බෝවිටියා දං පලු ගෙඩි වාරේ ..........


පළතුරු කිව්වහම මතක් වෙන්නෙ මොනවාද? එකිනෙකට වෙනස් පළතුරු වර්ග කීයක නම් තත්පර 10ක් 20ක් ඇතුළත ඔබේ මතකයට ඒවිද?ඔබට වගේම මෙය කියවන බොහෝ දෙනෙකුටත් ඒ නම් අතරින් මුලන්ම මතක් වෙන්නෙ ඇපල්, දොඩම්, මිදි , නාරං වගේ විදේශීය පළතුරු තමයි. එතැනින් ටිකක් ඉදිරියට ගියහම අඹ , දිවුල්, කෙසෙල්, ගස්ලබු, අන්නාසි වගේ අපි නිරන්තරයෙන් නගරයේ පළතුරු කඩවල දකින ජනප්‍රියතම දේශීය පළතුරු වර්ග ටික. ඊළගට මතකයට එන්නෙ රඹටන්, අලිපේර, මංගුස්, දූරියන්, අනෝදා, වරකා වගේ දේවල් . එතැනින් එහාට පළතුරු වල නම් විදියට මතක් වෙන දේවල් බොහොම අඩුයි.මොකද බහුතරයක් දෙනා නගරයේ හරි අර්ධ නාගරික ප්‍රදේශ වල ඉපදිල හැදිල වැඩිල හැමදාම උදේ හවා දැකල,
රස බලල තියෙන්නෙ ඔය ජනප්‍රිය පළතුරු වර්ග ටික විතරයි. කලාතුරකින් හරි කෙනෙක් දෙන්නෙක් තමයි නිතර ඇස නොගැටෙන කාමරංගාවක, දෙඵමක, පලු ගෙඩියක,සියඹලාවක රස බලල ඇත්තෙ.

ඒත් අපේ මේ පුංචි රට ගත්තහම පළතුරු ආකරයක්.අද නාගරික ප්‍රදේශවල පර්චස් දහයෙ පහළොවේ කට්ටි කැඩුණු බොහෝ ඉඩම් මීට වසර දහයකට උඩදි අනිවාර්යයෙන්ම රසම රස දේශීය පලතුරු පැණි සුවද පිරිච්ච,කුරුලු කූජනයෙන් පිරිපුන් සුන්දර ලදු හෝ බඩවැටි තමයි.අදටත් කොළඹින් හැතැප්ම 30ක් 40ක් ඈතට යනකොට මේ වගේ දේශීය පළතුරු වලින් පිරුණු සුන්දර කැළෑ රොදවල් ඕනෑ තරම්.ඒත් අද බොහෝ දෙනා පළතුරු කියල උජාරුවෙන් කන්නෙ අපේ රස පළතුරු එක්ක සංසන්දනය කළොත් ගුණය අතින් පහළම මට්ටමේ තියෙන ආනයනය කළ ඇපල් ගෙඩියක් හෝ දොඩම් ගෙඩියක්.පිටකොටුවෙන් උදේ හවා රැකියා අවසන් වී නිවෙස් කරා යන බොහෝ දෙනා සුජිත් අයියගෙ පත්තර කඩේටත්,ඩේවිඩ් කඩල කඩේටත් අතර තියෙන පටු පදික වේදිකාවේ ඇපල් මිදි ගන්න පොරකන හැටි වෙද හාමිනේ අනන්තවත් දැකල තියෙනවා. ඒත් එතැනින් පඩිපෙළ බැහැල මැනිං මාර්කට් එකට ඇතුල් වෙන කොට විකුණ ගන්න බැරිව පරු වෙලා යන කාමරංගා, වෙරඵ, බෙලි , හින් නාරං වගේ දේවල් තියාගත්තු ගමෙන් එන අම්මලා ළගට ඒ අයගෙන් බොහෝ දෙනා යන්නෙ නැත්තෙ තම තමන්ගෙ ත්වෙට මදිපාඩුවක් වෙන නිසාද දන්නෙ නෑ.ඒ වුණාට අර අම්මලා ළග තියෙන දිවඔසු තරම් ගුණ තියෙන දේවල් ගන්න එන ගැන ටිකක් වෙලා බලන් හිටියොත් පේන්නෙ ඒ බොහෝ දෙනත් කාලෙකට පෙර ඇපල් දොඩම් කාපු, දැන් වෛද්‍ය උපදෙස් මත ඒවගෙන් මිදිල දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට, පිළිකා වලට බෙහෙත් ගන්න ලෙඩ්ඩු පිරිසක් කියල තමයි.මීට අවුරුදු දහයකට දොළහකට පෙරත් ඔවුන් දේශීය දේවල් වලට හුරුවෙලා හිටිය නම් අද ඔය විදියට පන්න පන්න ගමේ එළවලු, ගමේ පළතුරු හොය හොයා කන්න , පෙති අහුරු ගිල දමමින් නිරන්තර වෛද්‍ය පරීක්ෂා වලට ලක්වෙමින් , අදද හෙටද කියල බයේ ජීවත් වෙන්න ඕනෑ වෙන එකක් නෑ.

ඒ කොහොම වෙතත් අද දවසෙ වෙද හාමිනේ කතා කරන්න යන්නේ ටිකක් විතර වෙනස් පළතුරු වර්ග ටිකක් ගැන.අද වෙද්දි අපට අමතක වෙලා යන අපේ පරම්පරාවෙ ගොඩක් වැඩිහිටියො නමින් අහල තිබුණට දැකල නැති පළතුරු වර්ග ගැන.ඒවා නම් බොහොමයක් විවෘත ආර්ථිකයේ තරගකාරීත්වයෙන් , අපිට - විශේෂයෙන්ම අපේ පොඩි එවුන්ට අහිමි වෙලා ගිය සුන්දර ලෝක වල නෑදෑ හිතමිතුරන් වෙලා හිටිය දං,කීන,මොර,පලු,කටුලොවි, එරමිණියා , උගුරැස්ස වගේ දේවල්. රස විදින්න අත දිග මානෙ නැති වුණත් හිතෙන් හරි රසය මතක් කරගන්න පුළුවන් කාපු කෙනෙකුට නම්. මම මේ සදහන් කරපු පළතුරු වල තියෙන විශේෂත්වය (වාණිජ වශයෙන් තියෙන දුර්වලතාවය) තමයි මේ සියල්ලකින්ම හොද රසයක් ලැබෙන්නේ ගහෙන් කඩා ගත්තු ගමන් ආහාරයට ගැනීමෙන්.වෙලදපළට ප්‍රවාහනයදි ඉක්මනට තැලිල,තැම්බිලා යන මේ දේවල් කල් තියාගන්න එක අමාරු වැඩක්.


දං සහ කීන කියන්නෙ ලංකාවේ බොහෝ ප්‍රදේශ වල වැවෙන ගඩා ගෙඩි වර්ග දෙකක්.කෝපි ගෙඩියක් තරමට ලොකුවෙන දං ගෙඩිය (සමහර ප්‍රදේශ වල හීන් දං) මුලදි ලා කොළ පාටයි.ක්‍රමයෙන් ඉදෙන කොට දම් පාට වෙලා අන්තිමට කළු පාට වෙනවා. ගෙඩි පොකුරු පොකුරු පදුර පිරෙන්නම හැදෙන මේවා කෑවහම දිව, දත් එහෙම දම් පාට වෙනවා. ආමාශගත තුවාල, වණ - අන්ත්‍රගත ප්‍රදාහ වගේ දේවල් සුව කිරීමට හේතුවන මේ දං ගැස්ට්‍රයිටීස් වලින් පෙලෙන අයට හිතකරයි.ඉබේ මුත්‍රා පහවීම පාලනයටත් මේවා උපකාරී වෙනවා. මාදං කියන්නේ මිදි ගෙඩියක් විතර ලොකු වෙන ටිකක් විතර ලොකු ගහක හැදෙන දං වලට හැම අතින්ම සමාන පෙනුමින් යුත් තවත් සුවිශේෂී පළතුරක්.ශරීර අභ්‍යන්තරයේ සිදුවන රුධිර වහනයන් පාලනයට මාදං යොදාගන්න පුළුවන්. ආයුර්වේදයේදී මාදං කොළ පොතු වගේ දේවල් තැලීම්, වැටීම් වැනි අනතුරු වලට ලක්වුණු රෝගීන්ට ප්‍රතිකාර සදහා භාවිතා කරනවා. කීන (සමහර පැති වල චීන) කියන්නේ දං පදුරට සමාන තරමක් දීප්තිමත් කොළ පාටින් පෙනෙන පදුරක හැදෙන දං වලටම සමාන පොකුරු පොකුරු ගෙඩි හටගන්නා වර්ගයක්. හැබැයි ඉදෙද්දි කහ පාටයි. ඉදුනාමත් මිහිරි ඇඹුලකින් කන් දෙක දක්වාම හරිවට්ටවන කීන ගෙඩියක් දෙකක් කෑවාම බඩගින්න මතුවෙන්නෙ හරිම ඉක්මනින්.ඉස්සර කාලෙ කැලේ කොලේ දගළපු පුංචි එවුන්ට කෑම කවන්න "ඇපටෝන්" සිරප් පොවන්න මව්පියන්ට අවශ්‍ය නොවුනේ කීන වගේම ඇඹිල්ලත් ගෙවල් අයිනෙ ලන්දෙ බඩවැටියෙ ඕනෑතරම් තිබුණු නිසා.ඇඹිල්ල කියන්නේ පුංචි පුංචි කොළ තියෙන පොඩි පදුරක ගම්මිරිස් කරලක් වගේ ගෙඩි පොකුරු තියෙන වර්ගයක්.රඹුටන් වගේ කෙදි තියෙන එනසාල් කරලක් වගේ ප්‍රමාණයෙන් යුත් තවත් ඇඹිල්ල වර්ගයක් වියළි කලා‍පයේ බහුලව දක්නට ලැබෙනවා. මේවා ඉදෙන කොට කොළ පාටින් පටන් අරන් ක්‍රමයෙන් රතු රෝස පැහැයට මාරු වෙලා අවසානයේදී කළු වෙලා යනවා. ආහාර රුචිය වඩන්න වගේම පිපාසය සන්සිදුවන්නත් ඇඹිල්ල වලට උපරිමයෙන් පුළුවන්.

අතුපතර තියුණු කටු සහිත විවිධ ගස් වැල් ආක්‍රමණය කරමින් වැඩෙන එරමිණියා වලත් කාලයකට පුංචි පුංචි ගෙඩි එක සීරුවට හටගන්නවා.මේවා ටිකක් ඇඹුල් රසට හුරුයි. කැස්ස හැදිල සෙම බැදිල අවහිර වුණු උගුර පාද ගන්න ලුණු වතුරෙ පොගවපු අමු එරමිණිය ගෙඩියකින් ලැබෙන සහනය අද දවසෙ කැස්සටම කියල විශේෂයෙන් වෙළදපොලට එන ටොෆි, ලොසිංජර වලට වඩා ඉහළයි. හැබැයි අමු එරමිණියා ගෙඩි වැඩිපුර කෑවහමත් උගුර හම යන්න පුළුවන්. ඉදුණු එරමිණියා නම් ඕනෑ තරම් කෑමට ගත්තහැකි. ඊළගට ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවෙන, අද පවා කොළඹ නාගරික ප්‍රදේශවලත් වැවෙන බෝවිටියා රතු රැධීරාණු වර්ධනය කරන ගුණයෙන් යුත් පළතුරක්. කලයක් වගේ හැඩයක් ගන්න හීං බෝවිටියා ගෙඩියෙ පොත්ත ඉවත් කළාම මතුවෙන මදය කුඩු කුඩු සහිත එකක්.මේ මදය කාලා කටපුරා දම්පාට තවරගත්ත සුන්දර අතීතයක් වෙදහාමිනේට උරුම වීම ගැන ආඩම්බරයක් වගේම වෙදහාමිනේගේ දරු පැටවුන්ට ඒ වගේ සුන්දර ළමා වියක් අහිමි වේද කියල බියකුත් වෙදහාමිනේට තියෙනවා. සෙංගමාලය හැදුනු ළමුන්ට වගේම වැඩිහිටි අයටත් , ලේ මදකමින් පෙළෙන අයටත් ගුණදායක හීන් බෝවිටියා කැද ආයුර්වේද ප්‍රතිකාර වලදිත් නිතර භාවිතා වෙනවා. රටපුරාම දක්නට නැති වුණත් වියලි කලාපයේ බහුලය දක්නට ලැබෙන පලු කියන්නෙත් රසවත් පළතුරක්. අරාබිකරයෙ හැදෙන රටඉදි ගෙඩියට හැඩයෙන් වගේම ගුණයෙනුත් සමාන පලු රටඉදි වලට වඩා ප්‍රමාණයෙන් කුඩයි.කොළ පාටින් කහ පාටට හැරිල ඉදෙන පලු ගෙඩි වල ප්‍රණිත පැණි ගතියක් සමග කිරි වලිනුත් සමන්විතයි.නැගෙනහිර පළාතේ සහ පුත්තලම වගේ මුස්ලිම්වරු බහුල ප්‍රදේශ වලදි පලු වලට අධික ඉල්ලුමක් තියෙන්නේ ඒවා පුරුෂ ශක්තිය වර්ධනය කරන ආහාරයක් හැටියට ඔවුන් පිලිගන්න නිසා.ජේ. ආර්.පී සූරියප්පෙරුම මහතාත් දොරමඩලාව වැඩසටහනකදී පුන පුනා ප්‍රකාශකළේ ශක්තිජනක ආහාරයක් වන පලු යනු "දේශීය රටඉදි" බවත් එය ජාතික ආහාරයක් කළ යුතු බවත්ය. පලු වල ගුණ සලකා බැලුවොත් එය වාජීකරණ ශක්තිය ඇතිකරන, ශරීරයේ බලය වඩන, පෘෂ්ඨිය වඩන ආහාරයක්.ඒත් බොහො සිංහල ගම්මැදි වල නම් පලු ගස්යට පරු වෙලා යන පලු ඕනෑ තරම්.



උගුරැස්ස හා කටු ලොවි කියන්නෙත් බොහෝ දෙනා පටලවා ගන්න එක වගේම පෙනුම තියෙන පළතුරු දෙවර්ගයක්.රතු රෝස පාට තද මාංසල කොටසක් තයෙන කාපු ගමන් කට පුරා කහට පැතිරෙන වර්ගය කටුලොවි. ඉදුනාම කළු පාටට හුරු තද දුඹුරු පාටින් යුතු මිහිරි පැණි රහත්-කහට රහත් මිශ්‍රව තියෙන
වර්ගය උගුරැස්ස. උගුරැස්ස ගෙඩයෙ පොත්ත නොබිදෙන්න අතින් තලල කෑවාම කහට ගතිය අඩුයි.හෘද රෝගීන්ට වඩා හතකර, රුධිර ධාවනය ක්‍රමවත් කරන , සම පැහැපත් කරන සහ දන්ත රෝග වලක්වමින් විදුරුමස් ශක්තිමත් කිරීමේ හැකියාවත් උගුරැස්ස වල තියෙනවා.ඒ හැරුණු කොට හෘද රෝගීන්ට හිතකර ඇඹරැල්ලා, සිදරං, හීන් නාරං වගේම දුර්වල ආඝාත හා පක්ෂාගාත රෝගීන්ට ගුණදායක දෙළුම්, අලිගැටපේර, අම්ල පිත්ත රෝගීන්ට සුදුසු ‍ඇඹුල්පේර, රතු පේර (දෙමුහුම් කිලෝ පේර නොවේ.) ආදිය අපේ රටේ උරුමයන්. ඒත් අන්ධයාගේ කකුලේ හැපුණු මැණික ට සිදුවන දේම සිදුවෙමින් අකාරුණික පොරෝ පහරකින් සදහටම මියැදෙන්නට මේ අනගි සම්පත් වලට උරුම වෙලා තියෙනවා.පණුරෝග නසන , අග්නිය වඩන , දත් ශක්තිමත් කරන වෙරළු, වාජීකරණ ශක්තිය වඩන කොට්ටම්බා මද, රට ගොරකා, කාමරංගා, ගර්භාශගත අබාධ වලට ගුණ දෙන උක්පුරුක්, ඉදුණු අළු කෙසෙල් වගේ දේවලුත් අපේ ගුණදායක පළතුරු අතර නිතර නොදකින දේවල්.

මේ විදිහට අපේ ඇසට අසු නොවන බොහෝ ගුණදායක පළතුරු වර්ග වලින් අපේ රට සශ්‍රීකයි. එහෙත් කණගාටුවට කාරණය තමයි, බොහෝ දෙනා මේවා අදුනන්නේ නැතිකම හා ඒවායේ ගුණය පිළිබද අවතක්සේරු මානසිකත්වයකින් කටයුතු කිරීම. යටත් විජිත නිදහසින් පස්සෙ අපි බොහෝ දෙනෙක් විශ්වාසය තබන්නට වෑයම් කලේ නොරටින් එන දේවල් වලට වගේම අප උත්සහ කලෙත් නොරටුන් වගේ ජීවත් වීමටයි කියන එක සාධාරණ සත්‍යයක්. ඒත් ඒ සිතුවිලි හා ඇවතුම් පැවතුම් නිසාම අපි නැවතිල තියෙන්නෙත් දරැණු අදුරු අගාධයක් පාමුල බව තවමත් නිසි ලෙස වටහා නොගැනීම හා අනෙකාට වටහා නොදීමත් අවාසනාවට
ඇත්ත කථාවක්. වැඩියෙන්ම දුක දැනෙන්නෙ අපි අපේ පොඩි එවුන්ටත් තහංචි සීමා පනවල උදේ ඉදන් හවස් වෙනකම් ඩේ කෙයාර් වල ටියුෂන් වල හිර කරල අවහිර කරල තියෙන්නේ ගඩා ගෙඩි අතර රැදෙන මේ සුන්දර අවකාශය නේද කියල හිතෙන කොටයි. ස්වභාවිකත්වයෙන් ඇත් වෙලා තෙරක් නොපෙනෙන වාණිජ තරගකාරී ලෝකෙ අතරමංවෙලා දැන්වීම් වලින් දකින අරැමෝසම් වසවිස ගිලිමින් අපි මේ විනාශ කරගන්නෙ අපේ අධ්‍යාත්මය විතරක් නෙවයි, අපේ අනාගත පරම්පරාවේ නිර්මාණශීලී සෞඛ්‍ය සම්පන්න අනාගතය බවත් මතක් කර ගන්න. මේ එලැඹෙන සිංහල අවුරුදු නිවාඩුවටවත් මලින් පලින් බර සුන්දර ගම්මානයක සතියක් දෙකක් (සංචාරක හෝටලයක නම් නොවේ) නිදහසේ ගත කරල ගඩාගෙඩියක දෙකක රහ බලල එන්න උත්සහයක් ගන්න මැලිවෙන්න එපා.

Email - nagarjunaherble@gmail.com

සේරුවිල නැත්නම් සේරුවාවිල



අවිස්සා‍වේල්ල ට ආයුබෝවන් කියල ඇවිත් වෙදහාමිනේට නවතින්න වුනේ පින්බර සේරුවිලට නුදුරු තැනක. අලුත් පරිසරය, අලුත් මුහුණු එක්ක අලුත් අත්දැකීම් ගොඩක් එකතු කරගන්න මේ ටික කාලෙට හැකියාවක් ලැබුණා. සිංහල බහුතරයක් ජීවත් වෙන බස්නාහිර පළාතේ හැදිල වැඩිල දෙමළ වචනයක්වත් කථා නොකරපු වෙදහාමිනේ දැන් දෙමළත් ටික ටික කතා බහ කරනවා. මේ පරිසරයට මුහු වෙන්න නම් මේ මිනිසුන්ගෙ ජීවන රටාව, වටපිටාව, මේ පරිසරයටම වෙන්වුණු බෙහෙත් පැළැටි රෝග පරාසයන් වගේම භාෂාවත් හදුනගන්න ඕනෑ වුණා.පසුගිය ලිපියෙ සදහන් කරපු විදියට ආරම්භයේදීම ඇතිවුණ අසීරු අමාරුකම් ජය අරගෙන ආපහු වෙදහාමිනේගෙ අඩවියට ගොඩවෙන වෙලාවේ ඒ අත්දැකීම් වලින් ටිකක් බෙදාහදා ගත්තොත් හොදයි කියල හිතුනා.

නැගෙනහිර පළාත කිව්වහම ගොඩක් දෙනාගෙ හිතේ මැවෙන්නෙ යායට පෙනෙන කුඹුරු යායවල්, වැව් වලින් වතුර ගලාගෙන යන කෙත් ඇලවල්, උදේ හවා හේනට කුඹුරට තමන්ගෙ දහඩිය මහන්සිය වැයකරන ගොවි ගෙවිලියන්, හතේ පන්තියේ සිංහල පොතේ පළමුවැනි පාඩමේ ජීවත්වුණු මුදලිහාමි වගේ ළමා ළපැටියන් වගේ දේවල්. ඒ ඔක්කොම මගේ හිතෙත් ඇදිල තිබුණ - කන්තලේ පහු කරගෙන අල්ල, ගල්ආරු(කල්ලාර්), සේරුනුවර හරහා මේ පළාතට එනකම්.දවස් දෙක තුනකට නාගරික ජීවිතයෙන් මිදිල යහලු යෙහෙලියෝවැඩිහිටියො එක්ක විනෝද සවාරියක් හරි වන්දනාවෙ හරි ඇවිල්ල මේ මිනිස්සුන්ගෙ ජීවිත වලට උඩින් එබිල බලද්දි අපිට පේන්නෙ අර මම කළින් කිව්ව විදිහෙ අ.පො.ස. සාමාන්‍යපෙළ චිත්‍ර පාඩමේදී දිය සායම් තවරල ලස්සනට අදින ග්‍රාමීය දර්ශණයක් තමයි. හැබැයි මේ මිනිස්සු එක්ක ජීවත් වෙද්දි ඒ ලස්සනට යටින් මතුවෙන දුක්ඛ දෝමනස්සයන් බොහෝමයි.

සිව්වන ඊළාම් යුද්ධය ඇරඹුණු මාවිල්ආරු සොරොව්ව අත පොවන මානයේ වුනාට මේ ප්‍රදේශයේ ජිවත්වෙන පවුල් තුන්දහසෙන් දෙදහසකටම තමන්ගෙ ගොවිතැන් කරන්න වෙලා තියෙන්නේ අහස් දියෙන් විතරයි. මෙහෙට වැස්ස ලැබෙන්නේ සාමාන්‍යයෙන් ඔක්තෝබර්- ජනවාරි අතර ඊසාන දිග මෝසමෙන්. ඒ නිසා කරන්න ලැබෙන්නේ මහ කන්නය විතරයි. මෙදා පාර නැගෙනහිර පළාතට ලැබුණු අසීමිත වර්ෂාව නිසා සිද්ධ වුනේ පීදෙන්න ලක ලැහැස්ති වෙලා තිබුණු ගොයම සහමුලින්ම වගේ විනාශ වෙලා ඔවුන් තවත් අසරණ වුණු එක විතරයි. ඒ වැස්සෙන් මේ ප්‍රදේශයේ තිබුණු කුඩා වැව් තුන හතරක් කඩාගෙන ගිය නිසා මෙහෙ මිනිස්සුන්ට ඊළග මාස තුන හතරෙදි කටුසර බෝගයක් වගා කරන්න විතරක් නෙවෙයි නාන්න පවා වතුර ටිකක් හොයාගන්න අමාරු වෙන පාටයි. පහුගිය සමයෙත් මෙහෙ උදවිය බොන්න වතුර ටිකක් හෙයාගන්න හැතැම්ම දෙක තුන දුර ලිං වලට යන අවස්ථා වෙදහාමිනේ දැක්කා. එහෙම ගිහිල්ලත් ගොඩක් වෙලාවට ගේන්න වෙන්නෙ මළකඩ/කිවුල් රහ තියෙන කැකෑරුණු වතුර තමයි. ඒ වතුර නිසි ලෙස උණු කර පෙරා පානය නොකරන නිසා මෙහේ මිනිස්සු වකුගඩු අමාරු වලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් පේන්න තිබුණත් ඒකෙන් මිදෙන්න ලොකු වුවමනාවක් එදා දවස කොහොමහරි ගෙවා ගන්න හිතන ඔවුනට ඇත්තෙ නෑ.



වසර තිහක යුද්ධය නිසා මේ ප්‍රදේශවලින් ඉවත්වෙලා ඈත ප්‍රදේශවල පදිංචියට ගිය අය දැන් නැවතත් මෙහේ පදිංචියට ඇවිත් තිබුණත් ඒ එනකොට ඔවුන් සතුව තිබුණු නිවාස විනාශ වෙලා ගිහින්- ඉඩ කඩම් කැලෑවට ගිහින්. ඒ සමහර අය පදිංචි වෙලා හිටපු හෝ වගාකරපු ඉඩම් දැන් මුස්ලිම් ජාතිකයන් විසින් ඔප්පු තිරප්පු සකසාගෙන භාවිතා කරන නිසා එවැනි අයට සිද්ධ වෙලා තියෙන්නේ රජයේ ඉඩම් වල කටුමැටියෙන් සකසා ගත් නිවාස වලට වී දුක්ඛිත ජීවිත ගත කරන්න.මේ ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක වුණත් ඒවායේ බොහෝමයක් නිළධාරීන් සිංහල නොවන නිසා සිංහල ජාතිකයන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය සතුටුදායක නෑ. වෙදහාමිනේ ජාතිවාදී නොවුණත් සත්‍ය තත්වය ඒ විදියෙන් දක්වන්නේ සිදුවන අසාධාරණය දෑසින්ම දකින නිසයි. මෙහෙට පත්වෙන බොහෝ සිංහල පරිපාලන නිලධාරීන් හැකි හැම වෙලාවෙම උත්සහ ගන්නේ දකුණේ ප්‍රදේශයකට මාරුවක් හදාගන්න. හැබැයි උවමනාවෙන්ම ඉන්න හදන සමහර නිළධාරීන් පිරිසකුත් මේ අතර ඉන්නවා. ඒ අය බොහොමයක් ඉඩකඩම් වවාගෙන,දැව හෝ වෙනත් නීතිවිරෝධී ජාවාරම් වලට දායක වෙමින් කටයුතු කරන බව ප්‍රදේශයේ ප්‍රසිද්ධ රහස්. උපන්බිමේ අනවසර පදිංචිකරුවන් හැටියට ලේඛණ ගත වෙලා ඉන්න මේ සිංහල පිරිස් අතර පවතින අසමගියත් , පිල් බෙදීමත් නිළධාරීන් ලවා තමන්ගේ වුවමනා රාජකාරීමය කටයුතු කරගන්න ලොකුම බාධාවක්. කෙටියෙන්ම කිව්වොත් මෙහේ පරිපාලන යාන්ත්‍රණයේ ස්වභාවය 1940 ගණන්වල රජරට ආදායම් පාලකයෙක් වුණු විමලරත්න කුමාරගම වාර්තා කළ විදියෙම තත්වයක් තමා තියෙන්නේ.

ඊළග ලොකුම දුෂ්කරතාවය අලි කරදරය.සෝමාවතී වනෝද්‍යානයට මායිම් වෙන මේ ප්‍රදේශය අලි ඇතුන්ටනම් තෝතැන්නක්. හැමදාම හවස හතර පහ වෙනකොට කැලේ අලි ගම් වදින එක සාමාන්‍ය දෙයක්. අලි කරදරය නිසා කිසිම වගාවක් හරියාකාරව කර ගන්න බෑ. පොල් පැලයක්, කෙසෙල් පැලයක් , වී ටිකක් වගා කර ගත්තත් මෙයාලගෙන් බේර ගන්න පුදුම යුද්ධයක් කරන්න ඕන. මේ මහ කන්නෙට වී වගා කරපු අය හවස හතර හමාර වෙන කොට රෑට බත් ගෙඩියකුත් බැදගෙන කුඹුරට ගිහින් මදුරුවෝ තල තලා පැල් රකින්න පටන් ගන්න ඕන.වසර පහ හයකට කලින් යුද්දෙ දවස් වල මේ තරමට අලි කරදර නොතිබුණු බවයි ගමේ පරණ උදවිය කියන්නේ. දැන් අලි කරදර වැඩි වීමට හේතුව පින්නවලින් හෝ ඇත් අතුරු සෙවණින් මුදා හරින අලි ඇතුන් බොහොමයක් සෝමාවතිය වනෝද්‍යානයට මුදාහැරීම බවයි ඔවුන් කියන්නේ.මොකද මේ අලි මිනිසුන්ට බය නැති නිසා වගාවකට වැදුණු විට කෙතරම් එලෙව්වත් ඉවත නොයා විනාශ කරන බවයි දැනගන්න ලැබෙන්නේ.ඒ නිසා වනෝද්‍යාන මායමට විදුලි වැටක් හෝ ලැබෙනව නම් වඩා යහපත් බවයි ප්‍රදේශවාසීන්ගේ අදහස.



ප්‍රදේශයේ අවහිරතා, දුෂ්කරතා ගැන කියනවනම් තවත් ගොඩක් දුරට විස්තර කරන්න පුලුවන්. ඒ අතරට ගමනාගමන දුෂ්කරතා, නිෂ්පාදන අලෙවිකරණ ගැටලු, සන්නිවේදන පහසුකම් පිළිබද ගැටලු වගේ දේවල් ප්‍රධානයි. ඒ මොන දේවල් වුණත් දරාගෙන මිනිස්සු මෙහේ රැදී සිටිමින් යුධ සමයේ පවා ගම් බිම් අත්හැර නොගියේ සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ගරු සේරුවිල සරණකිත්ති ස්වාමීන් වහන්සේගේ එඩිතර ක්‍රියාමාර්ගයන් නිසයි. අපි කවුරුත් අහල පුරුදු දිඹුලාගල හිමියන්ගේ කාර්යභාරයම නැගෙනහිර සිංහල සළකුණ රදවා තබාගැනීමට උන්වහන්සේ කළ කාර්යභාරය මිළකල නොහැකියි. කොටි ත්‍රස්තවාදීන් විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමූ අවස්ථාවේ එයට විරුද්ධව උපවාස ක්‍රියාමාර්ගයක් දියත් කර රජයේ අවධානය වහාම යොමුකර කොටි ත්‍රස්තවාදය විනාශ කිරීමට මූලිකත්වය ගත්තේත් උන්වහන්සේයි.

එහෙනම් ඉතිං තවත් තොරතුරු සහිත ලිපියකින් යලිත් හමුවෙනතුරු අදට වෙදහාමිනේගේ ලිපිය නවත්වන්නම්.

Email - nagarjunaherble@gmail.com

සේරුවිල සිට නැවතත් ලියමි


වෙදහාමිනේ සේරුවිලට ගියාට පස්සෙ බ්ලොග් ලියනකම් බලාගෙන හිටපු බොහෝ දෙනා ඊමේල් වලිනුත් පෞද්ගලිකව දන්න කියන අය දුරකථන ඇමතුම් වලිනුත් විමසීම් කරල තිබුණා. බොහෝ දෙනා අනුමාන කරපු විදියට බ්ලොග් සටහන් නොලියන්න හේතු වුණේ ඩයලොග් සබදතාවයේ දුර්වල කම් නම් නෙවී. විදුලිය සම්බන්ධතාවය නොමැති කම තමා ඊට ප්‍රධානම හේතුව වුණේ. අපි සේරුවිලට යද්දි අපේ නවාතැනට විදුලිය ලබාදීල තිබුණා.හැබැයි ඒ විධිමත් විදියට මීටර් සවිකරල නෙවෙයි, ප්‍රධාන කම්බියට අමුණපු වයර් එකක් හරහා නීති විරෝධී ක්‍රමයට. යුද්ධය පැවතුනු සමයේ සිටම නැගෙනහිර පළාතේ බොහෝ රජයේ හා පෞද්ගලික ආයතන හා නිවාස වලට විදුලිය ලබාගෙන තිබුණෙ ඒ ක්‍රමයට තමයි. අද වෙනකොටත් ඒ විදියට විදුලිය භාවිතා කරන තැන් මේ ප්‍රදේශයේ ඇවිදින කොට දකින්න පුඵුවන්.
සේරුවිලට ගිය අපි අපේ බඩු බාහිරාදිය අස්පස් කරල ඉවර වෙලා පහුවදා උදේ නිවසේ කිරි උතුරවන්න යද්දි විදුලි බල මණ්ඩලයේ සේවක පිරිසක් ඇවිත් අපේ නිවසෙත් , ප්‍රදේශයේ අනෙත් තැන් වලත් විදුලිය කම්බි කපාගෙන ගලවගෙන ගියා. සමහර විට ඔයාලට මතකත් ඇති විදුලි බල ඇමතිතුමාගේ නියෝගය පරිදි කරපු වැටලීමකින් රටපුරා නීති විරෝධී විදුලි සබදතා ඉවත් කලා කියල පත්තර වල රේඩියෝ වල කිව්වෙ එදා. අපි එම නිවසේ පදිංචියට ආවෙ එදා කියල යාන්තම් පැහැදිල කරල දෙන්න පුලුවන් වුණු නිසා නඩු හබ වලට නොගිහින් ගොඩින් බේරෙන්න හැකියාවක්
අපට ලැබුණා. පස්සෙ නව විදුලිය සබදතාවයක් අයදුම් කළත් උදේ හවස රේඩියෝ වල පත්තර වල පතුරු අරින නැගෙනහිර නවෝදයේ කාර්යක්ෂමතාවය පැනයකට ලක් කරමින් විවිධ හේතු දක්වන නිළධාරීන් නිසා අපේ නවාතැනට මේ ලියන මොහොත වෙනතුරු විදුලිය ලැබිල නෑ.
අවසානයේ නගරයේ ව්‍යාපාරික ගෙඩනැගිල්ලක් කුලියට ගෙන එහි ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අපට සිදුවුණා. පසුගිය ජනවාරි 15දා තමයි ඒ කටයුතු ඇරඹුණේ. එහෙනම් ඉතින් සුපුරුදු බ්ලොග් ලිපියකින් හෙට අනිද්දාම හමුවෙන්නට පොරොන්දු වෙමින් බ්ලොග් නොලීවීමට බලපෑ හේතු දැක්වීම මෙයින් අවසන් කරනවා.

Email - nagarjunaherble@gmail.com

වෙදහාමිනේට මාරුවක් - බ්ලොග් ලිවීමට කොමාවක්!


අවසානයට පෝස්ට් එකක් දාලා මාසයකටත් කිට්ටුයි. ඒත් මේ දිනවල අලුත් ලිපියක් ලියන්න තරම් ඉස්පාසුවක් වෙදහාමිනේට නෑ.මොකද කියනවනම් ‍වෙදහාමිනේලාගේ ව්‍යාපාර කටයුතු කොළඹින් ටිකක් විතර (ඇත්තටම නම් ගොඩක්) දුරට ගෙනියන්න සිද්ධ වෙලා තියෙනවා.මොකද වෙදහාමිනේට ස්ථාන මාරුවක් ලැබුණු නිසා.ස්ථාන මාරුව ලැබිල තියෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේට.හරියටම කිව්වොත් සිව්වෙනි ඊලාම් යුද්ධය ආරම්භ වෙච්ච මාවිල්ආරු සොරොව්වට බොහොම කිට්ටු තැනකට.අලුතෙන් ජනපදකරණය වෙන නැගෙනහිර පළාතේ සිංහල,දෙමළ, මුස්ලිම් ජනතාව වෙනුවෙන් සේවය කරන්නට වෙදහාමිනේ බොහොම කැමැත්තෙන් ඉන්න නිසා මේ පත්වීම බාරගත්තේ සතුටින්.මේ දවස් වල වෙදහාමිනේ ඇතුලු පවුලේ උදවිය ඒ වැඩ වලට මහන්සි වෙන නිසා වැඩ ගොඩ ගැහිල.ඊළඟ ප්‍රශ්ණය එහෙට ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් එහෙම තියෙයිද දන්නෙ නැති එකයි.කොහොම වෙතත්
සියලු වැඩකටයුතු නැවත සංවිධානය කරල ජූනි 20දාගෙන් පස්සෙ ආපහු බ්ලොග් එක ලියන්න තමයි වෙදහාමිනේගේ බලාපොරොත්තුව.එහෙනම් රටේ ඈත කෙලවරේ සිට ලියැවෙන බ්ලොග් ලිපියකින් හමුවෙමු.

Email - nagarjunaherble@gmail.com

තැපෑලෙන් පිහිනනවාට වඩා තැපෑලෙන් බෙහෙත් කිරීම අනතුරුදායකයි!


මේ වෙනකොට වෙදහාමිනේගේ අඩවියට ගොඩවෙන අපේ සහෘදයන් කිහිප දෙනෙක්ම වෛද්‍ය ප්‍රතිකාර නියම කිරීම සඳහා අඩවිය තුළ ඉඩකඩ වෙන්කරන්න කියලා ඉල්ලීම් කරල තිබුණා.දැනටත් එලෙස ආයුර්වේද ප්‍රතිකාර නියම කරන බ්ලොග් හා වෙබ් අඩවි පවතින බව සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරණ ඔබත් හොඳින්ම දන්නවා ඇති.මේ නිසා ආයුර්වේදයේ ප්‍රතිකාර නියම කිරීමේ සම්මත සිද්ධාන්ත ගැන පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් සිදු කිරීමයි මගේ අපේක්ෂාව.

නිවැරදි චිකිත්සා කර්මයක් (රෝගයකට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාදාමය)සිද්ධ වෙන්න නම් ප්‍රධානම කරුණු 4ක් එකිනෙකට සහ සම්බන්ධ විය යුතුයි.එනම්
01. රෝගියා
02. වෛද්‍යවරයා
03. ඖෂධ
04. උපස්ථායකයා මේ කරුණු හතරට කියන්නේ වෛද්‍යාදී චතුෂ්පාදය කියල. ඕක හරියට සමාන පාද හතරක් උඩ නොසෙල්වෙන මේස ලෑල්ලක් වගේ කියල තමයි ඉගැන්වීම් වල පැහැදිලි කරන්නේ.එක කකුලක් හරි සමාන නොවුණොත් මේසය ස්ථාවර නොවෙනවා වගේ මේ කරුණු හතර නිසිලෙස සම්බන්ධ නොවුණොත් රෝගය සුව වීමත් ස්ථීර නෑ.

පළමුවෙන්ම රෝගියාගේ පාර්ශවයෙන් රෝග ලක්ෂණ ප්‍රකාශ කිරීමක් සිදුවෙනවා.එහිදී රෝගයට අදාළ යැයි සිතන සියඵ කරුණු නොසඟවා වෛද්‍යවරයාට පැවසීම රෝගියාගේ පාර්ශවයෙන් සිදුවිය යුතුයි.පරණ කතාවකුත් තියෙනවා නීතිඥයාටත් වෛද්‍යවරයාටත් බොරුනොකිය යුතුමැයි කියල.මොකද නීතිඥයාට බොරු කීවොත් අඩි 6ක් උඩටත් වෛද්‍යවරයාට බොරු කීමෙන් අඩි 6ක් යටටත් යන්න සිදුවෙනවානෙ.එසේම රෝගියා වෛද්‍යවරයා කරා පැමිණිය යුත්තේ ඔහු කෙරේ පූර්ණ විශ්වාසයකින්.අදාළ වෛද්‍යවරයා කෙරෙහි යාමට යම් දෙගිඩියාවක් ඇත්නම් වෙනත් සුදුසු වෛද්‍යවරයෙකු සොයා යෑම නුවණට හුරුයි.
වෛද්‍ය වරයා විසින් රෝගියාව(ස්ත්‍රී පුරුෂ බව/වයස) හා රෝගී ලක්ෂණ බාහිරව හඳුනාගැනීම තමයි මුලින්ම සිදුවෙන්නෙ.එහිදී වෛද්‍යවරයා තමන්ගේ රෝගියාව සුව කිරීමට හැකියි යන විශ්වාසයෙන් ප්‍රතිකාර ඇරඹිය යුතුයි.යම් හෙයකින් තමන්ගේ ප්‍රතිකාර වලින් අදාළ රෝගියාව සුවපත් කළ නොහැකි නම් වෙනත් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් වෙත රෝගියාව යොමුකිරීමට වෛද්‍යවරයා ක්‍රියා කල යුතුයි.ප්‍රතිකාර කිරීම අරඹන්නේ නම් රෝගය හඳුනාගැනීම තමයි ප්‍රධාන දේ.අනිත් කාරණා තුනම තිබුණත් වෛද්‍යවරයා නිසි ලෙස රෝගය හඳුනා නොගෙන ප්‍රතිකාර නියම කළොත් චිකිත්සා කර්මය එතැනින්ම ඉවරයි.රෝගය නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර විනිශ්චය කිරීම සඳහා ෂඩ් විධ පරීක්ෂා ක්‍රම ගැන පැහැදිලි කෙරෙන්නේ මෙතෙන්දී.

01. දෘෂ්ඨි පරීක්ෂාව
02. ඝ්‍රාණ පරීක්ෂාව
03. ශ්‍රවණ පරීක්ෂාව
04. ජිහ්වා පරීක්ෂාව
05. ස්පර්ෂ පරීක්ෂාව
06. ප්‍රශ්ණ පරීක්ෂාව විදියට තමයි ෂඩ් විධ පරීක්ෂා ක්‍රම හැඳින්වෙන්නෙ.

දෘස්ඨි පරීක්ෂාවෙදි රෝගියාගේ බාහිර නිරීක්ෂණ අනුව රෝගය හඳුනාගැනීම සිදුකෙරෙනවා.එහිදී තැලුම්, තුවාල,කුෂ්ඨ, අර්ශස් ආදී දේවල් නිරීක්ෂණය කළ හැකියි.ඝ්‍රාණ පරීක්ෂාවෙදි වෙන්නේ වෛද්‍යවරයාගේ නාසයට දැනෙන දේ මඟින් රෝගියාව හඳුනා ගැනීම.උදාහරණයක් විදියට උණ රෝගියෙක් නම් වෛද්‍යවරයාට තමා අසලට පැමි‍ණීමේදීම උණ ට අදාල ගන්ධය දැනෙනවා.ඒවගේ සමහර පීනස් රෝග වලදිත්, බඩවැලේ හා අන්ත්‍ර රෝග වලදිත් රෝගියාගේ කටින් පිටවෙන ගන්ධය අනුව රෝගය වෙන්කරල හඳුනාගත හැකියි.සමහර වෙලාවට රෝගියාගේ මළ, මුත්‍රා, දහදිය ආදියත් මේ පරීක්ෂාවට භාජනය කෙරෙනවා.කණ ආශ්‍රිතව රෝග හඳුනාගැනීම ශ්‍රවණ පරීක්ෂාවට අයත්. රෝගියාගේ හෘද ශබ්ද,ගර්‍භණීන්ගේ භ්‍රෑණ ශබ්ද, හෘද කපාට වල ආබාධ, ගර්‍භ සංකූලතා හඳුනාගන්න මෙමඟින් පුලුවන් වෙනවා.අතීතයේදී බාහිරව කණට නොදැනෙන සියුම් ශබ්ද පරීක්ෂාව සඳහා ආයුර්වේද වෛද්‍යවරුන් විශේෂ උපකරණයක් භාවිතා කලා. එහි තාක්ෂණ දිගුවක් හැටියට තමයි අද භාවිතා වන වෙද නලාව (stethoscope) නිර්මාණය වෙලා තියෙන්නේ.(හැබැයි දැන් එය වෙද මහත්වරුන්ට අකැප දෙයක් හැටියටයි බොහෝ බටහිර වෛද්‍යවරු හිතාන ඉන්නෙ.)රෝග විනිශ්චයට දිව උපයෝගී කර ගැනීම වෙනුවට රැධිර,මළ,මුත්‍රා,සෙම ආදිය තාක්ෂණික ක්‍රම මඟින් පරීක්ෂාව තමයි වර්තමානයේදී සිදුවෙන්නෙ.ඒත් අතීතයේදී ජිහ්වා පරීක්ෂාව යටතේ මේවා දිව ගා බැලීමෙන් රෝග හඳුනා ගෙන තියෙනවා.රටේ රජතුමාගේ අදාළ ද්‍රව්‍ය දිවගා බලා වෙනසක් ඇත්නම් රාජකීය වෛද්‍යවරයාට වාර්තා කිරීම සඳහා වෙනමම පුද්ගලයෙක් ඉඳල තියෙනවා.ඊළඟට බොහෝම වැදගත් පරීක්ෂාව තමයි ස්පර්ශ පරීක්ෂාව.ගෙඩි, කුෂ්ඨ, කැඩුම් බිඳුම්,වාතරක්ත, උණ වගේ රෝග හඳුනාගැනීම සඳහා මේ ක්‍රමය යොදාගන්නවා.මේ සියඵ පරීක්ෂාවන් වලට අසු නොවුණු රෝගියාට පමණක් දැණෙන වෙනත් අපහසුතා (වේදනාවන්, දැවිලි, කැසීම්,හා රෝග මතුවුණු කාල සීමා ආදිය) ප්‍රශ්ණ පරීක්ෂාවේදි තහවුරු කර ගන්න පුඵවන්.මේ කාරණා වලට අමතරව දේශීය ආයුර්වේද වෛද්‍යවරයා තවත් හොඳම පරීක්ෂාවකට රෝගියාව ලක් කරනවා.ඒ තමයි නාඩි පරීක්ෂාව.පුද්ගලයකුගේ රුධිරයේ සංසරණ ක්‍රියාවලිය ට අදාල රටාවන් වල වෙනස්කම් අනුව රෝග නීර්ණය කිරීම මෙහිදී සිදු කෙරෙනවා.ඇතැම් විට ඉහත ෂඩ් විධ පරීක්ෂාවන්ට හසු නොවන රෝගියාද නොදන්නා නිදන්ගත රෝග තත්වයන් මෙහිදී හඳුනාගන්න පුඵවන්.මෙලෙස රෝගය නිසි ලෙස හඳුනාගත් පසු වැදගත්වන ඊළඟ කාරණය තමයි ඖෂධ.ඖෂධ නියම කිරීමේදි පිරිසිදු හා යෝග්‍ය ඖෂධ අදාල මාත්‍රාවට අනුව රෝගියාට නියම කළ යුතුයි. එසේම ඖෂධ භාවිතයේදී වැලකිය යුතු ක්‍රියාවන්, අපත්‍ය ආහාර , ඖෂධ භාවිතය නැවැත්වීමේ කාල සීමා ආදිය පැහැදිලිව සඳහන් කළ යුතුයි.
මුල් අංග තුන ගැන වාදයක් නැතත් සිව්වෙනි අංගය අනිවාර්ය වෙන්නෙ කොහොමද කියල සමහර විට ඔබට හිතාගන්න බැරිව ඇති.යමෙක් රෝගි වුණාම ඔහු කායිකවත් මානසිකවත් අබල දුබල වෙනවා.අසරණ වෙනවා.ඒ වගේ වෙලාවක අනිවාර්යෙන්ම දයාව, කරුණාව, ආදරය හා පිළිගැනීම රෝගියෙකුගේ මූලිකම අවශ්‍යතාවයන් වෙනවා.බෙහෙත් හේත් විතරක් ලැබිල මේ දේවල් නොලැබුණොත් සාර්ථක ප්‍රතිඵල ලබන්න බෑ.ඒ වගේම මේ දේවල් නොඅඩුව ලැබෙනව නම් සමහර රෝග බේත් නැතිවම සනීප වෙන්න පුඵවන්.බටහිර වෙදකමේදී මේ තැන ලැබෙන්නෙ හෙද හෙදියන්ට.ඒත් මේ අයගෙ වත්මන් හැසිරීම නිසා බොහෝ විට නිරෝගි වෙනවාට වඩා රෝගය දරුණු වන හෝ වෙනත් අවදානමක් දරාගන්නට වෙන අවස්ථාත් බොහොමයි.හැබැයි ආයුර්වේදෙදි උපස්ථායකයා හැටියට සැලකුවේ රෝගියාගේ ළඟම ඥාතියාව තමයි.

ඉතින් ඔය සඳහන් කරපු විදියට නිසි නියමයෙන් රෝගියෙකුට ප්‍රතිකාර කරන්න නම් ඔය සියඵ අංග ප්‍රායෝගිකව එකිනෙකා මුණ ගැසිය යුතුයි. බටහිර වෛද්‍ය ක්‍රමයෙදිත් ඔය කරුණු ඔය විදියම වෙන්න ඕන. මොකද බටහිර වෛද්‍ය විද්‍යාවෙත් රෝග පිළිබඳ හදාරන්නේ වසර දහස් ගණනකට පෙර සිට ආයුර්වේදයේ භාවිතා වෙන "ව්‍යාධි විණිර්ණය" කියන ඉන්දියාවේ ලියවුණු ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනයෙන්ම වීම.බටහිර වෛද්‍යවරු එහි ඉංග්‍රීසි පරිවර්තනයෙන් ඉගෙන ගනිද්දි ආයුර්වේද වෛද්‍යවරු එහි මුල් ග්‍රන්ථයෙන් තවමත් ඉගෙන ගන්නවා.හැබැයි බටහිර ක්‍රමයේ වෛද්‍ය සාරධර්ම කෙසේ වෙතත් තාක්ෂණය අතින් නම් ආයුර්වේද ක්‍රමයට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නා බව අපි පිළිගන්න ඕන.



දැන් අපි බලමු තැපෑලෙන් බෙහෙත් කිරීම ගැන.මුලින් මුලින් මේක තිබුණෙ බොහොමයක් දෙනා මල් පත්තර කියන තරුණ තරුණියන් ඉලක්ක කරගත්ත පත්තරවල. කවුරු හරි කෙනෙක් තමනගෙ අසනීප ගැන ආරූඪ නමකින් හෝ නිර්ණාමිකව තැපැල් පතක ලියල එවන වෛද්‍ය ගැටඵ වලට ප්‍රතිකාර පුවත්පත කියවන සෑම කෙනෙකුටම බලාගත හැකිවෙන පරිදි වෙනම තීරුවක පළ කිරීම තමයි මෙහිදී සිදුවෙන්නෙ.මේ තැපැල් පත එවල මාසයකට දෙකකට පස්සෙ තමයි මේක පුවත්පතේ පල වෙන්නේ.එතකොට සමහර විට අදාළ ලෙඩේ උත්සන්න වෙලා. නැත්නම් රෝගියා මුදල් ගෙවල බෙහෙත් අරන් සනීප වෙලා.එතකොට බොහෝ දුරට වෙන්නේ අදාළ පැනයේ සඳහන් රෝග ලක්ෂණ තියෙන වෙනත් පාඨකයෙක් අදාළ බෙහෙත් මිළදී ගෙන පාවිච්චි කිරීමයි.මීට වඩා ඉක්මන් ක්‍රමයක් විදියට දැන් දැන් වෙබ් අඩවි වලත්, ගුවන් විදුලි නාලිකා වලත් මේ ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනව. අපේ රටේ නොවුණත් මීට වඩා ප්‍රායෝගික ක්‍රමයක් දැන් තියෙනවා ටෙලි මෙඩිසින් කියල.පහත තියෙන්නේ මේ විදියට "අපේ රටේ දේ හැමටම වඩා වටිනා" බව තේමාව කරගත් එක් බ්ලොග් අඩවියක පළවු පැනයක් හා එහි පිළිතුර.(මෙම පැණය එවූ කෙනාගේ නම පළවී නොතිබූ අතර ප්‍රතිකාර නියම කළ ආයුර්වේද වෛද්‍යවරයාගේ නම වෙදහාමිනේ විසින් ඉවත් කළ බව සලකන්න.)
රෝගය * මසකට වරක් දෙවරක් සෙම්ප්‍රතිශ්‍යාව වැළදේ.උදේ කාලයේ සෙම් ගතිය අධික වේ. සෙම පිටවූ කල්හි මදක් සහනය දැනේ. ආශ්වාස කරන විට පපුවේ ශබ්ධයක් ඇතිවේ.ශරීරයද ක්‍රමයෙන් කෙට්ටු වන බව පෙනේ.
ප්‍රතිකාරය * ඔබ මෑතකදී විරේකයක් නොකලේ නම් විරේකයක් සදහා කිපියාවු සෙම් බැහැර කිරීම සදහාත් බටු දලු,ආඩතෝඩා දලු, නික දලු, කිරිඅගුන දලු ටික ටික ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා පෙරා බුද්ධරාජ, යෂ්ටි කල්ක එක් වර්ගයෙන් මදටිය ඇටයක ප්‍රමාණය මිශ්‍රකොට මීපැණී දමා උදේ හිස්බඩේ බොන්න. උදේට කැදවතුර , දවල්ට තැම්බුම් හොදි සමග බත් කන්න.ඉන්පසු උදේ සවස කොල්ලු , බෙලිමුල් , අරළු , බුලු , නෙල්ලි, වියලි ඉගුරැ , ගම්මිරිස් , තිප්පිලි , කලුදුරැ , සූදුරැ , අසමෝදගම් , සිවිය මුල් කලද බැගින් ගෙන වතුර පත අට පතට සිදුවා පෙරා සීනි මීපැණි දමා දෙවේල බැගින් පත හයක් බොන්න.ඉන්පසු උදේ සවස කට්ඵලාදී චුර්ණය සහ ශෘංග්‍යාදී චූර්ණය සමසේ මිශ්‍රකොට වරකට තේහැදි දෙකක ප්‍රමාණය නටන වතුරට දමා තැම්බෙන්න වසා තබා නිවුනාම පෙරා සීනිදමා බොන්න.දවල්ට රෑට කෑමට පෙර ද්‍රාක්ෂෘරිෂ්ට මේසහැදි දෙක බැගින් බොන්න. පාඨා තෛලය හිසේ ගාන්න. නාසයට උරා සෙම බැහැර කරන්න. පිනිබෑම , නිදිමරීම , තද අව්වේ සිටීම අගුනයි.

මේ ප්‍රශ්ණෙදි පළවෙනියෙන්ම රෝගය වැළඳී ඇත්තාගේ වයස හා ලිංගිකත්වය පැහැදිලි නෑ.තරුණ වයසෙ අයෙකුට නියම කරන බේත් මහල්ලෙකුට යෙදුවොත් එතැන ප්‍රශ්ණයක්.ස්ත්‍රී පක්ෂයේ අයෙකුට කිසියම් හෝ පෞද්ගලික කාරණා පවතී නම් ඒවා සලකා නොබලා සමහර බෙහෙත් නියම කළ නොහැකියි.ඊළඟට සෙම්ප්‍රතිශ්‍යාව නිතර වැළඳීමට හේතුව හිතාගන්න බෑ. මොහු කම්කරුවෙක් නම් නිතර දූවිලි වලට මුහුණ දෙන කෙනෙක්නම් කොතරම් ප්‍රතිකාර කළත් පලක් නෑ රෝගයෙන් වැළකීමට පෙර උපදෙස් ලබා නොදී.සමහරවිට රෝගියා කඳුකරයේ පදිංචි අයෙක් නම් නිතරම පින්නට හිරිපොදට විවර වෙන අයෙක් නම් ලබාදිය යුතු ඖෂධ හා නියමයන් වෙනස්.මේ මොනවත් නොවී වැරදි ආහාර හෝ විහරණ රෝගයට හේතුවක් වෙන්නත් පුඵවන්.ඔහු මීට පෙර ප්‍රතිකාර ලබාගත්- එහෙත් සුව නොවූ අයෙක්ද යන්න පැහැදිලි නෑ.ඒවගේම වෙනත් නිදන්ගත හෝ ජානමය රෝග වලට ගොදුරු වී සිටි හෝ සිටින අයෙක්ද යන්න පැහැදිලි නෑ.( උදාහරණ - දියවැඩියාව, ඇදුම, රූමටික් උණ, කහඋණ ආදිය)ඇදුම හතිය ඇති අයෙකුට හෝ පරම්පරාවේ එවැනි රෝග වැළඳුනු අය සිටින විට බටු දඵ හා ආඩතෝඩා අඵ යොදාගැනීමෙන් වෙන සෙම බුරුල් වීම අනතුරුදායක වෙන්න පුඵවන්.ඒ සමඟ යෙදෙන අනෙක් ඖෂධ පරිපූරක වලට (නිකදඵ, කිරිඅගුණ දඵ, ද්‍රාක්ෂා හා ශෘංග්‍යාදී චූර්ණය)එවැනි තත්වයක් වළක්වාලීමේ ප්‍රබල හැකියාවක් නෑ. අනෙක එවන් තත්වයක් ඇතිවුණොත් ඊළඟ ඊමේල් එකට පිළිතුරු එනකම් හිටියොත් කොහොම වෙයිද? මොකද රෝගියාගේ ඔරොත්තු දීමේ හැකියාව, නාඩි පරීක්ෂාව ආදිය නොකරණ නිසා බෙහෙත් පත්තියම් වීමේ ප්‍රතිශතය වෛද්‍යවරයාට මෙ‍හිදී හඳුනාගන්න බැහැ.

ඒ වගේම තමයි මේ රෝගියා අපේ සමාජයේ බොහෝ දෙනා අද පෙලෙන ගැස්ට්‍රයිටීස් තත්වයෙන් පෙළෙන අයෙක් නම්- වකුගඩු හෝ අක්මා ආබාධයකට ලක්වූ අයෙක් නම් (සමහරවිට රෝගියා ඒ පිළිබඳව නොදැන හිටියත් නාඩි පරීක්ෂාවේදී වෛද්‍යවරයා එය අවබෝධ කර ගන්නවා.)තනුක නොකර අරිෂ්ඨ ආසව භාවිතයට නියම කිරීම මඟින් අදාළ රෝග උත්සන්න විය හැකියි.ඒ නිසා එවන් රෝග ඇත්නම් ක්වාත වර්ග නියම කිරීමයි කළ යුත්තේ. හැබැයි ක්වාත දරන්න බැරි තරම් මිළෙන් ඉහළයි. නමුත් වෛද්‍යවරයා හමුවට යන රෝගියා තැපෑලෙන් බෙහෙත් ගන්න රෝගියා වගේ බෝතලයක්ම වෙළඳපොලෙන් ලබාගත යුතු නෑ. අවශ්‍ය ප්‍රමාණය වෛද්‍යවරයා විසින් බෝතලයට දමා දීම සිදු කරනවා. දැන් මෙහිදී වුණත් නියම කර ඇති අරිෂ්ඨය සම්පූර්ණ බෝතලයක්මත්, චූර්ණය ග්‍රෑම් සියයක්වත් කල්කය ග්‍රෑම් පනහක්වත් වන ලෙස අදාල රෝගියා මිළට ගත යුතුයි.මොකද බෙහෙත් බඩු කඩවල මේවා කෂාය වගේ කිරල විකුණන්නේ නෑ. ඒ ටිකටම රුපියල් දාහකට වැඩි මුදලක් වැය වෙනවා. කෂායත් එකතු වුණාම එක්දහස් පන්සීයක් වෙනවා නියතයි. තමන් වෛද්‍යවරයෙක් ගාවට ගියානම් බෙහෙත් අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලබාදෙන නිසා රුපියල් තුනසීයකින් පමණ මේ සියල්ල සම්පූර්ණ කර ගතහැකියි.

අපි හිතමු මේ රෝගියා වෙනත් රෝග නැති නිරෝගී අයෙක් කියල.ඔහුට නියම කරන අරිෂ්ඨය දිනකට මේස හැන්දක් බැගින් භාවිතා කරන්න කියල තියෙන නිසා ඔහුට මෙය දින හැත්තෑ පහක් භාවිතා කරන්න පුඵවන්.අදාළ රෝගියා හිතුවොත් "බෙහෙත් නිසා මේක දිගටම බිව්වොත් කමක් නෑ" කියල මොකද වෙන්නේ? රෝගයකට අදාළව ඖෂධයක් වීමෙන් අමතරව අරිෂ්ඨයෙන් වෙන්නේ අපේ ස්නායු අන්ත උත්තේජණය කිරීම.ඒකෙන් වෙන්නෙ අනෙක් ඖෂධ ටික රෝගියාගේ ශරීරයට උරාගැනීම පහසු කිරීම. මේක දිගින් දිගටම බිව්වොත් ඒක උත්තේජනයක් හැටියට ක්‍රියා නොකර ආහාරයක් හැටියට ශරීරයට යොදාගන්නවා. එමගින් වෙන්නෙ ස්නායු දුර්වල වීමේ ආරම්භය සනිටුහන් වීම. ඒවගේම යම් ප්‍රමාණයකට ඇල්කොහොල් ප්‍රතිශතයක් පැවැතීම මඟින් මෙයට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවයකුත් රෝගියාට නොදැනීම ඇතිවෙන්න පුඵවන්.එවිට වෙන්නෙ රෝගියා දිගින් දිගටම අරිෂ්ඨ භාවිතයට යොමුවීම මෙය අවුරුද්දක් විතර දුර ගියොත් සිරෝසිස් වගේ රෝගයක් හැදෙන්නත් ඉඩ තියෙනවා. මොකද වෛද්‍යවරයා බෙහෙත් ටික දෙනවට වඩා වැඩි නිදහසකින් කඩෙන් අරිෂ්ඨ ගන්න හුරුවීමෙන් බෙහෙත් කෙරෙහි රෝගියාගේ තියෙන බය නැතිවීමත්, පාලනයට යමෙක් නොසිටීමත් නිසා මේ දේවල් මෙහෙම වෙලා රෝගී වූවන් බොහොම දෙනෙක්ට අපි අවසානයේ ප්‍රතිකාර කරල තියෙනවා.

බැරිවෙලාවත් මෙය දකින රෝගියා නොවන වෙනත් මෙවැනිම ලක්ෂණ ඇති රෝගියෙක් මෙය කියවා ප්‍රතිකාර අනුගමනය කළොත් මොනවා වෙයිද? අවසානයේ මේ සියඵම දෙනා තමන්ගේ අනුවණ යොමුවීම් වල අවධානම් ප්‍රථිඵල හමුවේ දෝශාරෝපණය කරන්නේ "ආයුර්වේදය"ට. "අපි ආයුර්වේද ප්‍රතිකාර කලා. සුව වුණේ නෑ." "මගේ සෙමත් ඇවිස්සිලා -පපුවෙ අමාරුවත් හැදුණා" වගේ දේවල් හන්දියක් හන්දියක් ගානේ කියමින් යන බොහෝ දෙනා එක්කො නිසි ක්‍රමයට ප්‍රතිකාර අරන් නෑ.නැත්නම් නිවරදිව වෛද්‍යවරයෙක් වෙත යොමු වී ප්‍රතිකාර අරන් නෑ.කොහොම වුණත් තමන්ගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්නට අත්හදා බැලීම් කරන්නට යාම රෝගියෙක් හැටියට ඔබටත්,වෘත්තීය ආචාර ධර්ම වලින් බැහැරව එවන් ප්‍රතිකාර වලට යොමුවීම ආයුර්වේදයේ උන්නතියම නිති ප්‍රාර්ථනා කරන මට වෛද්‍යවරියක හැටියටත් යෝග්‍ය නෑ.තමන්ගේ ශරීරය පෙලන රෝගයක් වෙනුවෙන් තෝරා ගත් දිනයක පැය දෙක තුනක් වෙන්කරල බෙහෙතක් ගන්න යන්න මැලි වෙන්න එපා.ඒවගේම පත්තර වල එක එක ලෙඩ ප්‍රාතිහාර්යයයෙන් සනීප කරනවාය කියල දැන්වීම් දාන,තමන්ගේ රෝගීන් මේ මේ අයයැයි කියමින් වෘත්තීය ආචාර ධර්ම කෙලෙසන කිසිම කෙනෙක් සැබෑ ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස පිළිගන්න එපා.මොකද අපිට හැදෙන කිසිම අසනීපයක් දවසෙන් දෙකෙන් ප්‍රාතිහාර්ය වලින් සනීප කරන්න කිසිම වෛද්‍යවරයෙකුට බෑ. මෙම ලිපියේ මුලින් සඳහන් කල සියඵ කාරණා සලකා බලා කරන සුදුසු ප්‍රතිකාර නියම කිරීමෙන් හා ඒවා පිළිපැදීමෙන් පමණයි ඕනෑම රෝගයක් සුව කළහැක්කේ.මෙය කියවන තරුණ වයසේ පසුවන අපේ අනාගත පරපුරේ ඇත්තන් හෝ සත්‍යය අවබෝධ කොට ගෙන නිරෝගී සුවය පරිපූර්ණව විඳගන්නට යොමුවන්නේ නම් එය හෙලවෙදගෙදර අපිට සතුටකි.


Email - nagarjunaherble@gmail.com