වෙදහාමිනේට මාරුවක් - බ්ලොග් ලිවීමට කොමාවක්!


අවසානයට පෝස්ට් එකක් දාලා මාසයකටත් කිට්ටුයි. ඒත් මේ දිනවල අලුත් ලිපියක් ලියන්න තරම් ඉස්පාසුවක් වෙදහාමිනේට නෑ.මොකද කියනවනම් ‍වෙදහාමිනේලාගේ ව්‍යාපාර කටයුතු කොළඹින් ටිකක් විතර (ඇත්තටම නම් ගොඩක්) දුරට ගෙනියන්න සිද්ධ වෙලා තියෙනවා.මොකද වෙදහාමිනේට ස්ථාන මාරුවක් ලැබුණු නිසා.ස්ථාන මාරුව ලැබිල තියෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේට.හරියටම කිව්වොත් සිව්වෙනි ඊලාම් යුද්ධය ආරම්භ වෙච්ච මාවිල්ආරු සොරොව්වට බොහොම කිට්ටු තැනකට.අලුතෙන් ජනපදකරණය වෙන නැගෙනහිර පළාතේ සිංහල,දෙමළ, මුස්ලිම් ජනතාව වෙනුවෙන් සේවය කරන්නට වෙදහාමිනේ බොහොම කැමැත්තෙන් ඉන්න නිසා මේ පත්වීම බාරගත්තේ සතුටින්.මේ දවස් වල වෙදහාමිනේ ඇතුලු පවුලේ උදවිය ඒ වැඩ වලට මහන්සි වෙන නිසා වැඩ ගොඩ ගැහිල.ඊළඟ ප්‍රශ්ණය එහෙට ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් එහෙම තියෙයිද දන්නෙ නැති එකයි.කොහොම වෙතත්
සියලු වැඩකටයුතු නැවත සංවිධානය කරල ජූනි 20දාගෙන් පස්සෙ ආපහු බ්ලොග් එක ලියන්න තමයි වෙදහාමිනේගේ බලාපොරොත්තුව.එහෙනම් රටේ ඈත කෙලවරේ සිට ලියැවෙන බ්ලොග් ලිපියකින් හමුවෙමු.

Email - nagarjunaherble@gmail.com

තැපෑලෙන් පිහිනනවාට වඩා තැපෑලෙන් බෙහෙත් කිරීම අනතුරුදායකයි!


මේ වෙනකොට වෙදහාමිනේගේ අඩවියට ගොඩවෙන අපේ සහෘදයන් කිහිප දෙනෙක්ම වෛද්‍ය ප්‍රතිකාර නියම කිරීම සඳහා අඩවිය තුළ ඉඩකඩ වෙන්කරන්න කියලා ඉල්ලීම් කරල තිබුණා.දැනටත් එලෙස ආයුර්වේද ප්‍රතිකාර නියම කරන බ්ලොග් හා වෙබ් අඩවි පවතින බව සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරණ ඔබත් හොඳින්ම දන්නවා ඇති.මේ නිසා ආයුර්වේදයේ ප්‍රතිකාර නියම කිරීමේ සම්මත සිද්ධාන්ත ගැන පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් සිදු කිරීමයි මගේ අපේක්ෂාව.

නිවැරදි චිකිත්සා කර්මයක් (රෝගයකට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාදාමය)සිද්ධ වෙන්න නම් ප්‍රධානම කරුණු 4ක් එකිනෙකට සහ සම්බන්ධ විය යුතුයි.එනම්
01. රෝගියා
02. වෛද්‍යවරයා
03. ඖෂධ
04. උපස්ථායකයා මේ කරුණු හතරට කියන්නේ වෛද්‍යාදී චතුෂ්පාදය කියල. ඕක හරියට සමාන පාද හතරක් උඩ නොසෙල්වෙන මේස ලෑල්ලක් වගේ කියල තමයි ඉගැන්වීම් වල පැහැදිලි කරන්නේ.එක කකුලක් හරි සමාන නොවුණොත් මේසය ස්ථාවර නොවෙනවා වගේ මේ කරුණු හතර නිසිලෙස සම්බන්ධ නොවුණොත් රෝගය සුව වීමත් ස්ථීර නෑ.

පළමුවෙන්ම රෝගියාගේ පාර්ශවයෙන් රෝග ලක්ෂණ ප්‍රකාශ කිරීමක් සිදුවෙනවා.එහිදී රෝගයට අදාළ යැයි සිතන සියඵ කරුණු නොසඟවා වෛද්‍යවරයාට පැවසීම රෝගියාගේ පාර්ශවයෙන් සිදුවිය යුතුයි.පරණ කතාවකුත් තියෙනවා නීතිඥයාටත් වෛද්‍යවරයාටත් බොරුනොකිය යුතුමැයි කියල.මොකද නීතිඥයාට බොරු කීවොත් අඩි 6ක් උඩටත් වෛද්‍යවරයාට බොරු කීමෙන් අඩි 6ක් යටටත් යන්න සිදුවෙනවානෙ.එසේම රෝගියා වෛද්‍යවරයා කරා පැමිණිය යුත්තේ ඔහු කෙරේ පූර්ණ විශ්වාසයකින්.අදාළ වෛද්‍යවරයා කෙරෙහි යාමට යම් දෙගිඩියාවක් ඇත්නම් වෙනත් සුදුසු වෛද්‍යවරයෙකු සොයා යෑම නුවණට හුරුයි.
වෛද්‍ය වරයා විසින් රෝගියාව(ස්ත්‍රී පුරුෂ බව/වයස) හා රෝගී ලක්ෂණ බාහිරව හඳුනාගැනීම තමයි මුලින්ම සිදුවෙන්නෙ.එහිදී වෛද්‍යවරයා තමන්ගේ රෝගියාව සුව කිරීමට හැකියි යන විශ්වාසයෙන් ප්‍රතිකාර ඇරඹිය යුතුයි.යම් හෙයකින් තමන්ගේ ප්‍රතිකාර වලින් අදාළ රෝගියාව සුවපත් කළ නොහැකි නම් වෙනත් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් වෙත රෝගියාව යොමුකිරීමට වෛද්‍යවරයා ක්‍රියා කල යුතුයි.ප්‍රතිකාර කිරීම අරඹන්නේ නම් රෝගය හඳුනාගැනීම තමයි ප්‍රධාන දේ.අනිත් කාරණා තුනම තිබුණත් වෛද්‍යවරයා නිසි ලෙස රෝගය හඳුනා නොගෙන ප්‍රතිකාර නියම කළොත් චිකිත්සා කර්මය එතැනින්ම ඉවරයි.රෝගය නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර විනිශ්චය කිරීම සඳහා ෂඩ් විධ පරීක්ෂා ක්‍රම ගැන පැහැදිලි කෙරෙන්නේ මෙතෙන්දී.

01. දෘෂ්ඨි පරීක්ෂාව
02. ඝ්‍රාණ පරීක්ෂාව
03. ශ්‍රවණ පරීක්ෂාව
04. ජිහ්වා පරීක්ෂාව
05. ස්පර්ෂ පරීක්ෂාව
06. ප්‍රශ්ණ පරීක්ෂාව විදියට තමයි ෂඩ් විධ පරීක්ෂා ක්‍රම හැඳින්වෙන්නෙ.

දෘස්ඨි පරීක්ෂාවෙදි රෝගියාගේ බාහිර නිරීක්ෂණ අනුව රෝගය හඳුනාගැනීම සිදුකෙරෙනවා.එහිදී තැලුම්, තුවාල,කුෂ්ඨ, අර්ශස් ආදී දේවල් නිරීක්ෂණය කළ හැකියි.ඝ්‍රාණ පරීක්ෂාවෙදි වෙන්නේ වෛද්‍යවරයාගේ නාසයට දැනෙන දේ මඟින් රෝගියාව හඳුනා ගැනීම.උදාහරණයක් විදියට උණ රෝගියෙක් නම් වෛද්‍යවරයාට තමා අසලට පැමි‍ණීමේදීම උණ ට අදාල ගන්ධය දැනෙනවා.ඒවගේ සමහර පීනස් රෝග වලදිත්, බඩවැලේ හා අන්ත්‍ර රෝග වලදිත් රෝගියාගේ කටින් පිටවෙන ගන්ධය අනුව රෝගය වෙන්කරල හඳුනාගත හැකියි.සමහර වෙලාවට රෝගියාගේ මළ, මුත්‍රා, දහදිය ආදියත් මේ පරීක්ෂාවට භාජනය කෙරෙනවා.කණ ආශ්‍රිතව රෝග හඳුනාගැනීම ශ්‍රවණ පරීක්ෂාවට අයත්. රෝගියාගේ හෘද ශබ්ද,ගර්‍භණීන්ගේ භ්‍රෑණ ශබ්ද, හෘද කපාට වල ආබාධ, ගර්‍භ සංකූලතා හඳුනාගන්න මෙමඟින් පුලුවන් වෙනවා.අතීතයේදී බාහිරව කණට නොදැනෙන සියුම් ශබ්ද පරීක්ෂාව සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් විශේෂ උපකරණයක් භාවිතා කලා. එහි තාක්ෂණ දිගුවක් හැටියට තමයි අද භාවිතා වන වෙද නලාව (stethoscope) නිර්මාණය වෙලා තියෙන්නේ.(හැබැයි දැන් එය වෙද මහත්වරුන්ට අකැප දෙයක් හැටියටයි බොහෝ බටහිර වෛද්‍යවරු හිතාන ඉන්නෙ.)රෝග විනිශ්චයට දිව උපයෝගී කර ගැනීම වෙනුවට රැධිර,මළ,මුත්‍රා,සෙම ආදිය තාක්ෂණික ක්‍රම මඟින් පරීක්ෂාව තමයි වර්තමානයේදී සිදුවෙන්නෙ.ඒත් අතීතයේදී ජිහ්වා පරීක්ෂාව යටතේ මේවා දිව ගා බැලීමෙන් රෝග හඳුනා ගෙන තියෙනවා.රටේ රජතුමාගේ අදාළ ද්‍රව්‍ය දිවගා බලා වෙනසක් ඇත්නම් රාජකීය වෛද්‍යවරයාට වාර්තා කිරීම සඳහා වෙනමම පුද්ගලයෙක් ඉඳල තියෙනවා.ඊළඟට බොහෝම වැදගත් පරීක්ෂාව තමයි ස්පර්ශ පරීක්ෂාව.ගෙඩි, කුෂ්ඨ, කැඩුම් බිඳුම්,වාතරක්ත, උණ වගේ රෝග හඳුනාගැනීම සඳහා මේ ක්‍රමය යොදාගන්නවා.මේ සියඵ පරීක්ෂාවන් වලට අසු නොවුණු රෝගියාට පමණක් දැණෙන වෙනත් අපහසුතා (වේදනාවන්, දැවිලි, කැසීම්,හා රෝග මතුවුණු කාල සීමා ආදිය) ප්‍රශ්ණ පරීක්ෂාවේදි තහවුරු කර ගන්න පුඵවන්.මේ කාරණා වලට අමතරව දේශීය ආයුර්වේද වෛද්‍යවරයා තවත් හොඳම පරීක්ෂාවකට රෝගියාව ලක් කරනවා.ඒ තමයි නාඩි පරීක්ෂාව.පුද්ගලයකුගේ රුධිරයේ සංසරණ ක්‍රියාවලිය ට අදාල රටාවන් වල වෙනස්කම් අනුව රෝග නීර්ණය කිරීම මෙහිදී සිදු කෙරෙනවා.ඇතැම් විට ඉහත ෂඩ් විධ පරීක්ෂාවන්ට හසු නොවන රෝගියාද නොදන්නා නිදන්ගත රෝග තත්වයන් මෙහිදී හඳුනාගන්න පුඵවන්.මෙලෙස රෝගය නිසි ලෙස හඳුනාගත් පසු වැදගත්වන ඊළඟ කාරණය තමයි ඖෂධ.ඖෂධ නියම කිරීමේදි පිරිසිදු හා යෝග්‍ය ඖෂධ අදාල මාත්‍රාවට අනුව රෝගියාට නියම කළ යුතුයි. එසේම ඖෂධ භාවිතයේදී වැලකිය යුතු ක්‍රියාවන්, අපත්‍ය ආහාර , ඖෂධ භාවිතය නැවැත්වීමේ කාල සීමා ආදිය පැහැදිලිව සඳහන් කළ යුතුයි.
මුල් අංග තුන ගැන වාදයක් නැතත් සිව්වෙනි අංගය අනිවාර්ය වෙන්නෙ කොහොමද කියල සමහර විට ඔබට හිතාගන්න බැරිව ඇති.යමෙක් රෝගි වුණාම ඔහු කායිකවත් මානසිකවත් අබල දුබල වෙනවා.අසරණ වෙනවා.ඒ වගේ වෙලාවක අනිවාර්යෙන්ම දයාව, කරුණාව, ආදරය හා පිළිගැනීම රෝගියෙකුගේ මූලිකම අවශ්‍යතාවයන් වෙනවා.බෙහෙත් හේත් විතරක් ලැබිල මේ දේවල් නොලැබුණොත් සාර්ථක ප්‍රතිඵල ලබන්න බෑ.ඒ වගේම මේ දේවල් නොඅඩුව ලැබෙනව නම් සමහර රෝග බේත් නැතිවම සනීප වෙන්න පුඵවන්.බටහිර වෙදකමේදී මේ තැන ලැබෙන්නෙ හෙද හෙදියන්ට.ඒත් මේ අයගෙ වත්මන් හැසිරීම නිසා බොහෝ විට නිරෝගි වෙනවාට වඩා රෝගය දරුණු වන හෝ වෙනත් අවදානමක් දරාගන්නට වෙන අවස්ථාත් බොහොමයි.හැබැයි ආයුර්වේදෙදි උපස්ථායකයා හැටියට සැලකුවේ රෝගියාගේ ළඟම ඥාතියාව තමයි.

ඉතින් ඔය සඳහන් කරපු විදියට නිසි නියමයෙන් රෝගියෙකුට ප්‍රතිකාර කරන්න නම් ඔය සියඵ අංග ප්‍රායෝගිකව එකිනෙකා මුණ ගැසිය යුතුයි. බටහිර වෛද්‍ය ක්‍රමයෙදිත් ඔය කරුණු ඔය විදියම වෙන්න ඕන. මොකද බටහිර වෛද්‍ය විද්‍යාවෙත් රෝග පිළිබඳ හදාරන්නේ වසර දහස් ගණනකට පෙර සිට ආයුර්වේදයේ භාවිතා වෙන "ව්‍යාධි විණිර්ණය" කියන ඉන්දියාවේ ලියවුණු ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනයෙන්ම වීම.බටහිර වෛද්‍යවරු එහි ඉංග්‍රීසි පරිවර්තනයෙන් ඉගෙන ගනිද්දි ආයුර්වේද වෛද්‍යවරු එහි මුල් ග්‍රන්ථයෙන් තවමත් ඉගෙන ගන්නවා.හැබැයි බටහිර ක්‍රමයේ වෛද්‍ය සාරධර්ම කෙසේ වෙතත් තාක්ෂණය අතින් නම් ආයුර්වේද ක්‍රමයට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නා බව අපි පිළිගන්න ඕන.



දැන් අපි බලමු තැපෑලෙන් බෙහෙත් කිරීම ගැන.මුලින් මුලින් මේක තිබුණෙ බොහොමයක් දෙනා මල් පත්තර කියන තරුණ තරුණියන් ඉලක්ක කරගත්ත පත්තරවල. කවුරු හරි කෙනෙක් තමනගෙ අසනීප ගැන ආරූඪ නමකින් හෝ නිර්ණාමිකව තැපැල් පතක ලියල එවන වෛද්‍ය ගැටඵ වලට ප්‍රතිකාර පුවත්පත කියවන සෑම කෙනෙකුටම බලාගත හැකිවෙන පරිදි වෙනම තීරුවක පළ කිරීම තමයි මෙහිදී සිදුවෙන්නෙ.මේ තැපැල් පත එවල මාසයකට දෙකකට පස්සෙ තමයි මේක පුවත්පතේ පල වෙන්නේ.එතකොට සමහර විට අදාළ ලෙඩේ උත්සන්න වෙලා. නැත්නම් රෝගියා මුදල් ගෙවල බෙහෙත් අරන් සනීප වෙලා.එතකොට බොහෝ දුරට වෙන්නේ අදාළ පැනයේ සඳහන් රෝග ලක්ෂණ තියෙන වෙනත් පාඨකයෙක් අදාළ බෙහෙත් මිළදී ගෙන පාවිච්චි කිරීමයි.මීට වඩා ඉක්මන් ක්‍රමයක් විදියට දැන් දැන් වෙබ් අඩවි වලත්, ගුවන් විදුලි නාලිකා වලත් මේ ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනව. අපේ රටේ නොවුණත් මීට වඩා ප්‍රායෝගික ක්‍රමයක් දැන් තියෙනවා ටෙලි මෙඩිසින් කියල.පහත තියෙන්නේ මේ විදියට "අපේ රටේ දේ හැමටම වඩා වටිනා" බව තේමාව කරගත් එක් බ්ලොග් අඩවියක පළවු පැනයක් හා එහි පිළිතුර.(මෙම පැණය එවූ කෙනාගේ නම පළවී නොතිබූ අතර ප්‍රතිකාර නියම කළ ආයුර්වේද වෛද්‍යවරයාගේ නම වෙදහාමිනේ විසින් ඉවත් කළ බව සලකන්න.)
රෝගය * මසකට වරක් දෙවරක් සෙම්ප්‍රතිශ්‍යාව වැළදේ.උදේ කාලයේ සෙම් ගතිය අධික වේ. සෙම පිටවූ කල්හි මදක් සහනය දැනේ. ආශ්වාස කරන විට පපුවේ ශබ්ධයක් ඇතිවේ.ශරීරයද ක්‍රමයෙන් කෙට්ටු වන බව පෙනේ.
ප්‍රතිකාරය * ඔබ මෑතකදී විරේකයක් නොකලේ නම් විරේකයක් සදහා කිපියාවු සෙම් බැහැර කිරීම සදහාත් බටු දලු,ආඩතෝඩා දලු, නික දලු, කිරිඅගුන දලු ටික ටික ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා පෙරා බුද්ධරාජ, යෂ්ටි කල්ක එක් වර්ගයෙන් මදටිය ඇටයක ප්‍රමාණය මිශ්‍රකොට මීපැණී දමා උදේ හිස්බඩේ බොන්න. උදේට කැදවතුර , දවල්ට තැම්බුම් හොදි සමග බත් කන්න.ඉන්පසු උදේ සවස කොල්ලු , බෙලිමුල් , අරළු , බුලු , නෙල්ලි, වියලි ඉගුරැ , ගම්මිරිස් , තිප්පිලි , කලුදුරැ , සූදුරැ , අසමෝදගම් , සිවිය මුල් කලද බැගින් ගෙන වතුර පත අට පතට සිදුවා පෙරා සීනි මීපැණි දමා දෙවේල බැගින් පත හයක් බොන්න.ඉන්පසු උදේ සවස කට්ඵලාදී චුර්ණය සහ ශෘංග්‍යාදී චූර්ණය සමසේ මිශ්‍රකොට වරකට තේහැදි දෙකක ප්‍රමාණය නටන වතුරට දමා තැම්බෙන්න වසා තබා නිවුනාම පෙරා සීනිදමා බොන්න.දවල්ට රෑට කෑමට පෙර ද්‍රාක්ෂෘරිෂ්ට මේසහැදි දෙක බැගින් බොන්න. පාඨා තෛලය හිසේ ගාන්න. නාසයට උරා සෙම බැහැර කරන්න. පිනිබෑම , නිදිමරීම , තද අව්වේ සිටීම අගුනයි.

මේ ප්‍රශ්ණෙදි පළවෙනියෙන්ම රෝගය වැළඳී ඇත්තාගේ වයස හා ලිංගිකත්වය පැහැදිලි නෑ.තරුණ වයසෙ අයෙකුට නියම කරන බේත් මහල්ලෙකුට යෙදුවොත් එතැන ප්‍රශ්ණයක්.ස්ත්‍රී පක්ෂයේ අයෙකුට කිසියම් හෝ පෞද්ගලික කාරණා පවතී නම් ඒවා සලකා නොබලා සමහර බෙහෙත් නියම කළ නොහැකියි.ඊළඟට සෙම්ප්‍රතිශ්‍යාව නිතර වැළඳීමට හේතුව හිතාගන්න බෑ. මොහු කම්කරුවෙක් නම් නිතර දූවිලි වලට මුහුණ දෙන කෙනෙක්නම් කොතරම් ප්‍රතිකාර කළත් පලක් නෑ රෝගයෙන් වැළකීමට පෙර උපදෙස් ලබා නොදී.සමහරවිට රෝගියා කඳුකරයේ පදිංචි අයෙක් නම් නිතරම පින්නට හිරිපොදට විවර වෙන අයෙක් නම් ලබාදිය යුතු ඖෂධ හා නියමයන් වෙනස්.මේ මොනවත් නොවී වැරදි ආහාර හෝ විහරණ රෝගයට හේතුවක් වෙන්නත් පුඵවන්.ඔහු මීට පෙර ප්‍රතිකාර ලබාගත්- එහෙත් සුව නොවූ අයෙක්ද යන්න පැහැදිලි නෑ.ඒවගේම වෙනත් නිදන්ගත හෝ ජානමය රෝග වලට ගොදුරු වී සිටි හෝ සිටින අයෙක්ද යන්න පැහැදිලි නෑ.( උදාහරණ - දියවැඩියාව, ඇදුම, රූමටික් උණ, කහඋණ ආදිය)ඇදුම හතිය ඇති අයෙකුට හෝ පරම්පරාවේ එවැනි රෝග වැළඳුනු අය සිටින විට බටු දඵ හා ආඩතෝඩා අඵ යොදාගැනීමෙන් වෙන සෙම බුරුල් වීම අනතුරුදායක වෙන්න පුඵවන්.ඒ සමඟ යෙදෙන අනෙක් ඖෂධ පරිපූරක වලට (නිකදඵ, කිරිඅගුණ දඵ, ද්‍රාක්ෂා හා ශෘංග්‍යාදී චූර්ණය)එවැනි තත්වයක් වළක්වාලීමේ ප්‍රබල හැකියාවක් නෑ. අනෙක එවන් තත්වයක් ඇතිවුණොත් ඊළඟ ඊමේල් එකට පිළිතුරු එනකම් හිටියොත් කොහොම වෙයිද? මොකද රෝගියාගේ ඔරොත්තු දීමේ හැකියාව, නාඩි පරීක්ෂාව ආදිය නොකරණ නිසා බෙහෙත් පත්තියම් වීමේ ප්‍රතිශතය වෛද්‍යවරයාට මෙ‍හිදී හඳුනාගන්න බැහැ.

ඒ වගේම තමයි මේ රෝගියා අපේ සමාජයේ බොහෝ දෙනා අද පෙලෙන ගැස්ට්‍රයිටීස් තත්වයෙන් පෙළෙන අයෙක් නම්- වකුගඩු හෝ අක්මා ආබාධයකට ලක්වූ අයෙක් නම් (සමහරවිට රෝගියා ඒ පිළිබඳව නොදැන හිටියත් නාඩි පරීක්ෂාවේදී වෛද්‍යවරයා එය අවබෝධ කර ගන්නවා.)තනුක නොකර අරිෂ්ඨ ආසව භාවිතයට නියම කිරීම මඟින් අදාළ රෝග උත්සන්න විය හැකියි.ඒ නිසා එවන් රෝග ඇත්නම් ක්වාත වර්ග නියම කිරීමයි කළ යුත්තේ. හැබැයි ක්වාත දරන්න බැරි තරම් මිළෙන් ඉහළයි. නමුත් වෛද්‍යවරයා හමුවට යන රෝගියා තැපෑලෙන් බෙහෙත් ගන්න රෝගියා වගේ බෝතලයක්ම වෙළඳපොලෙන් ලබාගත යුතු නෑ. අවශ්‍ය ප්‍රමාණය වෛද්‍යවරයා විසින් බෝතලයට දමා දීම සිදු කරනවා. දැන් මෙහිදී වුණත් නියම කර ඇති අරිෂ්ඨය සම්පූර්ණ බෝතලයක්මත්, චූර්ණය ග්‍රෑම් සියයක්වත් කල්කය ග්‍රෑම් පනහක්වත් වන ලෙස අදාල රෝගියා මිළට ගත යුතුයි.මොකද බෙහෙත් බඩු කඩවල මේවා කෂාය වගේ කිරල විකුණන්නේ නෑ. ඒ ටිකටම රුපියල් දාහකට වැඩි මුදලක් වැය වෙනවා. කෂායත් එකතු වුණාම එක්දහස් පන්සීයක් වෙනවා නියතයි. තමන් වෛද්‍යවරයෙක් ගාවට ගියානම් බෙහෙත් අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලබාදෙන නිසා රුපියල් තුනසීයකින් පමණ මේ සියල්ල සම්පූර්ණ කර ගතහැකියි.

අපි හිතමු මේ රෝගියා වෙනත් රෝග නැති නිරෝගී අයෙක් කියල.ඔහුට නියම කරන අරිෂ්ඨය දිනකට මේස හැන්දක් බැගින් භාවිතා කරන්න කියල තියෙන නිසා ඔහුට මෙය දින හැත්තෑ පහක් භාවිතා කරන්න පුඵවන්.අදාළ රෝගියා හිතුවොත් "බෙහෙත් නිසා මේක දිගටම බිව්වොත් කමක් නෑ" කියල මොකද වෙන්නේ? රෝගයකට අදාළව ඖෂධයක් වීමෙන් අමතරව අරිෂ්ඨයෙන් වෙන්නේ අපේ ස්නායු අන්ත උත්තේජණය කිරීම.ඒකෙන් වෙන්නෙ අනෙක් ඖෂධ ටික රෝගියාගේ ශරීරයට උරාගැනීම පහසු කිරීම. මේක දිගින් දිගටම බිව්වොත් ඒක උත්තේජනයක් හැටියට ක්‍රියා නොකර ආහාරයක් හැටියට ශරීරයට යොදාගන්නවා. එමගින් වෙන්නෙ ස්නායු දුර්වල වීමේ ආරම්භය සනිටුහන් වීම. ඒවගේම යම් ප්‍රමාණයකට ඇල්කොහොල් ප්‍රතිශතයක් පැවැතීම මඟින් මෙයට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයකුත් රෝගියාට නොදැනීම ඇතිවෙන්න පුඵවන්.එවිට වෙන්නෙ රෝගියා දිගින් දිගටම අරිෂ්ඨ භාවිතයට යොමුවීම මෙය අවුරුද්දක් විතර දුර ගියොත් සිරෝසිස් වගේ රෝගයක් හැදෙන්නත් ඉඩ තියෙනවා. මොකද වෛද්‍යවරයා බෙහෙත් ටික දෙනවට වඩා වැඩි නිදහසකින් කඩෙන් අරිෂ්ඨ ගන්න හුරුවීමෙන් බෙහෙත් කෙරෙහි රෝගියාගේ තියෙන බය නැතිවීමත්, පාලනයට යමෙක් නොසිටීමත් නිසා මේ දේවල් මෙහෙම වෙලා රෝගී වූවන් බොහොම දෙනෙක්ට අපි අවසානයේ ප්‍රතිකාර කරල තියෙනවා.

බැරිවෙලාවත් මෙය දකින රෝගියා නොවන වෙනත් මෙවැනිම ලක්ෂණ ඇති රෝගියෙක් මෙය කියවා ප්‍රතිකාර අනුගමනය කළොත් මොනවා වෙයිද? අවසානයේ මේ සියඵම දෙනා තමන්ගේ අනුවණ යොමුවීම් වල අවධානම් ප්‍රථිඵල හමුවේ දෝශාරෝපණය කරන්නේ "ආයුර්වේදය"ට. "අපි ආයුර්වේද ප්‍රතිකාර කලා. සුව වුණේ නෑ." "මගේ සෙමත් ඇවිස්සිලා -පපුවෙ අමාරුවත් හැදුණා" වගේ දේවල් හන්දියක් හන්දියක් ගානේ කියමින් යන බොහෝ දෙනා එක්කො නිසි ක්‍රමයට ප්‍රතිකාර අරන් නෑ.නැත්නම් නිවරදිව වෛද්‍යවරයෙක් වෙත යොමු වී ප්‍රතිකාර අරන් නෑ.කොහොම වුණත් තමන්ගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්නට අත්හදා බැලීම් කරන්නට යාම රෝගියෙක් හැටියට ඔබටත්,වෘත්තීය ආචාර ධර්ම වලින් බැහැරව එවන් ප්‍රතිකාර වලට යොමුවීම ආයුර්වේදයේ උන්නතියම නිති ප්‍රාර්ථනා කරන මට වෛද්‍යවරියක හැටියටත් යෝග්‍ය නෑ.තමන්ගේ ශරීරය පෙලන රෝගයක් වෙනුවෙන් තෝරා ගත් දිනයක පැය දෙක තුනක් වෙන්කරල බෙහෙතක් ගන්න යන්න මැලි වෙන්න එපා.ඒවගේම පත්තර වල එක එක ලෙඩ ප්‍රාතිහාර්යයයෙන් සනීප කරනවාය කියල දැන්වීම් දාන,තමන්ගේ රෝගීන් මේ මේ අයයැයි කියමින් වෘත්තීය ආචාර ධර්ම කෙලෙසන කිසිම කෙනෙක් සැබෑ ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස පිළිගන්න එපා.මොකද අපිට හැදෙන කිසිම අසනීපයක් දවසෙන් දෙකෙන් ප්‍රාතිහාර්ය වලින් සනීප කරන්න කිසිම වෛද්‍යවරයෙකුට බෑ. මෙම ලිපියේ මුලින් සඳහන් කල සියඵ කාරණා සලකා බලා කරන සුදුසු ප්‍රතිකාර නියම කිරීමෙන් හා ඒවා පිළිපැදීමෙන් පමණයි ඕනෑම රෝගයක් සුව කළහැක්කේ.මෙය කියවන තරුණ වයසේ පසුවන අපේ අනාගත පරපුරේ ඇත්තන් හෝ සත්‍යය අවබෝධ කොට ගෙන නිරෝගී සුවය පරිපූර්ණව විඳගන්නට යොමුවන්නේ නම් එය හෙලවෙදගෙදර අපිට සතුටකි.


Email - nagarjunaherble@gmail.com

ආයුර්වේදයේදී ප්‍රතිකාර කරන්නේ රෝග නිධානයටයි.නැතිව රෝග ලක්ෂණ වලට නොවේ.


අද බටහිර වෛද්‍ය ප්‍රතිකාර පතන බොහෝදෙනා ආඩම්බරයෙන් කතා කරන්නේ තමන් උපදෙස් ගන්න විශේෂඥ වෛද්‍ය වරැන්ගෙ වගතුග.එහෙම විශේෂයෙන් කතා නොවුණත් ආයුර්වේදයත් සැබෑවටම අංශ ගණනාවක් ඔස්සේ වෙන වෙනම ප්‍රභේද ගත වී තිබෙනවා. රෝගියෙකු නොවී නිරෝගීව සිටීමේ වැදගත් කම සැමවිටම අපේක්ෂා කළ ආයුර්වේදයේ ප්‍රභේද අටක් තියෙනවා. මේක " අශ්ඨාංග ආයුර්වේදය" කියල තමයි හඳුන්වන්නෙ.ඒවා මොනවද කියල නම් කරනවනම්,

01. කාය චිකිත්සාව
02. කෞමාර චිකිත්සාව
03. ශල්‍ය චිකිත්සාව
04. ශාලාක්‍ය චිකිත්සාව
05. භූත චිකිත්සාව
06. අගද චිකිත්සාව
07. රසායන චිකිත්සාව
08. වාජීකරණ චිකිත්සාව

ඇලොපති එහෙමත් නැත්නම් බටහිර වෛද්‍ය විද්‍යාව මේ වගේ විවිධාංගීකරණයක් ගැන නොහිතපු අවුරැදු දහස් ගණනකට පෙර කාලයේ සිටම මෙම විවිධාංගීකරණය ආයුර්වේදයේ නම් පැවතුණා.උදාහරණයක් විදියට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් මෑත කාලීනව හඳුනාගත් ඒඩ්ස් රෝගය ගැන ආයුර්වේදයේ කාය චිකිත්සා ග්‍රන්ථ වල වැරදි චර්යාවන් නිසා ඇතිවන පිරංග රෝග (සමාජ රෝග) කොටස යටතේ සාකච්ඡා කෙරෙනවා.ඒ වගේම පාරම්පරික පර්යේෂණ මගින් ලබාගත් දැනුම භාවිතා කරමින් මෙවැනි සුව කළ නොහැකියැයි සම්මත රෝග වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරැන් කීපදෙනෙක් අදටත් මෙරට ජීවත් වෙනවා.ඊළගට මේ ළඟකදි මහත් ආන්දෝලනයක් ඇතිවුණු,චිකන්ගුණ්‍යා කියන උණ රෝගය ගැනත් අපේ කාය චිකිත්සා ග්‍රන්ථ වල ජ්වර(උණ) රෝග යටතේ සාකච්ඡා වෙනවා.බටහිර වෛද්‍ය ක්‍රමයෙන් මෙම රෝගයට ප්‍රතිකාර ගෙන උණ රෝගයෙන් සුවපත් වුණු බොහෝ දෙනෙකු වසරකට දෙකකට පසුවත් අද වනතුරැත් අඛණ්ඩව හන්දිපත් අමාරැවෙන්, වෙනත් අතුරැ ආබාධ වලින් පීඩා විඳිනවා.එහෙත් ආයුර්වේද ක්‍රමයෙන් අදාළ රෝගයට ප්‍රතිකාර පැතූ කිසිවෙකුට එවැනි අතුරැ ආබාධ වැළඳී නැහැ.

අපි අෂ්ඨාංග ආයුර්වේදයේ පළමු ප්‍රභේදය වන කාය චිකිත්සාව ගැන කතා කළොත් එහි විස්තර වන්නේ සාමාන්‍යයෙන් නිතර අපට වැළදෙන කායික රෝග ගැන.ඒ කියන්නේ මධුමේහය,අතිරක්තචාපය(අධි රැධිර පීඩනය), උණ, අතීසාරය, ග්‍රහණි, අර්ශස්, වගේ රෝග වල නිධාන, ප්‍රතිකාර හා අදාල රෝග වලින් වැලැකීමේ ක්‍රම ගැනයි.

කෞමාර චිකිත්සාව කියල කිව්වේ අවුරැදු 16ට අඩු ළමයින්ගේ රෝග ගැන සදහන් කොටසට.සාමාන්‍ය වැඩිහිටියෙකුට වඩා නොවැඩුණු දරැවෙකුට ප්‍රතිකාර කිරීම සැලකිල්ලෙන්ම කළ යුතු වැඩක්. ඒවගේම දරැවන්ට රෝග සඳහා වගේම ඒවට කරන ප්‍රතිකාරත් දරාගැනීමේ හැකියාව අඩුයි.ඒ නිසා ඔවුන්ට ලබාදෙන්නේ සියුම් හා මෘදු ඖෂධ වර්ග.ඒවගේම නැවුම් හා මධුර රසයෙන් යුත් ප්‍රතිශක්තිය වැඩිකරවන ඔසු වර්ගත් දරැවන් වෙනුවෙන්ම වට්ටෝරැ කරල තියෙනවා."රත කල්කය" කියන්නෙත් දැන් දෙන නොයෙක් ජාති එන්නත් වලට වඩා පහසුවෙන් දරැවන්ට රැකවරණය සලසන ප්‍රතිශක්තිකරණ බෙහෙතක්. ඔය එන්නත් විශ වෙලා
ළමයි මැරැණත් කවදාවත් රත කල්කය බීලා ළමයෙක් මැරැණා කියල අහල නෑ නේද?

ශල්‍ය චිකිත්සාව කියන්නේ ආයුර්වේදයේ ශල්‍යකර්ම ක්‍රමවේද ගැන සඳහන් වන කොටස.හැබැයි බටහිර වෛද්‍ය ක්‍රමය ප්‍රධාන වෛද්‍ය ක්‍රමය ව‍ශයෙන් පිළිගත්ත අපේ රටේ ශල්‍යකර්ම කිරීම දේශිය වෛද්‍යවරැන්ට තහනම් කරල නීති පනවලා තමයි තියෙන්නේ.අද වෙනකොට භාවිතයෙන් වගේම ඒ ගැන කෙරෙන අනාගත පර්යේෂණ පවා නවත්වලා තිබුණත් අපේ ශරීරයේ අනවශ්‍ය අවයව ඉවත් කිරීමේ සාර්ථක ශල්‍ය කර්ම සීතාවක යුගය දක්වාත් කෙරැණු බවට සාකෂ්‍ය ඕනෑ තරම්.අද තරම් පහසුකම් නොතිබුණු එදා ශල්‍යකර්ම සඳහා ප්‍රධාන උපාංගය වුණේ වෛද්‍යවරයාගේ අත.ඊළගට සුචි හා සූත්‍ර ,ඒෂණී යන්ත්‍ර,ශලාකා වගේ උපකරණත් කැපුම් තලත් භාවිතා කෙරැණා.අදටත් බටහිර බෙහෙතෙන් සාර්ථකව සුවකළ නොහැකි උඩුදුවා ගිය භගන්දර (fistrla in ano), අර්ශස් තත්වයන්ට සුලු ශල්‍යකර්ම සුචි හා සූත්‍ර භාවිතයෙන් ආයුර්වේද රෝහල් වලදී සීමිත වශයෙන් සිදුකෙරෙනවා.පිළිකා හා වකුගඩු රෝගත් මේ කොටසට අයත්.

ආයුර්වේදයේදී ශරීරයේ උත්තමාංගය විදියට හඳුන්වන හිසේ හා ඒ හා සම්බන්ධ ඇස්, කන්, නාසා, දිව ආශ්‍රිත රෝග, ඒවාට ප්‍රතිකාර හා අදාළ රෝග වළින් වැලකීමේ මාර්ගය ගැන සඳහන් වෙන්නේ ශාලාක්‍ය චිකිත්සාවේදියි.මේ කොටසෙදි තමයි ශරීරයේ සංවේදීම අවයව ගැන අවධානය යොමුවෙන්නේ. උදාහරණයක් විදියට ඇසේ රෝග සඳහා නියම කරන සමහර බෙහෙත් භාවිතයට පෙර දහස් වාරයක් පෙරා ගත යුතු බවයි පොතේ පතේ දැක්වෙන්නේ.

අද සමාජයේ ගැරහුමට ලක්වෙන ගණයේ රෝගයන් වන මානසික රෝග තත්වයන් උදෙසාද ප්‍රතිකාර ආයුර්වේදයේ භූත චිකිත්සා කොටසෙදි සාකච්ඡා වෙනවා.මෙහිදී ප්‍රතිකාර කොටස් තුනක් භාවිතා කෙරැණා. පළමුවැන්න ඖෂධ හා නිල වෙදකම,දෙවනුවභාවනා- ව්‍යායාම- සංගීතයවගේ දේවල්, තෙවනුව බලි තොවිල් ශාන්ති කර්ම ආදිය.(වෙදහාමිනේ ටෙලිනාට්‍යය බැලුවනම් මානසික රෝගින්ට එදා බෙහෙත් කල හැටි ගැන යම් අවබෝධයක් ලැබේවි.)නමුත් අද දවසෙදි ආයුර්වේදයේ සඳහන් සම්පූර්ණ ප්‍රතිකාර පද්ධතියටම සම්බන්ධ නොවී එහි තුන්වෙනි කොටසට පමණක් යොමුවීමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟාකරගන්නට උත්සහ දරණ රෝගීන්ගේ භාරකරැවන් නිසා රෝග උත්සන්න වන අවස්ථා එමටයි.

අගද චිකිත්සා කොටසින් සාකච්ඡා කරන්නේ විෂ ශරීර ගත වීමේදී කරන ප්‍රතිකාර පිළීබඳව.අපට ශරීර ගතවන විෂ කොටස් දෙකක් තියෙනවා. ඒ ස්ථාවර හා ජංගම විෂ වශයෙන්. විෂ සහිත යම් ද්‍රව්‍යයක් ස්පර්ශයෙන් හෝ ගිලීමෙන් ඇතිවන විෂ ස්ථාවර විෂ. සර්පයන්, බල්ලන් හා බළලුන් වැනි සතුන් දශ්ඨනයෙන්- සපාකෑමෙන් ඇතිවන විෂ ජංගම විෂ. විෂ චිකිත්සාව සඳහා ප්‍රතිකාර කිරීමේදී විෂෙහි ස්වභාවය හා විෂ ශරීර ගත වීමේ ක්‍රම අඳනාගැනීමට දූත පරීක්ෂාව වගේ සාමාන්‍ය අයෙකුට වටහා ගත නොහැකි ගුප්ත ක්‍රමත් භාවිතා කිරීමට වෛද්‍ය වරැන් අනිවාර්යයෙන් සමත්.තවමත් විෂ ශරීර ගතවීමට බටහිර ක්‍රමයෙදි යොදා ගන්නේ ප්‍රතිවිෂ එන්සෛම එන්නත් කිරීමේ ක්‍රමය. නමුත් ආයුර්වේද ක්‍රමයෙදි ඊට වඩා සූක්ෂමව ශරීරයේ විෂ ඉවත්කිරීමේ ක්‍රමයක් තමයි භාවිතා වෙන්නේ. ඒ ක්‍රමයෙදි අතුරැ ආබාධ වලට කොහෙත්ම ඉඩක් ඇත්තෙ නෑ.

රසායන චිකිත්සාවෙදි සාකච්ඡා වුණේ රෝගියෙකුගේ හෝ රෝගී බවින් මිදුණු පුද්ගලයෙකුගේ ශරීර යෝග්‍යතාවය ආරක්ෂා කරන්න යොදන ප්‍රතිකර්ම පිලීබඳවයි.මිනිසාගේ ශරීරයෙන් විවිධ හේතු මත පිරිහෙන බලය වර්ධනය කිරීමට තමයි රසායන චිකිත්සාව යොදාගත්තෙ. මේක සමාන කරන්න පුලුවන් අද දවසෙ විටමින් වර්ග නියම කිරීමේ ක්‍රියාවලියට තමයි.

අවසානයට කථාකරන වාජීකරණ චිකිත්සාවෙදි සාකච්ඡා වුණේ සමාජයේ විවාතව කථා නොකරණ මිනිසාගේ ලිංගික ක්‍රියාවලිය ආශ්‍රිත රෝග හා අඩුලුහුඩුකම් පිළිබඳව.ස්ත්‍රී පුරැෂ බේදයෙන් තොරව දෙපක්ෂයේම දුර්වලතා සඳහා අවශ්‍ය වුණු ප්‍රතිකාර සාර්ථකව අවශ්‍ය අපේක්ෂාවන් ඉටුකිරීමට සමත්වුණා. අද දවසෙ වැහි වැහැල තියෙන විවිධ පෙති වර්ග , ගුලි වර්ග වලින් කෙරෙන්නෙ රෝගය සාර්ථකව මැඩලීම වෙනුවට තාවකාලිකව සුවයක් ලබාදී දිගුකාලීනව රෝගය උත්සන්න කිරීමයි.තමන්ගෙම දරැ පැටියෙක් බලාපොරොත්තුවෙන් රැපියල් ලක්ෂ ගණන් වියදම් කරල කරන්න නියම කරන කලල බද්ධයක් වෙනුවට කසාය වඩි කිපයකින් අවශ්‍යතාවය ඉෂ්ඨ කරල දෙන ආයුර්වේද වෛද්‍යවරැන් තවමත් රටේ හිඟ නෑ.

දැන් ඔබම හිතල බලන්න අෂ්ඨාංග ආයුර්වේදයේ සියලු කරැණු සලකා බැලුවාම මොනවා හරි කේෂ්ත්‍රයක් ගැන ආයුර්වේද ක්‍රමයේදී සාකච්ඡා නොවී තියෙනවාද කියල ? මම හිතන විදියට අද අපේ රටේ බොහෝ දෙනා පීඩා විඳින රෝග සියල්ලටම ප්‍රතිකාර හෝ පිලීවෙත් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා.හැබැයි ඔරලෝසුවේ තත්පර කටුවට වඩා හයියෙන් දුවන්න යන මේ තරඟකාරී සමාජයේ නීවි සැනසිල්ලෙ ආයුර්වේද ප්‍රතිකාර කරල ලෙඩේ සම්පූර්ණයෙන් සුව කර ගන්නවා වෙනුවට අපේ බොහෝ දෙනෙක් කරන්නේ පෙත්තක් ගිලල, කරලක් බීල රෝග ලක්ෂන විතරක් නැති කරල දාගන්න එක.ආයුර්වේදයේ අපි බෙහෙත් කරන්නේ රෝගයේ නිධානයට මිසක් රෝගයේ ලක්ෂණ යටපත් කරල දාන්න නෙවෙයි.ඒ විදියට කරද්දි ටිකක් කල් ගතවෙනවා තමයි. හැබැයි ආපහු රෝගය උත්සන්න වීමේ අවධානමක් හෝ අතුරැ ආබාධ මතුවීමේ ඉඩක් ඒ තුළ නැහැ.

හැමදාම තෙල් ජෙල් ගාපු හිසට අවුරැද්දටම එක සැරයක් නැකතට තෙල් ගාමුද?


සිංහල හින්දු අලුත් අවුරැද්ද ඉවරයි. නැකැත්, චාරිත්‍ර වාරිත්‍ර, නෑදෑ හිතමිතුරන් අතරෙ ගෙවුනු සුන්දර දින කිහිපය නිමා වෙලා ආයෙමත් සුපුරැදු යාන්ත්‍රික ජීවන රටාවට අවතීර්ණ වෙන්න බොහෝ දෙනෙකුට සිදුවෙලා. ජ්‍යොතිෂය, ආයුර්වේදය හා බුදු දහම කියන අග්නිදිග ආසියාවේ විශිෂ්ඨතම ප්‍රායෝගික දර්ශනයන්වල අපූරැ සංකලනයන් සමග සොබාදහමත් එකතු පහදු කරගෙන පවත්වන සූර්ය මංගල්ලය කාල, බීල, නටල විනෝදවෙන්න යොදා ගත්ත අවස්ථාවක් ‍නොවෙයි.(කාල, බීල, නටල විනෝදවෙන්න අපේ පැරැන්නන් භාවිතා කළේ කාර්තික උළෙල- ඒක යෙදෙන්නෙ යල කන්නෙ නිමවුණාම අගෝස්තු මාසෙ දිහාවට. බෞද්ධ දර්ශණයේ මුල් බැස ගැනීමත් සමග ලෞකික දේවල් වල හරසුන් භාවය තේරැම් ගත්ත අපේ පැරැන්නන් ඒ උළෙලට බෞද්ධ මුහුණුවරක් දුන්නා. දැන් ඇසළ පෙරහර වල් පවත්වන්නේ මේ කාර්තික උළෙල වෙනුවට තමයි.)සිංහල - හින්දු අලුත් අවුරැද්දෙ ප්‍රධානම නැකැත් හතරෙන් තුන් වෙනි තැනට යෙදෙන්නෙ "හිස තෙල් ගෑමේ නැකත". රෝගී වී ප්‍රතිකාර ගැනීමට වඩා නිරෝගීව සිටීමේ වැදගත්කම තේරැම් ගත්ත අපේ මිනිස්සු "හිස තෙල් ගෑමේ නැකත" අවුරැදු චාරිත්‍ර වාරිත්‍ර වල වැදගත්ම චාරිත්‍රයක් කියල සැලකුවා. අදටත් ඒක ඒ විදිහටම හිතන බොහෝ දෙනෙක් අපේ රටේ ඉන්නවා.

ආයුර්වේදයේ හිසට කියන්නේ "උත්තමාංගය" (උත්තම + අංගය) කියල. හිස නිසිලෙස පවත්වා ගත්තොත් අනෙක් හැම අංගයක්ම ආරක්ෂා කර ගත හැකි නිසා තමයි ආයුර්වේදයේදි හිස ට ඒ විදියෙ "විශේෂණ නාමයක්" ලැබිල තියෙන්නෙ. හිස රැකගන්න පිලිපදින්න ඕන ප්‍රධානම දේ තමයි - හිස තෙල් ගෑම. ඉතිරිවා පිළිවෙලින් සම්බාහනය හා පිරිසිදු කිරීම. අද කාලෙ තරැණ තරැණියෝ බොහොම උජාරැවෙන් පාවිච්චි කරන සුවද කැවූ සගන්ධ සාර (නවරත්න තෙල් වගේ),රසායනික ජෙල් හා ෂැම්පු වර්ග වලට වඩා බොහොම ඖෂධීය තෙල් වර්ග ගණනාවක් අපේ වෛද්‍ය ක්‍රමයෙ තියෙනවා. අද දවසෙ තරැණ වියේ මැද හරියෙ ඉන්න බොහෝ දෙනෙකුට තියෙන නිතර නිතර මතුවන හිසරදය, සෙම්ගෙඩි, අකලට හිසකෙස් ගැලවී යාම, අකලට හිසකෙස් පැලීම, පීනස, (විශේෂයෙන් කාන්තාවන්ට හැදෙන)ඇස් වල දැලක් බැදීමේ තත්වය, කකුල් පැලීම වගේ බොහෝ දේවල් වලට හේතුව තමයි අර නවීන රසායනික නිෂ්පාදන ඉවක් බවත් නැතිව පාවිච්චියට ගැනීම. (දැන් දැන් ආයුර්වේද කියල දැන්වීම් වල කියන සමහර නිෂ්පාදනත් රසායනික ද්‍රව්‍ය වල සංකලනම තමයි. රටේ නීතිරීති ව්‍යාපාරිකයින්ට ඕන විදියට වෙනස් කරන රටක් තමයි අපේ රට) බොහෝ දෙනා නොදන්නවා වුණාට අපේ ඇස් වල පෙනීම රදා පවතින ස්නායූ වල මූලික තන්තු ආරම්භ වෙන්නේ හිස් මුදුනින් හා ඇගිලි කෙළවරින්. ඒ නිසා හතළිස් ඇ‍දිරිය එනතුරැ වත් ඇස් දෙක පරෙස්සම් කර ගන්න නම් හිසට, නියපොතු වලට අනවශ්‍ය දේවල් ගල්වන්න එපා. හිසට නිසි සාත්තුවක් නොලැබීමෙන් ඇතිවන තවත් රෝගී තත්වයන් ‍කිහිපයක් තියෙනවා. ඒ තමයි කණ සම්බන්ධ විවිධ ආබාධ, ගද සුවද නොදැනීමේ තත්වයන් වගේ දේවල්. (කොළඹ කුණු කදු ගාවින් යන එන අයට, උදේට හවසට බස් වල තෙරපිලා යන අයට නම් එහෙම වෙන එක හොදයි කියලත් හිතෙනවා ඇති)

ඔබත් දැනට ඉහත දැක්වූ රෝගී තත්ව වලට ගොදුරැ නොවූ අයෙක් නම් ඉදිරියේදී ඒවාගෙන් බේරෙන්න හිසේ තෙල් ගැල්වීම ඇරඹීමට පසුබට වෙන්න එපා. දැනට ඉහත රෝගී තත්ව ඇති අයෙක් නම් නිවරදි දේශීය වෛද්‍ය වරයෙකුගේ උපදෙස් වලින් පසු හෙමි හෙමිහිට හිසතෙල් සාත්තුවකට පුරැදු පුහුණු වෙන්න පටන් ගන්න. නීල්‍යාදී , කේතකී හෝ නිශාදි කියන දැඩි සුවදකින් තොර ඖෂධීය තෙල් වර්ගයකින් මේ වැඩේ ආරම්භ කරන්න. හැබැයි තෙල් ගාන කෙනෙක් නම් රාත්‍රියට තෙල් ගා පසුදා උදේම (දවල් 11ට පෙර) නා ගැනීමටත් හුරැ විය යුතුයි. තෙල් ගෑමෙන් පසු හිසකෙස් අතරින් ඇගිලි තුඩු යවාහොදින් හිස් කබල පිරිමැදීමෙන් වඩා සාර්ථක ප්‍රථිඵල ලබා ගත හැකියි. මේ විදියට සතියට දෙතුන් පාරක් බැගින් කලාම හොදටම ඇති. තෙලෙන් නිරන්තරයෙන් තෙත්වන හිසක් ඇත්තෙක් මනා සිහිබුද්ධියෙන් යුත් තැනැත්තෙක් බවයි ආයුර්වේදයේ ලියවිලා තියෙන්නේ. හිසේ ගල්වන තෙල් සදහා එදා සිට අද දක්වාම යොදාගන්නේ බොහොම වටිනා ඖෂධ. ඒවා අතර කීකිරිදිය, කොහොඹ,කෝමාරිකා,ගොඩපර,වෙරලු,උලුහාල්, වදමල්, රත්මල් වැනි දෙවල් ප්‍රධානයි.

අවුරැදු නැකතට තෙල් ගාද්දි ඊට අමතරව විශේෂයෙන් යොදාගන්නා ද්‍රව්‍යයක් තමයි, නානු. අද දවස වෙද්දි නානාප්‍රකාර සබන් වලට හුරැ පුරැදු වෙච්ච අපිට ආගන්තුක වුණාට අතීතයේදී දිනපතාම නෑවෙ නානු ගාල තමයි. නානු හැදෙන්නේ පොදු ඖෂධ වට්ටෝරැවකට අනුව තමයි. ඒ සදහා යොදා ගැනෙන ඖෂධ වෙන්නෙ ගෝරෝචන,සුදුහදුන්, සස්සද මුල්, නස්නාරං මුල්, බෙලි මුල්,ගොඩමානෙල්, විෂ්ණු ක්‍රාන්ති, වෙනිවැල්ගැට,ඉරිවේරිය, කලාදුරැ, හා ඊතණ. හැබැයි ජ්‍යොතිෂ්‍යය අනුව කෙරෙන අවුරැදු හිසතෙල් ගෑමෙදි අදාළ වසරට අනුකූලව ග්‍රහ බලපෑම් සමනය කිරීමට වැදගත්වෙන ඖෂධත් නානු සෑදීමට යොදා ගන්නවා. මෙදා පාර නානු සදහා විශේෂයෙන් යෙදුණෙ බෝ කොළ යුෂ. ලබන අවුරැද්දෙදි වෙනත් කොළ ජාතියක් යෙදේවි. සෑම ගමකම පන්සලේ හා වෙද ගෙදර ( අද තියෙන්නෙ ඩිස්පැන්සරි) මේ හිසතෙල් හා නානු අනිවාර්යයෙන්ම හිදිනවා. මේ අවුරැද්දෙදි නැකතට හිසතෙල් ගාන්න බැරි වුණානම් ලබන අවුරැද්දෙ නැකත් දවසෙ උදේම පන්සලට ගිහින් හිසතෙල් හා නානු අරන් එන්න අමතක කරන්න එපා. සංකේතයක් විදියට අවුරැදු චාරිත්‍ර වාරිත්‍ර වලට විතරක් හිසතෙල් ගාලා විතරක් නම් මදි තමා. ඒත් එහි වැදකත්කම මොකද්ද කියල හිතල බලන්න හරි මේ චාරිත්‍රය අන්තර්ගත වෙලා තිබීමම වැදගත්.

හිසතෙල් ගෑම දේශීය වෛද්‍ය ක්‍රමය අනුගමනය කිරීමට හා එහි වැදගත්කම ජනතාවට වටහා දිය හැකි හොදම දිනය බවට රජය පසුගිය වසරෙදි ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් හැටියට මෙවර පටන් සෑම වසරකම අදාළ නැකත යෙනදන දිනය"ජාතික ආයුර්වේද දිනය" හැටියට නම් කරලා තියෙනවා. මේ වර්ෂය ආයුර්වේද වසර හැටියට නම් කරලත් තියෙනවා. ඒත් දැනට මේ වසරෙන් තුනෙන් පංගුවක් ගෙවිල ඉවර වුණත් ආයුර්වේද වසර වෙනුවෙන් සැලකිය යුතු තරමෙ ක්‍රියාකාරීත්වයක්
මේ වෙනුවෙන් දෙපාර්තමේන්තුවෙන් වත් අමාත්‍යාංශයෙන්වත් විශේෂයෙන් ආරම්භ කරල නෑ. එහෙම දෙයක් කෙරෙනව නම් දැන් දැන්ම පටන් ගන්න එක තමා හොද. නැත්නම් මුල්ගල් තියල, පහන් පත්තු කරල, චක්‍රලේඛ දිග ඇරල, වඩේ පටන් ගන්න ලෑස්ති වෙනකොට 2011 ලබල තියේවි.

සිංහල වෙදකම හා ආයුර්වේදය කියන්නේ එකක් නොවේ දෙකක්

බටහිර වෛද්‍ය ක්‍රමය හැරැනම මෙරට ක්‍රියාත්මක වෙන්නෙ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය විතරයි කියල බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි සිංහල වෙදකමයි ආයුර්වේද වෙදකමයි කියල කියන්නෙත් එකම දේ නෙවෙයි. ඒ දෙක අතරත් වෙනසක් තියෙනවා. සුද්දගෙ පාලනය අවසන් වෙලා මෙහේ හිටපු කලු සුද්දන්ට පාලනය බාර දුන්න මොහොතෙ ඉදල මෙරට පිළිගත් වෛද්‍ය ක්‍රමය වුණේ බටහිර වෛද්‍ය ක්‍රමය තමයි.ඒ අනුව සිංහල වෙදකම, ආයූර්වේද වෛද්‍ය ක්‍රමය, සිද්ධ වෛද්‍ය ක්‍රමය, යුනානී වෛද්‍ය ක්‍රමය කියන මෙරට ක්‍රියාත්මක වුන පාරම්පරික වෛද්‍ය ක්‍රම "වෛකල්පිත වෛද්‍ය ක්‍රම" යනුවෙන් හදුන්වමින් දෙවැනි තැනට දැම්මා. පසුකාලීනව ලංකාවේ ප්‍රචලිත වුණු පෙරදිග වෛද්‍ය ක්‍රම දෙකක් වුණු හෝමියෝපති හා පංචකර්ම කියන වෛද්‍ය ක්‍රමවේදත් ආණ්ඩුවේ නීති පොත් ප්‍රකාරව වැටුනෙ "වෛකල්පිත වෛද්‍ය ක්‍රම" යටතට.

බොහෝ දෙනා අහල පුරැදු "ආයුර්වේදය" උපන්නේ අපට ළගම ර‍ටේ. ඒ කියන්නේ ඉන්දියාවෙ(ඇත්තටම කිව්වොත් භාරතයේ. භාරතය කියන්නේ වර්තමාන පකිස්ථානය,බංගලාදේශය ඇතුලු ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයට පෙර පැවැති දඹදිව රාජධානියට) . එහි ආරම්භය ගැන කියවෙන බොහොම රසවත් දේව කතාවකුත් තියෙනවා. ඒ ගැන පසුව දවසක ලියන්නම්. එහෙම බිහිවුණු ආයුර්වේද වෛද ක්‍රමය භාරතය තුල බොහොම සරැසාරව වැඩෙන ගහක් වගේ මුල් ඇදගෙන ප්‍රචලිත වෙනවා.ගස් වැල් වල පංචාංගයම හෝ කොටසක් හෝ යොදාගෙන නිපදවෙන අරිෂ්ඨ, ආසව වර්‍ග නිපදවෙන්නේ ආයූර්වේද වෛද්‍ය ක්‍රමයේදී. මහින්දාගමනයත් සමග අපට ලැබෙන බොහෝ දායාද අතර ආයුර්වේදයත් ඇතුළත් වෙලා තිබුණා. නමුත් විජයාවතරණයට පෙර සිටම මෙහි වාසය කළ යක්ඛ, නාග ගෝත්‍රිකයන්ගෙන් පැවත ආ වෛද්‍ය ක්‍රමයක් තිබිල තියෙනවා. රාවණ රජ සමයේ සිට පැවත ආ මේ වෛද්‍ය ක්‍රමය බොහොම දියුණු එකක්.


පසුකාලීනව ඒ කියන්නෙ මහින්දාගමනයෙන් පස්සෙ අපේ දේශීය වෛද්‍ය වරැ ආයුර්වේදයේ හරයාත්මක දේවලුත් ප්‍රයෝජනයට අරගෙන හරිම සංවිධානාත්මක විදියට දේශීය වෛද්‍ය ශාස්ත්‍රය මහජනයාගේ හිතසුව පිණිස යොදාගෙන තියෙනවා.ඒ කාලෙ අපේ සෑම රජ කෙනෙකුටම රාජ වෛද්‍ය වරයෙක් පවා ඉදල තියෙනව. මිහින්තලය, මින්නේරිය වගේ ප්‍රදේශවල ආරෝග්‍ය ශාලා පවත්වගෙන යමින් ශල්‍ය කර්ම පවා සාර්ථකව සිදුකරන තත්වයක් දක්වා පරිණත මට්ටමට පවත්වාගෙන ගියා. ඒ වගේමයි මනුෂ්‍යන්ට පමණක් නොවෙයි සත්වයින්ට පවා වෙදකම් සිද්ධ කල බවට සාක්ෂ්‍ය බුද්ධදාස රජ සමයේ හමුවෙනවා.

දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ප්‍රධාන වුණේ නැවුම් - අමු බෙහෙත්. යම් රෝගයකට පිළියම් කෙරැණෙ එවෙලෙම සාදාගත් නැවුම් ඖෂධ වලින්. ගුලි, කල්ක, කසාය නොතිබුණා නොවෙයි. ඒත් මුල් තැන දුන්නෙ අලු අනුපානයන්ට(අමු ඖෂධ දලු වලින් කළ බෙහෙත්), සවරස කසායට(අමු ඔසු මිරිකල හදන කෂාය). මොන අසනීපෙකට වුණත් වේලෙන් දෙවේලෙන් ප්‍රතිකර්ම කරන්නට දායක වුනේ ප්‍රබල අමු ඖෂධ. ඒවා බොහෝ විට තිබුණෙ දේශීය වෛද්‍ය වරැන්ගෙ මතක ගබඩාවෙ. රාජ අනුග්‍රහය ලැබුණු වෛද්‍ය පරම්පරා වල ඇත්තො සමහර අවස්ථාවල ඖෂධ වට්ටෝරැ ග්‍රන්ථාරෑඩ කළත් බොහෝ වෙලාවට මේවා පරම්පරාවෙන් පරම්පරාවට ගෙනාවෙ කටපාඩමින්. පසුකාලීනව රොබට් නොක්ස් කියපු විදියට අපේ රටේ හැම ගැමියෙක්ම වෙදෙක්. කැඩුණු අස්ථියක් සමාන්‍ය මට්ටමෙන් පාහන්න අපේ ගැමියෙකුට බතක් ඉදෙන්න යන වෙලාව ඇති බවත් ඔහු කියල තිබුණ. පෘතුගීසි, ලන්දේසි සමයන් වල නිතර පැවැති යුධ ගැටුම් ආදිය නිසාත්, චංචල දේශපාලන වාතාවරණය නිසත් ඒ කාලෙදි කතෝලික ආගම සමග බටහිර වෛද්‍ය ක්‍රමය මෙරටට පැමිණීම නිසාත් දේශීය වෙදකමේ පරිහානිය ඇරඹීමට හේතුපාද වුණා. ඒත් තාඩන පීඩන මැද්දෙ මුඛ පරම්පරාගතව ගෙනා අපේ දේශීය වෛද්‍ය වට්ටෝරැ ස්වල්ප ප්‍රමාණයක් අද වන තුරැත් භාවිතා කරන පාරම්පරික දේශීය වෛද්‍ය වරැ ඉන්නවා. අද වෙදකමේ නොයෙදුණත් තමතමන්ගෙ තාත්තා, සීයා සටහන් තැබූ පුස්කොළ පොත්, සටහන් පොත් රැකගත් උදවිය අපේ රටේ ඕන තරම්.මේ පිරිස් ගැන නිසි සංගණනයක් නොමැති නිසා වගේම ඒ අයගේ දැනුම හොරකම් නොකර විධිමත්ව ඒකරාශී කෙරෙන රාජ්‍ය යාන්ත්‍රණයක් මේ දක්වා නොමැති වීමත් නිසා ඒ දැනුම සගවාගෙනම ඒ මිනිස්සු මියයන එක අනිවාර්යයි. දේශිය වෛද්‍ය ක්‍රමය ගැන ඇල්මක් තියෙන බොහෝ දෙනෙකුට ඒක දරාගන්න බැරි දෙයක්.

ඉන්දියාවෙන් ආපු ආයුර්වේදය නිසි ලෙස ග්‍රන්ථාරෑඩ වෙලා තිබීම නිසා අද එය දේශීය වෙදකම අභිභවා පැතිර යන්නට පටන් අරන්. පාරම්පරික වෛද්‍ය පරම්පරා වල උදවිය ඒ වෘත්තියේ නොයෙදීමත්, එම පරම්පරා සතු දැනුම දැනට ආයුර්වේදයේ යෙදෙන පිරිස් වෙත නොලැබීමත් නිසා අපිට අහිමි වෙමින් යන්නෙ ලෝකයේ හොදම වෛද්‍ය ක්‍රමයක උරැමය කියන එක තමයි මගේ අදහස. බටහිර ලෝකය ගුවන් යානය නිපදවල දැනට වසර සියයයි. ඒත් අපේ රටේ රාවණා දඩුමොණරෙන් ගියේ වසර දහස් ගණනකට පෙරයි. ඒ අනුව සසදලා බැලුවොත් මගේ ඒ තර්කය සාධාරණයි කියල ඔබටත් හිතේවි.

ඔසුතුරැ විසිතුර-හදුනමු සුමිතුර - දිවියට ගෙන දෙන - සුවසෙත අමයුර


2010 වර්ෂය ශ්‍රී ලංකා රජය "ආයූර්වේද වර්ෂය" ලෙසයි නම් කරලා තියෙන්නේ.(හැබැයි මැතිවරණ වර්ෂයක් වීම නිසා ඒක අමතක වෙලා යාවිද දන්නේ නෑ.) ඒ අතරම එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වර්ෂය නම් කරලා තියෙන්නේ "ජෛව විවිධත්ව වර්ෂය" ලෙසයි.දෙගොල්ලෝ දෙවිධියකට නම් කලත් මේ දෙකේම ලොකු සහ සම්බන්ධ‍යකුත් තියෙනව.

හේතුව තමයි ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ ප්‍රධානම භාවිතය ශාක හා ශාකමය ද්‍රව්‍ය වීම. ඒ වගේම ශ්‍රී ලංකාවෙ ජෛව විවිධත්වය අතින් සුවිශේෂී රටක්.ඉතිං මේ වගේ වෙලාවක වෙදකමේ යෙදෙන අපිට වගේම ජීවිතේ එකම එක දවසක හරි ඉගුරැ-කොත්තමල්ලි ටිකක් හරි තම්බල බීපු ඔබටත් මේ ගස්වැල් ගැන පුංචි මතක් කිරීමක් කළොත් වැදගත් වේවි.

ඔබ නිකමට හරි කල්පනා කරල බැලුවද, අපි අවට ලෝකයේ කොපමණ ශාක වර්ග ප්‍රමාණයක් ඇතිද කියල. ඇත්තටම නෑ නේද? එහෙනම් අපි එතැනින්ම පටන් ගමු. ගණනය කර ඇති ආකාරය අනුව දැනට ලෝකයේ ශාක විශේෂ 250,000ක් 275,000ක් අතර ප්‍රමාණයක් පවතී. එහෙත් එයින් ආයුර්වේද ඖෂධ සදහා භාවිතා කරන්නේ ශාක විශේෂ 70,000කට අඩු ප්‍රමාණයක්.
ක්‍රිස්තු පූර්ව යුගයේ ග්‍රන්ථගත තොරතුරැ වලින් නාමිකව ශාක වර්ග 126ක් සදහන් වෙනවා. ඊළගට ආයූර්වේදයේ වැදගත්ම ලියැවිල්ලක් වන "වේද ග්‍රන්ථ" ලියැවෙන යුගයට එද්දී ශාක නාම 261ක් පිළිබද සටහන් වෙනව. ඉන්පසු කාලීනව ලියැවෙන සංහිතා ග්‍රන්ථ යුගයේදී ශාක පිළිබද පර්යේෂණ වඩාත් පුලුල් වෙනව. අයුර්වේදයේ පූජනීයම ග්‍රන්ථ විදියට අබිසෙස් ලබන "චරක සංහිතාව", "සුශ්‍රැත සංහිතාව" ඖෂධ සදහා භාවිතයට ගන්නා ශාක වර්ග ප්‍රමාණය ගැන අදහස් දක්වල තියෙන්නේ දෙවිදියකට. සුශ්‍රැතය ශාක වර්ග 579ක් ගැන කියද්දි චරකය එම ප්‍රමාණය 900ක් ලෙස පුලුල් කර දක්වනවා. තවත් ඉතා වැදගත් ග්‍රන්ථයක් වන "අෂ්ඨාංග හෘදය සංහිතාවේ" ශාක නාම 902ක් ගැන සදහන් වෙනවා. ආයුර්වේද ඖෂධ වර්ග ගැන අදාල වෙන ශාක නාම , ස්වභාවයන් හා සවිස්තර තොරතුරැ ලියැවී තියෙන නිගණ්ඩු වල ශාක විශේෂ 1,000ක පමණ නම් සදහන් වෙනවා. ජීව නාමකරණය පිළිබද විද්‍යාත්මක ක්‍රමවේදයක් බටහිර ලෝකය හදුන්වා දෙන්නට වසර දහස් ගණනකට පෙර මෙපමණ ශාක ප්‍රමාණයක් ගැන සවිස්තරාත්මක තොරතුරැ රැස්කිරීමම මහා කර්තව්‍යයක්.

මේ සියල්ල අතරේ මෙරට වෛද්‍යවරැ අතීතයේදිම භාවිතා කල ශාක වර්ග ප්‍රමාණය 1,430ක් බවට සදහන් වෙනවා.එයින් ශාක වර්ග 206ක් බහුලවම භාවිතාවන බවත් තවත් 600ක් සාමාන්‍ය භාවිතයේ යෙදෙන බවත් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

ඉතින් මේ දක්වා ඇති ඖෂධ ශාක ප්‍රමාණ අතුරෙන් කීයක් ඔබට නිවරදිව හදුනා ගත හැකිද? අඩුම තරමින් 100ක්වත් හදුනාගන්නට වර්තමාන පරම්පරාවේ ඔබට පුලුවන්නනම් ඒක ලොකු දෙයක්. එහෙම නොවෙයි නම් ගෙවත්තෙදි, වැඩබිමේදී සිදුවන එළිපෙහෙලි කිරීමකදී පවා විසිකැත්තට කැපි යන, උදැල්ලෙන් ඉදිරී යන කුඩා පදුරැ අතරේ හෙට දවසේ අපේ ආයුර්වේදයේ පැවැත්මට වැදගත් වන ඖෂධශාක ගණනාවක් අපෙන් ගිලිහී යන්න පුලුවන්. ඔබ සමහර විට නොසිතුවා වුණාට මෙරට තුළ අද දවසේ වාර්තා වන්නේ එකම එක "සදරාජ" පැළෑටියක් පමණයි. "කෝන්තාල" නම් ශාකයද වාර්තා වී ඇත්තේ එකම ස්ථානයක දී පමණයි. එම නිසා ඔබේ අවබෝධය වගේම අවධානයත්, අධිෂ්ඨානයත් අපේ මතු පරපුර වෙනුවෙන් කෙරෙන මහත්ඵල මහානිශංස පින්කමක් වෙනවාම තමයි. එය මේ රටේ අනන්‍යතාවය හා බැදුණු ආයූර්වේදයේ පැවැත්මට කෙරෙන හොද සේවයක්.

ඔබටත් ඖෂධ හාක පිළිබද වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුබද්ධ හල්දුම්මුල්ලේ හෝ පට්ටිපොල ඔසු උයන් වලදී ඒ සදහා අවකාශ සපයා ගත හැකියි. මෙම ලිපියේ අන්තර්ගත තොරතුරැ සදහා මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හිටපු ආයුර්වේද කොමසාරිස් එච්.එම්. සේනාධීර මහතාගේ දේශණයක මූලාශ්‍ර යොදාගැනිනි.

මැරෙන්න කෑම වෙනුවට ජීවත් වීමට කෑම



කතාවක් තියෙනවා "මාළුවා නහින්නෙ කට නිසා" කියලා.ආයෙමත් තැනක "හොදට නරකට දෙකට කටමය" කියලත් කියැවෙනවා. සාහිත්‍යයේදී වෙනත් අරමුණක් උදෙසා මේ යෙදුම් භාවිතා වුණත් ආයුර්වේදයේදිත් මේ යෙදුම් සාධාරණයි අපේ ආහාර භාවිතාවය ගැන සැලකීමෙදි. මේක දේශපාලන කතාවක් නොවුණත් පාන් රාත්තලට, කිරි පිටි පැකට් එකට ඡන්දය දෙන රටක මැතිවරණ කාලෙදි බඩ කට පිනවන කතා බහත් බහුලයි. කොහොම වුණත් තමන්ගෙ කට රැක නොගත්තොත් විදින්න තියෙන ජීවිතේ විදවන්න වෙන එක නම් අනිවාර්යයි.

සාමාන්‍යයෙන් මිනිසෙකුගේ පරමායුෂ අවුරැදු 120ක්. ඒත් අද වන විට ලංකාවේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරැදු 80ට වඩා අඩුයි.මේ විදියට ගියොත් තව අවුරැදු 10ක් 15ක් යනකොට අවුරැදු 55ක් පැනල ජීවත් වෙන කෙනෙක් හොයගන්න අමාරැ වෙන්න පුලුවන්. දැනටත් පාරෙ තොටේ ඇලවෙන මරණ දැන්වීම් වල වයස ගණන් හදල බැලුවොත් බොහොමයක් 50-60 අතර පුද්ගලයන්ගේ මරණ.

ආහාර ජීවිතයට කොතරම් වැදගත්ද කියල අද නවීන ලෝකෙ ජීවත් වෙන උදවියට වඩා ‍හොදට අපේ පැරැන්නනෝ තේරැම් අරන් තිබුණ. පෝෂණ වේදී, සූප ශාස්ත්‍රඥ වගේ පට්ටම් සන්නාම නොතිබුණාට අපූරැ ආහාර සංවිධාන රටාවක් නිර්මාණය කර ගැනීමේ හැකියාව අපේ ආච්චිලට (අපේ අම්මලාටත් නොතිබුණාම නොවේ) තිබුණ. එදා ඉදන් අපි පිළිපැදපු ආයූර්වේද වෛද්‍ය ක්‍රමයේත් ආහාර පිළිවෙත් ගැන බොහොම අපූරැවට කරැණු දක්වලා තියෙනවා.

ආයූර්වේදය කියන්නනේ ආයුෂ රැකගැනීමේ විද්‍යාවට. එහි ප්‍රධාන පරමාර්ථ දෙකක් තියෙනවා.
1. නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව රැකගිනීම
2. රෝගී පුද්ගලයාගේ රෝගී බව සුවපත් කිරීම

මේ දෙකෙන් ආයූර්වේදයේදී වැදගත් කොට සැලකුවෙ පළමු කාරණය හෙවත් ලෙඩක් හදා නොගෙන ජීවත් වීම . ඒ සදහා අනුගමනය කළ යුතු ප්‍රධාන කරැණු කාරණා හතරක් දැක්වෙනවා.

1. හිතකර ආහාරය
2. යහපත් පරිසරය
3. සහනදායී නින්ද
4. ප්‍රමාණවත් ව්‍යායාමය

මෙයින් වඩා වැදගත් වෙන කාරණය තමයි ආහාරය පිළිබද කාරණාව. මොකක්ද මේ හිතකර ආහාරය කියල කියන්නේ. පහසුවෙන් ශරීරයට උරාගන්නා, විෂ ද්‍රව්‍ය වලින් තොර, නැවුම්, පිරිසුදු , ප්‍රියජනක, පෝෂණීය ආහාරය හිතකර ආහාරයක් ලෙස අර්ථ දැක්වෙනවා. ආයූර්වේදයේ ඕකට කියන්නේ "පත්‍ය ආහාරය" කියලා. අපත්‍ය ආහාරයෙන් මිදිල පත්‍ය ආහාරයම භාවිතයට ගන්න කියන එක තමයි අපේ නිර්දේශය. අපේ පැරණි ගැමියො මේ ආහාර අපූර්වත්වය හොදින්ම අත්වින්දා. උදේම කොළකැද වීදුරැවකින් පටන් අරන්, හවසට කොත්තමල්ලි කෝප්පයකින් කෙලවර වෙන එදා කෑම වට්ටෝරැවේ වෛවාර්ණ කෑම ජාති (Shorteats), බැදුම්(Devel), ඇසුරැම් කළ කෑම ජාති (processed)තිබුණෙම නෑ. අද වගේ කෘතිමව විටමින් ගිල්ලවල කූඩුවේ ජීවත් වෙන කාලයට වැඩි කාලයක් ශීතකරණයක කල් ගෙවන මස් වර්ග, කිර්වර්ග වෙනුවට එදා අපේ පැරැන්නෝ භාවිතයට ගත්තේ එදිනෙදා නෙලා ගත්ත පලවැල. දඩයම් කරපු මස් වර්ග. සැරින් සැරේ කුස ගින්නට ඔහෙ මොනාහරි ගිලින අද කාලෙ අය වගේ නෙවී එදා අපේ ගම්වල උදවිය තුන්වේල බඩට දැනෙන්න හොදට කෑව. එනිසාම එදා අද බහුල ලෙස දක්නට ලැබෙන


1. චර්ම රෝග
2. පිළිකා
3. මධුමේහය (දියවැඩියාව)
4. මේද වෘද්ධි (කොලෙස්ටරෝල්)
5. අධි රැධිර පීඩනය
6. හෘදයාබාධ
7. අම්ලපිත්තය (ගැස්ට්‍රයිටීස්) වගේ රෝග බහුලවම වාර්තා වුණේ නෑ. පිටරටින් කොළින්ම එන හෝ එහේ තාක්ෂණයට මෙහේ නිපදවන හෝ ආහාර පාන වලට විදේශ විනිමය වැය කරනව මදිවට ඒව කාලා හැදෙන ලෙඩ රෝග වලට බෙහෙත් හේත් වලටත් විදේශ විනිමය වැය කිරීම ට සිදුවීමම තමා සැබෑම විදෙස් කුමන්ත්‍රණය. ඒත් සැබෑ කුමන්ත්‍රණය හා කුමන්ත්‍රන කරැවන් හදුනා නොගෙන බොරැ කුමන්ත්‍රණ ගැන නන්දෙඩවීමේ ප්‍රතිඵලයක් ලෙස අකාලයේ මියැදෙන්නේ අපේ රටේම මිනිස්සුම තමා. මහ කලුගල් පර්වත එක්ක හැප්පිල දිනපු, වැව් අමුණු බැදල සමකාලීන ඉංජිනේරැ තාක්ෂණයේ පතාක යෝධයින් වුණු මුතන් මිත්තන්ගේ වර්තමාන පරපුරේ කෙනෙකුට සිමෙන්ති කොට්ටයක් කෙසේ වෙතතත් කිලෝ පහේ හාල් බෑග් එකක් අරන් මීටර් සියයක් දුර පයින් යන්නවත් බෑ. කොළඹ හතේ බොරැ සිංහලයන්ට කෙසේ වෙතත් ඇඹිලිපිටියෙ අමරදාස අයියටත් උදේට හවසට බොන්න කියල ඉස්පිරිතාලෙන් දෙන පෙත්ත නොබිව්වොත් එක්කො හතිය- නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර්. ඇයි අපිට එහෙම වුණේ කියල හිතන්න තියෙන ඉස්පාසුවෙත් රෑපවාහිනිය ඉස්සරහ ඉදගෙන ඉදල නින්දට යන නිර්වින්දිත සමාජයක් යහ මගට ගන්න එක හරි අමාරැ වැඩක්.

හිතන්න. වල් බිහිවුණු මොලේ රැල් බුරැල් ඇරල අලුත් විදියට හිතන්න. අපේ ජාන විකෘති කරල අපිව ලෙඩ්ඩු කරන , කෑම වේලටත් වෙළෙන්දාගේ ප්‍රචාරණයට රැවටෙන ජාතියක් විදියට අවමන් ලබන්නේ නැතිව අභිමානවත්ව හිතල කැලේ කොලේ වැවෙන අපේ එළවලු පළතුරැ කොළ ජාති, අල ජාති වලට ආපහු යොමුවෙමු.ගෙවත්තේ වවා ගන්න බැරි නම් සතියකට සැරයක් ගමේ පොළට ගොඩවෙලා මල්ලක් පිරෙන්න එළවලු පළතුරැ කොළ ජාති, අල ජාති ගෙදර ගෙනියන පාරිභෝගික රටාවකට හුරැවෙමු.