සිංහල වෙදකම හා ආයුර්වේදය කියන්නේ එකක් නොවේ දෙකක්

බටහිර වෛද්‍ය ක්‍රමය හැරැනම මෙරට ක්‍රියාත්මක වෙන්නෙ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විතරයි කියල බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි සිංහල වෙදකමයි ආයුර්වේද වෙදකමයි කියල කියන්නෙත් එකම දේ නෙවෙයි. ඒ දෙක අතරත් වෙනසක් තියෙනවා. සුද්දගෙ පාලනය අවසන් වෙලා මෙහේ හිටපු කලු සුද්දන්ට පාලනය බාර දුන්න මොහොතෙ ඉදල මෙරට පිළිගත් වෛද්‍ය ක්‍රමය වුණේ බටහිර වෛද්‍ය ක්‍රමය තමයි.ඒ අනුව සිංහල වෙදකම, ආයූර්වේද වෛද්‍ය ක්‍රමය, සිද්ධ වෛද්‍ය ක්‍රමය, යුනානී වෛද්‍ය ක්‍රමය කියන මෙරට ක්‍රියාත්මක වුන පාරම්පරික වෛද්‍ය ක්‍රම "වෛකල්පිත වෛද්‍ය ක්‍රම" යනුවෙන් හදුන්වමින් දෙවැනි තැනට දැම්මා. පසුකාලීනව ලංකාවේ ප්‍රචලිත වුණු පෙරදිග වෛද්‍ය ක්‍රම දෙකක් වුණු හෝමියෝපති හා පංචකර්ම කියන වෛද්‍ය ක්‍රමවේදත් ආණ්ඩුවේ නීති පොත් ප්‍රකාරව වැටුනෙ "වෛකල්පිත වෛද්‍ය ක්‍රම" යටතට.

බොහෝ දෙනා අහල පුරැදු "ආයුර්වේදය" උපන්නේ අපට ළගම ර‍ටේ. ඒ කියන්නේ ඉන්දියාවෙ(ඇත්තටම කිව්වොත් භාරතයේ. භාරතය කියන්නේ වර්තමාන පකිස්ථානය,බංගලාදේශය ඇතුලු ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයට පෙර පැවැති දඹදිව රාජධානියට) . එහි ආරම්භය ගැන කියවෙන බොහොම රසවත් දේව කතාවකුත් තියෙනවා. ඒ ගැන පසුව දවසක ලියන්නම්. එහෙම බිහිවුණු ආයුර්වේද වෛද ක්‍රමය භාරතය තුල බොහොම සරැසාරව වැඩෙන ගහක් වගේ මුල් ඇදගෙන ප්‍රචලිත වෙනවා.ගස් වැල් වල පංචාංගයම හෝ කොටසක් හෝ යොදාගෙන නිපදවෙන අරිෂ්ඨ, ආසව වර්‍ග නිපදවෙන්නේ ආයූර්වේද වෛද්‍ය ක්‍රමයේදී. මහින්දාගමනයත් සමග අපට ලැබෙන බොහෝ දායාද අතර ආයුර්වේදයත් ඇතුළත් වෙලා තිබුණා. නමුත් විජයාවතරණයට පෙර සිටම මෙහි වාසය කළ යක්ඛ, නාග ගෝත්‍රිකයන්ගෙන් පැවත ආ වෛද්‍ය ක්‍රමයක් තිබිල තියෙනවා. රාවණ රජ සමයේ සිට පැවත ආ මේ වෛද්‍ය ක්‍රමය බොහොම දියුණු එකක්.


පසුකාලීනව ඒ කියන්නෙ මහින්දාගමනයෙන් පස්සෙ අපේ දේශීය වෛද්‍ය වරැ ආයුර්වේදයේ හරයාත්මක දේවලුත් ප්‍රයෝජනයට අරගෙන හරිම සංවිධානාත්මක විදියට දේශීය වෛද්‍ය ශාස්ත්‍රය මහජනයාගේ හිතසුව පිණිස යොදාගෙන තියෙනවා.ඒ කාලෙ අපේ සෑම රජ කෙනෙකුටම රාජ වෛද්‍ය වරයෙක් පවා ඉදල තියෙනව. මිහින්තලය, මින්නේරිය වගේ ප්‍රදේශවල ආරෝග්‍ය ශාලා පවත්වගෙන යමින් ශල්‍ය කර්ම පවා සාර්ථකව සිදුකරන තත්වයක් දක්වා පරිණත මට්ටමට පවත්වාගෙන ගියා. ඒ වගේමයි මනුෂ්‍යන්ට පමණක් නොවෙයි සත්වයින්ට පවා වෙදකම් සිද්ධ කල බවට සාක්ෂ්‍ය බුද්ධදාස රජ සමයේ හමුවෙනවා.

දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ප්‍රධාන වුණේ නැවුම් - අමු බෙහෙත්. යම් රෝගයකට පිළියම් කෙරැණෙ එවෙලෙම සාදාගත් නැවුම් ඖෂධ වලින්. ගුලි, කල්ක, කසාය නොතිබුණා නොවෙයි. ඒත් මුල් තැන දුන්නෙ අලු අනුපානයන්ට(අමු ඖෂධ දලු වලින් කළ බෙහෙත්), සවරස කසායට(අමු ඔසු මිරිකල හදන කෂාය). මොන අසනීපෙකට වුණත් වේලෙන් දෙවේලෙන් ප්‍රතිකර්ම කරන්නට දායක වුනේ ප්‍රබල අමු ඖෂධ. ඒවා බොහෝ විට තිබුණෙ දේශීය වෛද්‍ය වරැන්ගෙ මතක ගබඩාවෙ. රාජ අනුග්‍රහය ලැබුණු වෛද්‍ය පරම්පරා වල ඇත්තො සමහර අවස්ථාවල ඖෂධ වට්ටෝරැ ග්‍රන්ථාරෑඩ කළත් බොහෝ වෙලාවට මේවා පරම්පරාවෙන් පරම්පරාවට ගෙනාවෙ කටපාඩමින්. පසුකාලීනව රොබට් නොක්ස් කියපු විදියට අපේ රටේ හැම ගැමියෙක්ම වෙදෙක්. කැඩුණු අස්ථියක් සමාන්‍ය මට්ටමෙන් පාහන්න අපේ ගැමියෙකුට බතක් ඉදෙන්න යන වෙලාව ඇති බවත් ඔහු කියල තිබුණ. පෘතුගීසි, ලන්දේසි සමයන් වල නිතර පැවැති යුධ ගැටුම් ආදිය නිසාත්, චංචල දේශපාලන වාතාවරණය නිසත් ඒ කාලෙදි කතෝලික ආගම සමග බටහිර වෛද්‍ය ක්‍රමය මෙරටට පැමිණීම නිසාත් දේශීය වෙදකමේ පරිහානිය ඇරඹීමට හේතුපාද වුණා. ඒත් තාඩන පීඩන මැද්දෙ මුඛ පරම්පරාගතව ගෙනා අපේ දේශීය වෛද්‍ය වට්ටෝරැ ස්වල්ප ප්‍රමාණයක් අද වන තුරැත් භාවිතා කරන පාරම්පරික දේශීය වෛද්‍ය වරැ ඉන්නවා. අද වෙදකමේ නොයෙදුණත් තමතමන්ගෙ තාත්තා, සීයා සටහන් තැබූ පුස්කොළ පොත්, සටහන් පොත් රැකගත් උදවිය අපේ රටේ ඕන තරම්.මේ පිරිස් ගැන නිසි සංගණනයක් නොමැති නිසා වගේම ඒ අයගේ දැනුම හොරකම් නොකර විධිමත්ව ඒකරාශී කෙරෙන රාජ්‍ය යාන්ත්‍රණයක් මේ දක්වා නොමැති වීමත් නිසා ඒ දැනුම සගවාගෙනම ඒ මිනිස්සු මියයන එක අනිවාර්යයි. දේශිය වෛද්‍ය ක්‍රමය ගැන ඇල්මක් තියෙන බොහෝ දෙනෙකුට ඒක දරාගන්න බැරි දෙයක්.

ඉන්දියාවෙන් ආපු ආයුර්වේදය නිසි ලෙස ග්‍රන්ථාරෑඩ වෙලා තිබීම නිසා අද එය දේශීය වෙදකම අභිභවා පැතිර යන්නට පටන් අරන්. පාරම්පරික වෛද්‍ය පරම්පරා වල උදවිය ඒ වෘත්තියේ නොයෙදීමත්, එම පරම්පරා සතු දැනුම දැනට ආයුර්වේදයේ යෙදෙන පිරිස් වෙත නොලැබීමත් නිසා අපිට අහිමි වෙමින් යන්නෙ ලෝකයේ හොදම වෛද්‍ය ක්‍රමයක උරැමය කියන එක තමයි මගේ අදහස. බටහිර ලෝකය ගුවන් යානය නිපදවල දැනට වසර සියයයි. ඒත් අපේ රටේ රාවණා දඩුමොණරෙන් ගියේ වසර දහස් ගණනකට පෙරයි. ඒ අනුව සසදලා බැලුවොත් මගේ ඒ තර්කය සාධාරණයි කියල ඔබටත් හිතේවි.

ඔසුතුරැ විසිතුර-හදුනමු සුමිතුර - දිවියට ගෙන දෙන - සුවසෙත අමයුර


2010 වර්ෂය ශ්‍රී ලංකා රජය "ආයූර්වේද වර්ෂය" ලෙසයි නම් කරලා තියෙන්නේ.(හැබැයි මැතිවරණ වර්ෂයක් වීම නිසා ඒක අමතක වෙලා යාවිද දන්නේ නෑ.) ඒ අතරම එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වර්ෂය නම් කරලා තියෙන්නේ "ජෛව විවිධත්ව වර්ෂය" ලෙසයි.දෙගොල්ලෝ දෙවිධියකට නම් කලත් මේ දෙකේම ලොකු සහ සම්බන්ධ‍යකුත් තියෙනව.

හේතුව තමයි ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ ප්‍රධානම භාවිතය ශාක හා ශාකමය ද්‍රව්‍ය වීම. ඒ වගේම ශ්‍රී ලංකාවෙ ජෛව විවිධත්වය අතින් සුවිශේෂී රටක්.ඉතිං මේ වගේ වෙලාවක වෙදකමේ යෙදෙන අපිට වගේම ජීවිතේ එකම එක දවසක හරි ඉගුරැ-කොත්තමල්ලි ටිකක් හරි තම්බල බීපු ඔබටත් මේ ගස්වැල් ගැන පුංචි මතක් කිරීමක් කළොත් වැදගත් වේවි.

ඔබ නිකමට හරි කල්පනා කරල බැලුවද, අපි අවට ලෝකයේ කොපමණ ශාක වර්ග ප්‍රමාණයක් ඇතිද කියල. ඇත්තටම නෑ නේද? එහෙනම් අපි එතැනින්ම පටන් ගමු. ගණනය කර ඇති ආකාරය අනුව දැනට ලෝකයේ ශාක විශේෂ 250,000ක් 275,000ක් අතර ප්‍රමාණයක් පවතී. එහෙත් එයින් ආයුර්වේද ඖෂධ සදහා භාවිතා කරන්නේ ශාක විශේෂ 70,000කට අඩු ප්‍රමාණයක්.
ක්‍රිස්තු පූර්ව යුගයේ ග්‍රන්ථගත තොරතුරැ වලින් නාමිකව ශාක වර්ග 126ක් සදහන් වෙනවා. ඊළගට ආයූර්වේදයේ වැදගත්ම ලියැවිල්ලක් වන "වේද ග්‍රන්ථ" ලියැවෙන යුගයට එද්දී ශාක නාම 261ක් පිළිබද සටහන් වෙනව. ඉන්පසු කාලීනව ලියැවෙන සංහිතා ග්‍රන්ථ යුගයේදී ශාක පිළිබද පර්යේෂණ වඩාත් පුලුල් වෙනව. අයුර්වේදයේ පූජනීයම ග්‍රන්ථ විදියට අබිසෙස් ලබන "චරක සංහිතාව", "සුශ්‍රැත සංහිතාව" ඖෂධ සදහා භාවිතයට ගන්නා ශාක වර්ග ප්‍රමාණය ගැන අදහස් දක්වල තියෙන්නේ දෙවිදියකට. සුශ්‍රැතය ශාක වර්ග 579ක් ගැන කියද්දි චරකය එම ප්‍රමාණය 900ක් ලෙස පුලුල් කර දක්වනවා. තවත් ඉතා වැදගත් ග්‍රන්ථයක් වන "අෂ්ඨාංග හෘදය සංහිතාවේ" ශාක නාම 902ක් ගැන සදහන් වෙනවා. ආයුර්වේද ඖෂධ වර්ග ගැන අදාල වෙන ශාක නාම , ස්වභාවයන් හා සවිස්තර තොරතුරැ ලියැවී තියෙන නිගණ්ඩු වල ශාක විශේෂ 1,000ක පමණ නම් සදහන් වෙනවා. ජීව නාමකරණය පිළිබද විද්‍යාත්මක ක්‍රමවේදයක් බටහිර ලෝකය හදුන්වා දෙන්නට වසර දහස් ගණනකට පෙර මෙපමණ ශාක ප්‍රමාණයක් ගැන සවිස්තරාත්මක තොරතුරැ රැස්කිරීමම මහා කර්තව්‍යයක්.

මේ සියල්ල අතරේ මෙරට වෛද්‍යවරැ අතීතයේදිම භාවිතා කල ශාක වර්ග ප්‍රමාණය 1,430ක් බවට සදහන් වෙනවා.එයින් ශාක වර්ග 206ක් බහුලවම භාවිතාවන බවත් තවත් 600ක් සාමාන්‍ය භාවිතයේ යෙදෙන බවත් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

ඉතින් මේ දක්වා ඇති ඖෂධ ශාක ප්‍රමාණ අතුරෙන් කීයක් ඔබට නිවරදිව හදුනා ගත හැකිද? අඩුම තරමින් 100ක්වත් හදුනාගන්නට වර්තමාන පරම්පරාවේ ඔබට පුලුවන්නනම් ඒක ලොකු දෙයක්. එහෙම නොවෙයි නම් ගෙවත්තෙදි, වැඩබිමේදී සිදුවන එළිපෙහෙලි කිරීමකදී පවා විසිකැත්තට කැපි යන, උදැල්ලෙන් ඉදිරී යන කුඩා පදුරැ අතරේ හෙට දවසේ අපේ ආයුර්වේදයේ පැවැත්මට වැදගත් වන ඖෂධශාක ගණනාවක් අපෙන් ගිලිහී යන්න පුලුවන්. ඔබ සමහර විට නොසිතුවා වුණාට මෙරට තුළ අද දවසේ වාර්තා වන්නේ එකම එක "සදරාජ" පැළෑටියක් පමණයි. "කෝන්තාල" නම් ශාකයද වාර්තා වී ඇත්තේ එකම ස්ථානයක දී පමණයි. එම නිසා ඔබේ අවබෝධය වගේම අවධානයත්, අධිෂ්ඨානයත් අපේ මතු පරපුර වෙනුවෙන් කෙරෙන මහත්ඵල මහානිශංස පින්කමක් වෙනවාම තමයි. එය මේ රටේ අනන්‍යතාවය හා බැදුණු ආයූර්වේදයේ පැවැත්මට කෙරෙන හොද සේවයක්.

ඔබටත් ඖෂධ හාක පිළිබද වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුබද්ධ හල්දුම්මුල්ලේ හෝ පට්ටිපොල ඔසු උයන් වලදී ඒ සදහා අවකාශ සපයා ගත හැකියි. මෙම ලිපියේ අන්තර්ගත තොරතුරැ සදහා මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හිටපු ආයුර්වේද කොමසාරිස් එච්.එම්. සේනාධීර මහතාගේ දේශණයක මූලාශ්‍ර යොදාගැනිනි.

මැරෙන්න කෑම වෙනුවට ජීවත් වීමට කෑම



කතාවක් තියෙනවා "මාළුවා නහින්නෙ කට නිසා" කියලා.ආයෙමත් තැනක "හොදට නරකට දෙකට කටමය" කියලත් කියැවෙනවා. සාහිත්‍යයේදී වෙනත් අරමුණක් උදෙසා මේ යෙදුම් භාවිතා වුණත් ආයුර්වේදයේදිත් මේ යෙදුම් සාධාරණයි අපේ ආහාර භාවිතාවය ගැන සැලකීමෙදි. මේක දේශපාලන කතාවක් නොවුණත් පාන් රාත්තලට, කිරි පිටි පැකට් එකට ඡන්දය දෙන රටක මැතිවරණ කාලෙදි බඩ කට පිනවන කතා බහත් බහුලයි. කොහොම වුණත් තමන්ගෙ කට රැක නොගත්තොත් විදින්න තියෙන ජීවිතේ විදවන්න වෙන එක නම් අනිවාර්යයි.

සාමාන්‍යයෙන් මිනිසෙකුගේ පරමායුෂ අවුරැදු 120ක්. ඒත් අද වන විට ලංකාවේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරැදු 80ට වඩා අඩුයි.මේ විදියට ගියොත් තව අවුරැදු 10ක් 15ක් යනකොට අවුරැදු 55ක් පැනල ජීවත් වෙන කෙනෙක් හොයගන්න අමාරැ වෙන්න පුලුවන්. දැනටත් පාරෙ තොටේ ඇලවෙන මරණ දැන්වීම් වල වයස ගණන් හදල බැලුවොත් බොහොමයක් 50-60 අතර පුද්ගලයන්ගේ මරණ.

ආහාර ජීවිතයට කොතරම් වැදගත්ද කියල අද නවීන ලෝකෙ ජීවත් වෙන උදවියට වඩා ‍හොදට අපේ පැරැන්නනෝ තේරැම් අරන් තිබුණ. පෝෂණ වේදී, සූප ශාස්ත්‍රඥ වගේ පට්ටම් සන්නාම නොතිබුණාට අපූරැ ආහාර සංවිධාන රටාවක් නිර්මාණය කර ගැනීමේ හැකියාව අපේ ආච්චිලට (අපේ අම්මලාටත් නොතිබුණාම නොවේ) තිබුණ. එදා ඉදන් අපි පිළිපැදපු ආයූර්වේද වෛද්‍ය ක්‍රමයේත් ආහාර පිළිවෙත් ගැන බොහොම අපූරැවට කරැණු දක්වලා තියෙනවා.

ආයූර්වේදය කියන්නනේ ආයුෂ රැකගැනීමේ විද්‍යාවට. එහි ප්‍රධාන පරමාර්ථ දෙකක් තියෙනවා.
1. නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව රැකගිනීම
2. රෝගී පුද්ගලයාගේ රෝගී බව සුවපත් කිරීම

මේ දෙකෙන් ආයූර්වේදයේදී වැදගත් කොට සැලකුවෙ පළමු කාරණය හෙවත් ලෙඩක් හදා නොගෙන ජීවත් වීම . ඒ සදහා අනුගමනය කළ යුතු ප්‍රධාන කරැණු කාරණා හතරක් දැක්වෙනවා.

1. හිතකර ආහාරය
2. යහපත් පරිසරය
3. සහනදායී නින්ද
4. ප්‍රමාණවත් ව්‍යායාමය

මෙයින් වඩා වැදගත් වෙන කාරණය තමයි ආහාරය පිළිබද කාරණාව. මොකක්ද මේ හිතකර ආහාරය කියල කියන්නේ. පහසුවෙන් ශරීරයට උරාගන්නා, විෂ ද්‍රව්‍ය වලින් තොර, නැවුම්, පිරිසුදු , ප්‍රියජනක, පෝෂණීය ආහාරය හිතකර ආහාරයක් ලෙස අර්ථ දැක්වෙනවා. ආයූර්වේදයේ ඕකට කියන්නේ "පත්‍ය ආහාරය" කියලා. අපත්‍ය ආහාරයෙන් මිදිල පත්‍ය ආහාරයම භාවිතයට ගන්න කියන එක තමයි අපේ නිර්දේශය. අපේ පැරණි ගැමියො මේ ආහාර අපූර්වත්වය හොදින්ම අත්වින්දා. උදේම කොළකැද වීදුරැවකින් පටන් අරන්, හවසට කොත්තමල්ලි කෝප්පයකින් කෙලවර වෙන එදා කෑම වට්ටෝරැවේ වෛවාර්ණ කෑම ජාති (Shorteats), බැදුම්(Devel), ඇසුරැම් කළ කෑම ජාති (processed)තිබුණෙම නෑ. අද වගේ කෘතිමව විටමින් ගිල්ලවල කූඩුවේ ජීවත් වෙන කාලයට වැඩි කාලයක් ශීතකරණයක කල් ගෙවන මස් වර්ග, කිර්වර්ග වෙනුවට එදා අපේ පැරැන්නෝ භාවිතයට ගත්තේ එදිනෙදා නෙලා ගත්ත පලවැල. දඩයම් කරපු මස් වර්ග. සැරින් සැරේ කුස ගින්නට ඔහෙ මොනාහරි ගිලින අද කාලෙ අය වගේ නෙවී එදා අපේ ගම්වල උදවිය තුන්වේල බඩට දැනෙන්න හොදට කෑව. එනිසාම එදා අද බහුල ලෙස දක්නට ලැබෙන


1. චර්ම රෝග
2. පිළිකා
3. මධුමේහය (දියවැඩියාව)
4. මේද වෘද්ධි (කොලෙස්ටරෝල්)
5. අධි රැධිර පීඩනය
6. හෘදයාබාධ
7. අම්ලපිත්තය (ගැස්ට්‍රයිටීස්) වගේ රෝග බහුලවම වාර්තා වුණේ නෑ. පිටරටින් කොළින්ම එන හෝ එහේ තාක්ෂණයට මෙහේ නිපදවන හෝ ආහාර පාන වලට විදේශ විනිමය වැය කරනව මදිවට ඒව කාලා හැදෙන ලෙඩ රෝග වලට බෙහෙත් හේත් වලටත් විදේශ විනිමය වැය කිරීම ට සිදුවීමම තමා සැබෑම විදෙස් කුමන්ත්‍රණය. ඒත් සැබෑ කුමන්ත්‍රණය හා කුමන්ත්‍රන කරැවන් හදුනා නොගෙන බොරැ කුමන්ත්‍රණ ගැන නන්දෙඩවීමේ ප්‍රතිඵලයක් ලෙස අකාලයේ මියැදෙන්නේ අපේ රටේම මිනිස්සුම තමා. මහ කලුගල් පර්වත එක්ක හැප්පිල දිනපු, වැව් අමුණු බැදල සමකාලීන ඉංජිනේරැ තාක්ෂණයේ පතාක යෝධයින් වුණු මුතන් මිත්තන්ගේ වර්තමාන පරපුරේ කෙනෙකුට සිමෙන්ති කොට්ටයක් කෙසේ වෙතතත් කිලෝ පහේ හාල් බෑග් එකක් අරන් මීටර් සියයක් දුර පයින් යන්නවත් බෑ. කොළඹ හතේ බොරැ සිංහලයන්ට කෙසේ වෙතත් ඇඹිලිපිටියෙ අමරදාස අයියටත් උදේට හවසට බොන්න කියල ඉස්පිරිතාලෙන් දෙන පෙත්ත නොබිව්වොත් එක්කො හතිය- නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර්. ඇයි අපිට එහෙම වුණේ කියල හිතන්න තියෙන ඉස්පාසුවෙත් රෑපවාහිනිය ඉස්සරහ ඉදගෙන ඉදල නින්දට යන නිර්වින්දිත සමාජයක් යහ මගට ගන්න එක හරි අමාරැ වැඩක්.

හිතන්න. වල් බිහිවුණු මොලේ රැල් බුරැල් ඇරල අලුත් විදියට හිතන්න. අපේ ජාන විකෘති කරල අපිව ලෙඩ්ඩු කරන , කෑම වේලටත් වෙළෙන්දාගේ ප්‍රචාරණයට රැවටෙන ජාතියක් විදියට අවමන් ලබන්නේ නැතිව අභිමානවත්ව හිතල කැලේ කොලේ වැවෙන අපේ එළවලු පළතුරැ කොළ ජාති, අල ජාති වලට ආපහු යොමුවෙමු.ගෙවත්තේ වවා ගන්න බැරි නම් සතියකට සැරයක් ගමේ පොළට ගොඩවෙලා මල්ලක් පිරෙන්න එළවලු පළතුරැ කොළ ජාති, අල ජාති ගෙදර ගෙනියන පාරිභෝගික රටාවකට හුරැවෙමු.