
ඔබ පසුගිය මාසයට දින කීයක් වෛද්‍යවරයෙකු හමුවුනාද? එහෙමත් නැත්නම් පසුගිය වසරක කාලය ඇතුළත ඔබ කී වරක් වෛද්‍යවරයෙකු හමුවුනාද? කියල මතකයට නගා ගන්න ඔබට පුළුවන්ද? දැන් සමහරවිට ඔබ ආඩම්බරයෙන් සිහිකරාවි "පසුගිය වසර පුරාවටම මම වෛද්‍යවරයෙක් හමුවුනේ නෑ කියල."ඇත්ත, අපි කවුරුත් කැමති වෛද්‍යවරයෙකු හමුනොවී, ප්‍රතිකාර නොගෙන ඉන්න. ඒත් ඔබේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියො, දූ දරුවො, පවුලේ
අය ගැන හිතුවහම එයාලත් එහෙමද කියල හිතල බලන්න.ඒත් නාගරික ප්‍රදේශයක හවසකට දේශීය හෝ බටහිර පෞද්ගලික ආරෝග්‍යශාලා ළග, උදේට රෝහලක බාහිර ප්‍රතිකාර අංශයක කොපමණ පිරිසක් බේත් හේත් ගන්න පොදි කනවද කියල පොඩ්ඩක් බලන්න. මේ තරමට අපේ රටේ මිනිස්සු ලෙඩ්ඩු වුනේ කොහොමද කියල හිතල බලන්න ඔබට විවේකයක් ලැබුනෙ නැද්ද? එහෙම නැත්නම් ඔබ එහෙම ලෙඩෙක් නොවුනෙ ඇයි කියල හිතල බලන්න ඔබ පෙළඹුනාද? ලෙඩෙක් නොවී ජීවත් වෙන්න නම් අපි අනුගමනය කළ යුතු දේවල් ගැන ටිකක් විතරකියන්න තමයි 'වෙදහාමිනේගේ' මේ ලිපිය වෙන්වෙන්නෙ.
මේ දවස් වල හැමෝම කතාවෙන්නෙ 2600වන සම්බුද්ධ ජයන්තිය ගැනනෙ. අපි අහල බලල ඉගෙන ගෙන තියෙන විදියට "මධ්‍යම ප්‍රතිපදාව" කියන සංකල්පය මුලින්ම හදුන්වාදුන්නෙත් බුදු දහමේ නිර්මාතෲ වන ගෞතම බුදුන් වහන්සේ තමයි.අපේ ශරීරයේ තියෙන පංච ඉන්ද්‍රියයන් පිනවීම ගැන සිය දේශනාවල උපදෙස් දෙමින් ඒවා පාලනයකින් යුතුව පිනවීමෙන් ලෞකික වගේම ලෝකෝත්තර සුඛයයන් කරා ගමන් කළ හැකිබව බුදුන් වහන්සේ සදහන් කරල තියෙනවා.ශරීරයේ පංච ඉන්ද්‍රියයන්
කියන්නේ ඇස,කණ, නාසය, දිව හා සම(ශරීරය) කියන අංග.මෙයින් කුමන ශරීරාංගයක් වුනත් ඕනෑවට වඩා පිනවීමෙනුත් ,අවශ්‍ය තරමට සන්තර්පණය නොකිරීමෙනුත් මිනිසාට විතරක් නෙවෙයි ඕනෑම සත්වයෙකුට රෝග හටගන්නවා.ඒ අතරිනුත් දිව කියන අංගය වඩා ප්‍රබලයි. දිව පිනවන්න නම් රස දැනෙන දේ භාවිතා කළ යුතුයි.රස නොදැනෙන දේ භාවිතයෙන් වන්නේ ශරීරය වැහැරීම. රස දැනෙන දේ භාවිතයෙන් වෙන්නෙ ශරීරය ශක්තිමත් වීම. නැතිනම් ප්‍රාණවත් වීම.ඒත් රසය ගැන පමණක් හිතා භාවිතා කරන ආහාර පාන වලින් සිද්ධ වෙන්නෙ ශරීරයේ ස්වභාවික ජෛව රසායනික ක්‍රියාවලිය බිද වැටීම.සියයට සියයක් දේශීය වෛද්‍යවරු වගේම සමාගම් වල ඉත්තන් ගැත්තන් බවට පත් නොවුණු ලක්බිමට එහෙම ලියන වෛද්‍ය චමල් සංජීව වැනි බටහිර වෛද්‍යවරුත් මේ මතය සමග එකගයි.
ඔබටත් දිව පිනවීම මධ්‍යම ප්‍රතිපදාවෙන් කරන්න පුළුවන් කමක් තියෙනව නම් ඉදිරි වසරෙදි විතරක් නෙවෙයි ජීවිත කාලෙටම වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් හේත් ගන්න යන්න නොවෙන තාලෙට ජීවත් වෙන්න මග හදාගන්න පුළුවන්. ආහාර වලට වඩා ඖෂධ පෙති,කරල් ගිලින සමාජයක එහෙම නොවී ජීවත් වීම ආඩම්බරයක් විදිහට හිතන්න පුරුදු වීමත් අද කාලෙට වැදගත්.ඒවගේම ඔබ දැනට කිසියම් නිදන්ගත රෝගයකින් පෙලෙනවානම් මේ සාමාන්‍ය ආහාර රටාවට යොමුවෙන්න කලින් සුදුසුකම් ලත් දේශීය හෝ බටහිර වෛද්‍යවරයෙකුගෙන් අනුමැතිය ලබාගත යුතු බවත් අමතක කරන්න එපා.ඒ වගේම කිසිදු රෝගයකින් නොපෙළෙන කෙනෙක් වුවත් වසරකට වරක් වත් සුදුසුකම් ලත් දේශීය හෝ බටහිර වෛද්‍යවරයෙකු හමුවී විරේකබෙහෙත් හා පණු බෙහෙත් ලබාගත යුතු බවත් අමතක කරන්න එපා.එසේම අවුරුදු 30 ඉක්මවූ කෙනෙකු නම් වසරකට වරක් වෛද්‍ය පරීක්ෂණයක්,තම
සෞඛ්‍ය ගැටළු පිළිබද සාකච්ඡාවක් සිදුකිරීමත් වැදගත්.
ආයුර්වේද වෛද්‍යවරු හැටියට අපි හැමදාම උපදෙස් දෙන්නෙ කෘතිම ආහාර වලින් ඈත් වෙන්න කියල.කටට රසට කන්න ඕන තමයි. ඒත් රහයි කියල වහ කන්නෙ මොකටද? මුළු ලෝකයේම අපිට විතරක් උරුම වටිනා කුළුබඩු වර්ග ගණනාවක් යොදාගෙන ඒවා ක්‍රමානුකූල අනුපාතයට මිශ්‍ර කරල ආහාරයෙන් ආහාරයට විවිධ අනුපාතයෙන් මිශ්‍ර කරල ආහාර රසවත් කරන්න, සුවදවත් කරන්න අපේ අම්මල, ආච්චිල දැනුවත් වෙලා හිටිය. සමහරුන්ට අදටත් මතක ආච්චි අම්මගෙ පරිප්පු හොද්දෙ, පොල් සම්බෝලෙ රහ මැවුණෙ සුප්කැට, mono sodium glucomate අඩංගු කුඩු වර්ග නිසා නෙවෙයි.ඒවගේම හොද්ද,මාළුව,ඇඹුල ලිපේ තියෙද්දි, සම්බෝලෙ අනද්දි ඒකට ලුණු , අඹුල් මදිද- වැඩිද කියල කියන්න පුළුවන් ඉවක් අපේ තාත්තලට,සීයලට තිබුණ.අද ඒ රසාංකුර මැරිල ගිය මිනිස්සු දානෙ උයද්දිත් නොපෙනෙන විදියට හැන්දට අරන් දිවේ ගාල තමන් මුලින් ඉදුල් කරන තත්වෙට ඇවිත් තියෙනවා.
පවුලක පෝෂණය ගැන වගකීම තමන් අතේ බව හිතන්න ඕන අපේ සහෝදරියො සහ දුවණි වරු රූපවාහිනියෙ යන ටෙලි නාට්‍ය බලන්න තියෙන හදිසියට අතේ තියෙන සොච්චම කඩේට දීල සොසේජස් කරලක්, සෝයාමීට් ටිකක් අරන් ඇවිත් තෙල් ,මිරිස් යහමින් දාලා තව මදිනම් සුප්කැටත් දාල එහෙන් මෙහෙන් ගහල තමන්ගෙ පවුලෙ අයට හදල දෙන්නෙ මොනවද කියල පොඩ්ඩක් හිතල බලන්න.ඒවගේම තෙල් මිරිස් නැතිව කන්න බෑ කියල කියන පිරමි පාර්ශවයෙ උදවියත් මේ ගැන හිතල බලන්න.

msg වලට අස්ථි දිරීම්,පිපිරීම් එනව කියල කියනකොට අපි කරන්නෙ ඇනිලීන් හරි ඇන්මම් හරි ගෙනත් බොන එක. අස්ථි දිරීමට හේතුව හොයල හේතුව නැති නොකර තවත් වසක් අපේ ශරීරයට එකතු කරගෙන අස්ථි ශක්තිමත් කිරීම සිදුවෙයිද? නෑ. අන්තිමට වෙන්නෙ මේ වගේ කෘතිම දේවල් වල තියෙන වෙනත් වෙනත් රසායනික ද්‍රව්‍ය අපේ ඇග ඇතුළෙදි ප්‍රතික්‍රියා කරල වෙනත් වෙනත් සංයෝග නිෂ්පාදනය වෙලා කොහෙ හරි තැන්පත් වෙන එක. අන්තිමට කාලෙකදි ඒක මතුවෙන්නෙ පිළිකාවක් විදිහට.එහෙම නැත්නම් මේ සංයෝග වකුගඩු හරහා නොපෙරී රැදීමෙන් වෙන්නෙ වකුගඩු අක්‍රිය වී විනාශ වීම.ඊට පස්සෙ සිද්ද වෙන්නෙ ජීවත් වෙන තුරාවට පිටරට බෙහෙත් නිෂ්පාදන ආයතන වල නිත්‍ය පාරිභෝගිකයින් බවට පත්වෙමින් මැරි මැරී ජීවත් වෙන්න සිද්ධ වීම. නැත්නම් වකුගඩු බද්ධයට, පිළිකා සැත්කමට ආධාර ඉල්ලමින් පත්තරවල, හන්දිවල හිගාකකා රස්තියාදු වෙවී උන්හිටි තැනුත් උකස් කර කර තමනුත් දරුපවුලත් අනාථ කරමින් මැරි මැරී ජීවත් වීම.ඉතින් අදම හිතන්න. මේකට පිළියම මොකද්ද කියල. කෘතිම ආහාර පාන වලින් වැලකෙන එකද? නැත්නම් හොරෙක් හතුරෙක්ගෙන් හරි ණයක් තුරහක් වෙලා පිළිකාවට එන්න කළින් මොකක් හරි රක්ෂණ සමාගමකින් ජීවිත/සෞඛ්‍ය රක්ෂණයක් ගන්න එකද ? අතීසාරයට අමුඩ ගහන තීරණ වලට චිර ප්‍රසිද්ධ අපේ රටේ බොහෝ දෙනා දෙවැනි පිළියමට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ.
අපිම මුදල් දීල ගේන ටීවී එකෙන් පෙන්වන හරසුන් කෑම බීම වලට අපිම මුදල් දීල කඩෙන් අරන් ඇවිත් ඒව කාල ලෙඩ වුණාම අපේ සල්ලිම දීල බෙහෙත් අරන් ඒ ලෙඩ වලට වියදම් කරන්න මුදල් නැති වෙයි කියල බයට රක්ෂණයකුත් අරන් ආහාර දාමයක් වගේ තැනින් තැන රැදෙන රාක්ෂයන් වන් සමාගම් සමූහයක බැංකු ගිණුම් තර නොකර මුල්ම පුරුකෙන් ගැලවිලා ස්වභාවික ආහාර රටාවකට යන්න අපි දෙපාරක් හිතන්න ඕනද?
එහෙම හිතන්න ඕන නෑ කියල වගකීමෙන් කියන ඔබට තුන්වේලෙ ස්වභාවිකව ආහාර ගැනීමේ ක්‍රමය ගැන කියල දෙන මේ ලිපියෙ ඊළග කොටස වෙසක් පෝයට කලින් පළකරන පොරොන්දුවෙන් වෙදහාමිනේ සමුගන්නෙ 'ලිපිය දිග වැඩි වෙන කොට' නීරස වේවි කියල හිතෙන නිසා. ඕ ලිපියට පෙර ඔබේ අදහසුත් ඇත්නම් ඒ ගැන මට කියන්න.
Email - nagarjunaherble@gmail.com
This comment has been removed by the author.
ReplyDelete