කරල නැවැත රෝගය මතුවීම අත්හිටුවීම වැලැක්වීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. කොලෙස්ටරෝල් වලදි පළමු බෙහෙත් වඩියෙන්ම රෝග පාලනය ආරම්භ කරල එතැන් ඉදල මාස දෙකක් තුළ රෝගියාව සාමාන්‍ය මට්ටමට ගේන්න ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාර වලින් පුළුවන්. ප්‍රතිකාර ගන්න බොහෝ දෙනා කරන වරදක් තමයි මෙන්න මේ අවස්ථාවෙදි ප්‍රතිකාර ගන්න එක නවත්තලා 'දැන් මට හොදයි' කියල ආයෙත් පරණ පුරුදු විදියට පාලනයකින් තොරව ආහාර අරන් - නිසි විහරණ පවත්වා නොගනිමින් අන්තනෝමතිකව කටයුතු කිරීම.ඒ නිසා වෙන්නේ නැවත වරක් සතියක් දෙකක් තුළ ප්‍රතිකාර ආරම්භ කරපු අවස්ථාවේ මට්ටමට රෝගය උත්සන්න වීම.අද නිදහස් වුණු ඔබ හෙට දවසෙ ආයෙත් ඒ අගාධයට වැටෙන්න සූදානම් නෑ නේද?

එතැනදි ආයුර්වේදයටවත් වෛද්‍යවරයාටවත් දොස් කියල වැඩක් නෑ.තමන්ට ජීවිත කාලය පුරාවටම විදවන්න වෙන රෝගයකින් මිදිල සාමාන්‍ය මට්ටමට පත්වෙලා ජීවිතය විදින්න ලැබෙන අවස්ථාව අපතේ නොහැර
තමන්ගේ ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් වත් කර ගත්තොත් කොලෙස්ටරෝල් තත්වය නිසා වෙහෙසට පත්ව අඩපණ වුණු අක්මාව ප්ලීහාව වගේ ඉන්ද්‍රියයන් නැවත යථා තත්වයට පත්වෙලා නිසි කියාකාරී මට්ටමට ගේන්න පුළුවන්. ඊළගට එම ආහාර පාලනය කිරීම සහ නිසි විහරණ පිළිපැදීම තවත් මාස හය හතක් කරගෙන යනකොට රෝගියාගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරල තරමක් ලිහිල් ඇවතුම් පැවතුම් රටාවකට ගියාට වරදක් වෙන එකක් නෑ.කොහොම වුණත් ප්‍රතිකාර නවත්වා වසර දෙකක් තුනක් යනකම් මාස දෙකකට වතාවක් වත් වෛද්‍ය පරීක්ෂණයකින් කොලෙස්ටරෝල් තත්වය මැනගෙන ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාවත් තත්වය පිළිබද දැනුවත් කරන්න.ඔබ ක්‍රමයෙන් නිරෝගී බවට පත්වෙන ක්‍රමාංකයන් දැන හදුනාගන්නා ඔහුත් ප්‍රතිකාර ලබාගන්නා විට ඔබගෙන් ලද මුදලින් ලැබුවාට වඩා සුන්දර නිරාමිස සතුටකින් සංතෘප්ත වේවි.

කොලෙස්ටරෝල් වලදි භාවිතයට හිතකර හා අහිතකර ආහාර ගැන කතා කලොත් එහෙම මෙන්න මෙහෙමයි. මේ අහිතකර ආහාර භාවිතයට නොගැනීම හෝ අවමව භාවිතයට ගැනීම කොලෙස්ටරෝල් අවධානම නැති කෙනෙකුට එයින් මිදීමේ අවස්ථා ඇති කරාවි. අධිකව තෙල්,සීනි,පිටි වෙන වෙනම හෝ මිශ්‍රව සැකසූ ආහාර, ක්ෂණික ආහාර, එළුමස් , ඌරැ මස් හා හරක්මස්, මීකිරි හා යෝගට්, පොල්, රටකජු හා කජු, පීකුදු හා බිත්තර, චීස්, බටර් හා මාගරින්, බිත්තර එළගි තෙල් හා සෝස්, සොසේජස්, එළවළු තෙල් ආහාර අපත්‍ය ආහාර විදියට දක්වන්න පුළුවන්. පොල් හා පිරිසිදු පොල්තෙල් රෝගය වැළදුනු කෙනෙකුට අහිතකර වුණත් නොවැළදුනු කෙනෙකුට වැළදීමේ අවදානමක් ඇති කරන්නේ නෑ. පත්‍ය හෙවත් සුදුසු ආහාර විදියට ගන්න පුළුවන් දේවල් අතර නිවුඩු හිත තැම්බූ හාලේ බත්,අළුත් එළවළු හා පළතුරු, පලා වර්ග,කුඩා මාළු හා මේද රහිත කිරි,කුරහන් පිටි සහිත ආහාර, සූරියකාන්ත තෙල් හා පරළු පාන් ඉදිරියෙන්ම තියෙනවා. ඒවගේම ආහාර පිසීමේදි තිබුණොත් යොදන එහෙමත් නැත්නම් නොදාම ඉන්න කරපිංච නැට්ටට, ගොරොක් අණ්ඩට රුධිර නාලගත මේදය දියකර හැරීමේ අරුම පුදුම බලයක් තිබෙන බව අමතක කරන්න එපා. ඒ නිසාම ආහාර පිසීමේදි යොදාගන්නා කරපිංචා, සුදුලූණු, රතුළූනු , කුරුදුපොතු, උළුහාල් ,  කොත්තමල්ලි, ගොරකා වැඩිවැඩියෙන් යොදාගැනීමත් හොදයි. දිනකට සුදුලූණු, රතුළූනු ගෙඩි දෙක තුනක් අනිවාර්යයෙන් කෑමත්, කරපිංචා-ගොරකා-සුදුළූණු-ගම්මිරිස්-ලුණු කැටයක් පමණක් දැල අඹරපු ලුණු මිරිස් , කරපිංචා දළු සම්බෝලය,දෙහි ඇඹුල් දාපු තෙඹු කොළ සම්බෝලයක් දවස ගානේ මාරුවෙන් මාරුවට කෑමත් කොලෙස්ටරෝල් පලවාහැරීමට කියාපු අත්බේත්. වෙල් තම්පලා. මෑ කොළ, දඹල කොළ, ජපන් බටු කොළ(සමහර පැතිවල ආඩිබටු) මැල්ලුමට එකතු කිරීමත් හැදුනු නොහැදුනු දෙගොල්ලටම හොදයි.

ඒ අතරම ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ක්ෂණිකව අඩු කරගන්න ඕන නම් කලින් සකසා ගත් වියළූ නැටි සහිත කරපිංචා කොල කුඩුකර කෝපි මෙන් බීමත්, බත් සමග ගිරිතිල්ල කොල සම්බෝලය කෑමත් අත්දුටුවයි සත්‍යයයි. පාවට්ටා කොල වියලා කුඩුකර කෝපි මෙන් බීමත්, සතියකට වරක් වෙනිවැල්ගැට තම්බා බීමත් ඔබව අවධානමෙන් ගලවා තබා ගැනීමට අත්බේත් කරගන්න පුළුවන්. දිනපතා පැය දෙකක් වත් දහදිය දමන කය වෙහෙසෙන වැඩක යෙදීමත් , සක්‍රීය හා අක්‍රීය දුම්පානයෙන් මිදීමත් ,මත්පැනින් ඈත්වීමත් කොලෙස්ටරෝල් අවදානම ඔබෙන් පලවාහැරීමට මහත් සේ උපකාරී වේවි.ඊට අමතරව කොලෙස්ටරෝල් නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්වයන් ඇතිවිය හැකියි. දැනටමත් දියවැඩියාවට හෝ වකුගඩු ආසාදනයකට ලක්වූ අයෙකුට කොලෙස්ටරෝල් අවධානම ඉතා වැඩියි.කාන්තා පාර්ශවයට වයස 40න් පමණ සිදුවන ඔසප් නැවතීමෙන් පසු කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාමේ අවධානමක් පවතින බව දැනුවත් වීමත් හොදයි.

කරුණු කාරණා ගොඩක් වගේ වුණාට මේවා බොහොම සරල, සම්ප්‍රදායික, දෛනික ක්‍රමවේදයන්ට පහසුවෙන් අන්තර්ගත කළ හැකි ප්‍රායෝගික ක්‍රියාකාරකම් එකතුවක්. ඔබට කොලෙස්ටරෝල් වලින් මිදීමට ආයුර්වේද ප්‍රතිකාර අවශ්‍ය නම් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමුවෙන්න.ඒ සදහා මගපෙන්විමක් අවශ්‍ය නම් වෙදහාමිනේට ඊ ලිපියක් එවන්න.නිරෝගි වන්න. මොහොතින් මොහොත අළුත්වෙන ලෝකය දකින්න තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න උත්සහ කරන්න. සම්ප්‍රදාය රැකීම මිසෙක සම්ප්‍රදාය බිදීම ජීවිතයට පාර නොකියන බව තෙරුම් ගන්න. ජීවිතය විදින්න. සොබාදහම සමග මිස එය අභිබවා නොයන්න.
Email - nagarjunaherble@gmail.com

පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ සැබෑ පංචකර්මය


අද කාලෙ ආයුර්වේද කේෂත්‍රයේ හොදම ව්‍යාපාරික යොමුවීම හැටියට මතුවෙලා තියෙන්නේ''ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන"නමින් පවත්වාගෙන යන ආයතන ආරම්භ කිරීම.කාලෙන් කාලෙට විවිධාකාර ව්‍යාපාරික රැලි වලට අහුවෙන ආයුර්වේදය මේ දවස් වල පංචකර්ම රැල්ලට අහුවෙලා එහාට මෙහාට පැද්දෙනවා. අද දවස වෙනකොට බස්නාහිර හා දකුණු පළාත,මහනුවර නගරය, දඹුල්ල - අනුරාධපුර වගේ ප්‍රධාන සංචාරක කළාප ආශ්‍රිතවත් අගලෙන් අගලට බෝඩ් ලෑලි ගහල තියෙන 'පංචකර්ම මධ්‍යස්ථාන' දකින්න පුළුවන්. අනික් ප්‍රදේශ වල ගත්තත් නගරයකට එකක්වත් මේ ආකාරයේ "පංචකර්ම" මධ්‍යස්ථාන තියෙන බව රහසක් නොවෙයි.නිකම්ම නිකම් මසාජ් සෙන්ටර් එකකට වැඩිය මේ 'පංචකර්ම මධ්‍යස්ථාන' වෙනස් වෙන්නෙ කොහොමද කියන එක හොයන්න බලන්න කෙනෙක් නැති නිසා අද වෙනකොට ආයුර්වේදයේ නම විකුණමින් ගණිකා මධ්‍යස්ථාන විවෘත වීමම කණගාටුවට කරුණක්.

ඇත්තටම ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාරවලදී "පංචකර්ම චිකිත්සාව" කියල කොටසක් භාවිතා වෙනවා.ඒක කඩේට ගිහින් තේ එකක් බීල ගෙදර එනව වගේ, ඇදුමක් අරන් එනව වගේ පහසුවෙන් ආරම්භ කරල අවසන් කරන්න බැරි ක්‍රමවත්ව, විධිමත්ව, සංයමයෙන් කරන්න ඕන ක්‍රියාවලියක්. අනෙක ඒක කිසිදු ආයුර්වේද දැනුමක් නැති තෙරපි(මසාජ්) දැනුම පමණක් ඇති තරුණයෙක් හෝ තරුණියක් යොදාගෙන කරන්න බැරි අවදානම් සහගත ක්‍රියාවලියක්.උදේ ඉදල වෙනත් වැඩ වලින් හෙම්බත් වෙලා පැයකට දෙකකට 'පංචකර්ම මධ්‍යස්ථාන'යකට ගොඩ වෙලා
හිතටවත් ගතටවත් නොදැනෙන ප්‍රතිකර්මයකට ලක්වෙලා රුපියල් දෙදහක් විතර වියදම් කරල ලබාගන්න දේට වඩා ජීවිතයේ පැවැත්මට අතිශය වැදගත් ‍‍භෞතික හා මානසික සහනයක් දැනෙන වැඩපිළිවෙලක්.

මම මෙම ලිපි පෙළින් හැමදාමත් කියනව වගේ අවිචාරයෙන් දෑස් නිලංකාර කරගෙන හැල්මෙ දුවන 'ඉන්ස්ටන්ට්' සමාජයේ පුරවැසියන්ට මේ ආයුර්වේද ක්‍රමයෙන් නිසිඵල ලබන්න බෑ. දැනට අවුරුදු දහයකට දොළහකට කලින් ලෝකයට දැනෙන්න ගත්ත 'ස්වභාවිකත්වයට ලංවීමේ රැල්ල' ක්‍රමයෙන් ලංකාවටත් නැවත දැනෙන්න ගත්තෙ ඊට අවුරුදු කිහිපයකට පස්සෙ.ඉතාලියේ -ඇමරිකාවෙ වගේ රටවල් වල ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරු වගේම අරාබි යුනානි
වෛද්‍යවරුත් මූලික වෙලා ආරම්භ කරපු පංචකර්ම මධ්‍යස්ථාන, ත්‍රිගර්භ කුටි වල සාර්ථක ක්‍රියාදාමයන් අත්විදින්න භෞතික වගේම මානසික නිදහසකුත් ඇතිකරගත්තු බටහිරයන් ඒවගෙන් නිසිඵල ගනිද්දි, තරුණ පෙනුම, දිර්ඝායුෂ ලබද්දි
ආයුර්වේදයේ අයිතිකරුවන් කියල කියන්න පුළුවන් අපේ රටවල ඒ නමින් බිහිවෙන්නෙ "ගණිකා මඩම්" නම් ඒක හරිම ඛේදවාචකයක්. ඇමරිකානුවන්ටත්, චීන්නුන්ටත් වඩා දක්ෂ ව්‍යාපාරිකයන් වෙන්න හදන අපේ ව්‍යාපාරිකයින් ඒවගේ රටවල්වලින්ම ගෙන්වන සුදු ග්‍රීස් වලට, ක්‍රීම් බේස් වලට ඉන්දියාවෙන් ගෙන්වන තෙල්වර්ග, ස්වභාවික සුවද සහිත
එසන්ස් කලවම් කරල "ආයුර්වේද නිෂ්පාදන" කියල වෙළදපාලට දාන කොට අවිචාරවත්ව ඒව පසුපස දුවන සමාජයක් විදියට අපේ මොළගෙඩි නිර්වින්දනය කරන්න මේ රටේ විද්‍යුත් ජනමාධ්‍යයත් (විශේෂයෙන්ම උදේ වරුවෙ විකාශය වන
රූපවාහිනී වැඩසටහන්) කුප්‍රකට දායකත්වයක් ලබාදීල තියෙනවා.


ඔය කියපු ප්‍රවණතාවයෙම දිගුවක් විදිහට අපේ රටේ සාමාන්‍ය පැළැන්තියෙන් උඩින් ඉන්න යමක් කමක් තියෙන පැළැන්තියේ අයට ගැලපෙන්න "බියුටි සැලූන්" ක්‍රමවේදයත්, නාගරික"සම්බාහන මධ්‍යස්ථාන" ක්‍රියාදාමයත්, ආයුර්වේද තෙල් බේත් වර්ග කිහිපයකුත් එකතු කරල 'පංචකර්ම මධ්‍යස්ථාන'බිහිවෙන්නෙ "ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන" විදිහට. සාමාන්‍ය බියුටි සැලූන් එකකට වඩා සාමාජීය ගෞරවයකුත්,සම්බාහන මධ්‍යස්ථානයකට වඩා නීතිමය ආරක්ෂාවකුත් තියෙන නිසා ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන වලට පාරිභෝගිකයෝ ගෙන්න ගන්න අමාරු නෑ. මෙච්චර කාලයක් ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රමවේදයක් වුණු පංචකර්මය මාකට් වෙලා කැරට්,බෝංචි ගානට එනකම් හුරුපුරුදු වචනයක් වුනේ වර්තමාන ව්‍යාපාරිකයන් විසින් වෙනත් ලෝකෙකින් හොයාගෙන ආව අරුම පුදුම බලගතු 'දිවඔසු'වක් ගානට හිතාගත්තු අවිචාරවත් අනිවාර්ය පාරිභෝගිකයන් කණ්ඩායමකුත් බිහිකරගෙන.

ඇත්තටම ආයුර්වේදයේ ඇතුළත් පංචකර්මය කියන්නේ දැන් කාලෙට ගැලපෙන සරලම උදාහරණයකින් කිව්වොත් "වාහනයක් සර්විස් කරනවා" වගේ වැඩක්. අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ශෝතස් වල තැන්පත් වෙලා තියෙන සෙම් සොටු තෙල් බැක්ටීරියා වගේ දේවල් හා වෙනත් අපද්‍රව්‍ය ක්‍රමවත් විදියට ඉවතට ඇදල දාල අභ්‍යන්තර ශරීර පද්ධතීන් වල ක්‍රියාවලීන් "ටියුන්" කිරීමක් තමයි මේකෙන් වෙන්නෙ.මේකෙ අරමුණ නිරෝගී භාවය පවත්වා ගැනීම නිසා පංචකර්මයකට ලක්වෙන්න රෝගී වෙනකම්ම ඉන්න ඕනෙ නෑ. නමුත් පංචකර්මයේ එක් එක් කොටස රෝගීන් සදහා ආයුර්වේදයේ ප්‍රතිකාර අාරම්භ කිරීමට පෙර යොදා ගන්නා අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට "වසක් -විසක්" ශරීර ගත වුණාම වමණය කිරීම දක්වන්න පුළුවන්. ඒ වගේම වසරකට සැරයක් විතර බඩසුද්ද වෙන්න "අරළු පෙති" බීමත් පංචකර්මයේ දී භාවිතා වන විරේචන කොටසට අයත් දෙයක්.පංච කර්මය එහි නමේම තේරුමේ හැටියට ක්‍රමවේද පහකින් සමන්විත එකක්.

01. වමනය
02. විරේචනය/ විරේකය
03. නස්‍ය / නස්නය
04. වස්තිය
05. රක්ත මෝක්ෂණය

මේ සාමාන්‍ය ආයුර්වේදයේ පංචකර්මය.නමුත් යුනානි ආයුර්වේදයේ "කපින්" නමින් හැදින්වෙන හයවෙනි කොටසකුත් මේකටම සම්බන්ධව තියෙනවා.වමන කොටසෙදි සිදුවෙන්නේ ආහාර ජීරණ පද්ධතියේ ඉහළ කොටසේ පවතින අපද්‍රව්‍ය ඉවත්කිරීම. ඒ ස හා අනිවාර්යයෙන් උදය වරුව යොදා ගන්නා අතර විහරණයන්ගෙන් වැළකී එයට සූදානම් විය යුතුයි.මෙමගින් ආමාශයික යුෂ සාන්ද්‍රණය නිවැරදි කිරීම, ආමාශගත විෂ ඉවත්කිරීම, ආහාර දිරවීමේ ගැටළු මගහැරවීම වගේ ප්‍රයෝජන ලැබෙනවා. ඒවගේම වමනයෙන් බැහැරවන දේ පරීක්ෂාවෙන් පිළිකා ආදිය හදුනාගැනීම, ශරීර දුර්වලතා වටහාගැනීමත් වෛද්‍යවරයා විසින් සිදුකරනවා. විරේචනයේදී වන්නේ මුඛයෙන් ලබාදෙන ඖෂධ මගින් ආහාර ජීර්ණ පද්ධතියේ පහළ කොටස් පිරිසිදු කිරීම.සාමාන්‍යයෙන් ඉවත් නොවන බඩේ ඇලී පවතින මළ ද්‍රව්‍ය ඉවත් කිරීම මගින් අංගුලිකා උත්තේජනය මෙමගින් සිදුවෙනවා. ඒවගේම බැහැරවන මළ පරීක්ෂාවෙන් ආන්ත්‍රික පිළිකා හදුනාගැනීම කීට රෝග, වෙනත් ආමාශයික දුර්වලතා වටහා ගැනීම වෛද්‍යවරයාගේ කාර්ය භාරයට අයත්.මේ කොටස කෙරෙන්නේ වමන කර්මය දාට දවස් කිහිපයක අන්තරයකින් පසුව තෝරාගන්නා දිනයකදී. පොහෝ දින, වැසි දින මේ සදහා සාමාන්‍යයෙන් යොදාගන්නේ නෑ.


නස්‍ය නැත්නම් නස්න කොටස මගින් නාසය ඔස්සේ ඇතුළු කරන ඖෂධ මගින් ශ්වසන පද්ධතියේ සහ කෝටරකයේ අපද්‍රව්‍ය ඉවත්කිරීම සිදුකෙරෙනවා.නාසයෙන් හා මුඛයෙන් පිටකෙරෙන අපද්‍රව්‍ය මගින් සෙම් සොටු ඉවත් කිරීමෙන් නිතර සෑදෙන හිසරදය, සෙම්ගෙඩි ආදි රෝග පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඊළගට සදහන් වස්තිය හැමවිටම භාවිතා නොවුණත් විරේචනය මගින් ඉවත් නොවූ මළ කොටස් ඇත්නම් ඒවාට ගුද මාර්ගය ඔස්සේ ඇතුළුකරන මළ ලිහිල් කිරීමේ ඖෂධ භාවිතයෙන් පසු වස්ති යන්ත්‍ර(ආයුර්වේදයේ භාවිත වස්ති යන්ත්‍ර - බටහිර වස්ති යන්ත්‍ර පැමිණීමට පෙරත් පැවතිණි.)භාවිතයෙන් හෝ පිරිසිදු දෑත් භාවිතයෙන් ඉවත් කිරීම සිදුකරනවා.ගුද වස්ති වලට අමතරව මුත්‍ර වස්ති කිරීමෙන් අවශ්‍යතාවය අනුව මුත්‍ර පද්ධතියේ අවහිරතා මගහැරීම්/පිරිසිදු කිරීම් කරන අවස්ථාත් තියෙනවා. රක්ත මෝක්ෂණය කියන්නේ රැධිර සංසරණ පද්ධතියේ අපිරිසිදු කොටස් ඉවත් කිරීමට. ඒ සදහා අතීතයේදී සත්ව අං කොටස් හා ලබු කබල් වැනි දේශීය උපාංග භාවිතා කළත් අද දවසේ ජනප්‍රිය ක්‍රමය වන්නේ කූඩැල්ලන් මගින් අපිරිසිදු රැධිර කොටස් ඉවත් කිරීමයි.

මෙම ක්‍රියාදාමයේදී සෘජුවම අපේ ශරීරයේ පද්ධති වලින් ස්නායු පද්ධතිය හා ප්‍රජනන පද්ධතිය හැර අනෙක් පද්ධති වල අපද්‍රව්‍ය ඉවත් කිරීම සිද්ධ වෙනවා.නමුත් අනෙක් පද්ධති පිරිසිදු කිරීමෙන් හා උත්තේජනයෙන් මෙම පද්ධති වල ක්‍රියාදාම ක්‍රමවත් වීමත් සිදුවෙනවා. වැඩිදුරටත් ස්නායු පද්ධතියේ සහ ප්‍රජනන පද්ධතියේ ප්‍රතිකර්ම කෙරෙන වෙනත් අවස්ථාවක් ආයුර්වේදයේ තියෙනවා. එය ත්‍රිගර්භ කුටි ක්‍රමවේදයලෙස හදුන්වනවා.මේ සියළු කටයුතු එක් දවසකින් නිමකර ප්‍රතිකාරයට භාජනය වන්නා පිටත්කර හැරීමේ හැකියාවක් නැහැ. මේ සියළු දේ එක පිට එක දරා ගැනීමේ හැකියාවක් කෙතරම් නිරෝගී පුද්ගලයෙකුටවත් නෑ. මේ සියල්ල පිළිවෙළින් සිදු කිරීමට සතියක්වත් රෝගියාත් - වෛද්‍යවරයාත් යන දෙදෙනාම කැපවිය යුතුයි.එසේම පංචකර්ම ක්‍රියාවලියක් ඇරඹීමට පෙර ඒ සදහා රෝගියා සූදානම් කරවීමක් කළ යුතුයි. එමගින් බලාපොරොත්තු වන්නේ පෙර සදහන් කළ ශරීරයේ සෝත්‍රස් හරහා අපද්‍රව්‍ය ඉවත් කිරීම පහසු කිරීමට අදාළව ඒවා ලිහිල් කිරීමට අදාළ ක්‍රියාකාරකම්. ඒවාට කියන්නේ 'පූර්ව කර්‍ම' කියලයි. එහිදී පංචකර්මයට ලක්වන පුද්ගලයා එක දිගට දවස් තුනක් පමණ මෙම ක්‍රියාදාමයට යොදා ගන්නවා.
එවිට රෝගියා තමන්ගේ ආහාර , ඇදුම්, එදිනෙදා කටයුතු වෛද්‍ය වරයාගේ අනුදැනුම ඇතුව භාවිතා කිරීමත් කළ යුතුයි. පූර්ව කර්‍ම වර්ග දෙකක් තියෙනවා. පළමු වැන්න ස්නේහ කර්මය. දෙවැන්න ස්වේද කර්මය.

ස්නේහ කර්මය කියන්නේ තෙල් සාත්තුවට. දැන් කාලෙ භාෂාවෙන් කිව්වොත් 'මසාජ්' එකට. ඒත් ආයුර්වේදයේ යොදාගන්නා තෛල අභ්‍යංග විධි එයට පාත්‍ර වන්නාගේ කාමුක හැගීම් අවදි වන විදියට භාවිතා කෙරෙන්නේ නෑ. වෛද්‍යවරයාගේ තීරණය අනුව මුළු ශරීරයම හෝ කොටසක් තෝරාගත් ඖසධීය තෙලකින් සම්භාහනය කිරීම
මගින් මාංශ පේශි ලිහිල් කිරීම, රුධිර නාල වසා ගැටිත්ති උත්තේජණය කිරීම, ඒවායේ අවහිරතා මගහැරවීම, බාහිර ඉදිමීම් , තැලීම් සුවකිරීම මෙමගින් බලාපොරොත්තු වෙනවා.ඉන් අනතුරුව කෙරෙන ස්වේද කර්මයේදී සිද්ධ වෙන්නේ බාහිරින් යොදාගන්නා ඖෂධ භාවිතා කරමින් රෝගියාගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ නංවා දෝෂ හා මළ කොටස්
‍සෝත්‍රස් වෙත අද්දවා ගැනීම සහ මිනිසාගේ විශාලම අවයවය වන සමේ පිරිසිදු භාවය වර්ධනය කිරීමයි.ඒ සදහා ලීයෙන් හෝ මැටි වලින් නිමවූ ස්වේද කුටියක් භාවිතා වන අතර මෙය අද දවසේ 'ස්ටීම් බාත්' ලෙස හදුන්වනවා.

එයින් පසුව තමයි රෝගියාව පංචකර්මයට යොමු කරන්නේ. එසේ පිළිවෙලක් ඇතිව පංචකර්මයට යොමුකරන අයෙකුට ලැබෙන ප්‍රතිලාභත් හරි ඉහළයි. අකළට ගිලිහෙන තරුණ පෙනුම යළි ලබාදීම, ශාරීරික ජවය පවත්වාගැනීමේ හැකියාව, ලිංගික හැගීම් හා ශක්තියේ වර්ධනය, දීර්ඝායුෂ ලැබීම, පිළිකා, රුධිර පීඩන විචල්‍යතා, හෘදයාබාධ වැනි රෝග වලින් වැළකීමේ හැකියාව, දද- කුෂ්ඨ වැනි රෝග වලින් මිදීමේ හැකියාව වගේ දේවල් ඒ අතර ප්‍රධානයි.හැබැයි මේ සදහා නිවැරදිව යොමුවෙන කෙනෙක් තමන්ගේ සියළු කටයුතු එක් මාසයකට අත්හැරල දාන්න වෙනවා. අඩුම තරමේ ශ්‍රී ලංකා රුපියල් පනස්දාහක්වත් වියදම් කරන්න වෙනවා.නමුත් ඉහත කියන සියළු ප්‍රතිලාභ ලබාගැනීම සදහා වසර තුනකට වරක්වත් මෙම කැපකිරීම් කල හැකිනම් හොද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඔබටත් ලබාගත හැකියි. (ඉහත සදහන් රෝගයන් සදහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවුණාම ටිකෙන් ටික වැය වන මුදලත් කාලයත් එක්ක ගත්තහම කැප කළයුතු දේ බොහොමයි.) හැබැයි අද දවස වෙනකොට මේවගේ දේවල් මේ පිලිවෙලටම කරන සැබෑ ආයුර්වේද වෙදමැදුරු හොයාගන්න එක ටිකක් අමාරුයි.නමුත් නැත්තෙමත් නෑ.

දැන් එතකොට "ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන" නමින් සිද්ධ වෙන්නෙ ඉහත කී පූර්ව කමර්‍ සිද්ධ කිරීම විතරයි.එහිදීත් මසාජ් හැටියට භාවිතා වන්නේ වෛද්‍ය ක්‍රමවේද නොවෙයි. ඒ වෙනුවට යොදාගන්නේ ලිංගික හැගීම් උත්සන්න වෙන අභ්‍යංග විධි. ස්ටීම් බාත් ස්‍දහාත් නිවැරදි කාල පරාස, ක්‍රමවේද භාවිතා වෙනව කියල කියන්න බෑ.
මේවා පවත්වාගෙන යන බොහෝ දෙනෙක් ආයුර්වේද වෙන්නේ නමින් පමණයි. තමන්ගේ මසාජ් සෙන්ටර් සහ ගණිකා මඩම් වලට නීතිමය ආරක්ෂාව ලබාගන්න ආයුර්වේද වෛද්‍යවරයෙක් බදවාගෙන (සමහර විට ඒ වෛද්‍යවරයාටත් හොරෙන්) ඊටම සම්බන්ධ වෙනත් තැනක මෙවැනි ජාවාරම් කරන ව්‍යාපාරිකයන් බොහොමයි. සමහර ස්ථාන වල
බදවාගන්නා තරුණ අභ්‍යංග වරුන්ට (තෙරපිස්ට්)නිසි පුහුණුවක් නැති කමත්,ඔවුන් තමන්ගේ අමතර ආදායම වැඩිකර ගැනීම සදහා (සමරවිට පාලකයන්ටත් හොරෙන්) වැරදි ක්‍රියාකාරකම් වලට යොමුවීමත් නිසා අද වන විට "ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන" සල්ලාලයින්ගේ පාරාදීස බවට පත්වෙලා. හැබැයි නිවැරදිව ආයුර්වේද ක්‍රමවේද භාවිතා කරන මධ්‍යස්ථාන ත් නැතිවාම නොවෙයි.සත්‍ය තත්වය නම් ඒවාට පාරිභෝගික ඉල්ලුම සාපේක්ෂව අඩු බවයි.

ඉල්ලුමට අනුව සැපයුම ලබාදීම මත තමයි ඕනෑම ව්‍යාපාරයක් රදාපවතින්නේ.ඒනිසා රැල්ලට එරෙහිව පිහිනන්න ව්‍යාපාරිකයො කැමති නැති බව අපි පිළිගන්න ඕනෑ. හැබැයි ඒ වෙනුවෙන් ආයුර්වේද නම භාවිතා කිරීම ගැන වෛද්‍යවරු හැටියට අපිත් ආයුර්වේදයට ආදරය කරන ඔබත් විරුද්ධ විය යුතුයි. හැමදාම ආයුර්වේදයේ පුස්කොළ පොත් ගැන විවරණ කර කර නොඉද කාලයට ගැලපෙන තාලයට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේද නිර්මාණය කර නොගත්තොත් 'අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නෙනගී' කියන කුමාරතුංග මුනිදාස කිවියාණන්ගේ කීම වගේම ඩාවින්ගේ පරිණාම වාදයත් සනාථ කරමින් ආයුර්වේදය යටපත් වෙලා යාවි. නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර කරන ආයුර්වේද සිද්ධාන්ත මත පමණක් රැදී මාකටින් කළ හැකි ප්‍රතිකාර විධි සදහා අත්වැල් බැදගැනීමට නවීනව සිතන ආයුර්වේද වෛද්‍යවරුන්ටත් , සුබවාදීව සිතන ආයෝජකයින්ටත් කාලය එළැඹී ඇති බව වෙදහාමිනේ ගේ අදහසයි.

Email - nagarjunaherble@gmail.com