පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ සැබෑ පංචකර්මය


අද කාලෙ ආයුර්වේද කේෂත්‍රයේ හොදම ව්‍යාපාරික යොමුවීම හැටියට මතුවෙලා තියෙන්නේ''ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන"නමින් පවත්වාගෙන යන ආයතන ආරම්භ කිරීම.කාලෙන් කාලෙට විවිධාකාර ව්‍යාපාරික රැලි වලට අහුවෙන ආයුර්වේදය මේ දවස් වල පංචකර්ම රැල්ලට අහුවෙලා එහාට මෙහාට පැද්දෙනවා. අද දවස වෙනකොට බස්නාහිර හා දකුණු පළාත,මහනුවර නගරය, දඹුල්ල - අනුරාධපුර වගේ ප්‍රධාන සංචාරක කළාප ආශ්‍රිතවත් අගලෙන් අගලට බෝඩ් ලෑලි ගහල තියෙන 'පංචකර්ම මධ්‍යස්ථාන' දකින්න පුළුවන්. අනික් ප්‍රදේශ වල ගත්තත් නගරයකට එකක්වත් මේ ආකාරයේ "පංචකර්ම" මධ්‍යස්ථාන තියෙන බව රහසක් නොවෙයි.නිකම්ම නිකම් මසාජ් සෙන්ටර් එකකට වැඩිය මේ 'පංචකර්ම මධ්‍යස්ථාන' වෙනස් වෙන්නෙ කොහොමද කියන එක හොයන්න බලන්න කෙනෙක් නැති නිසා අද වෙනකොට ආයුර්වේදයේ නම විකුණමින් ගණිකා මධ්‍යස්ථාන විවෘත වීමම කණගාටුවට කරුණක්.

ඇත්තටම ආයුර්වේද ක්‍රමයේ ප්‍රතිකාරවලදී "පංචකර්ම චිකිත්සාව" කියල කොටසක් භාවිතා වෙනවා.ඒක කඩේට ගිහින් තේ එකක් බීල ගෙදර එනව වගේ, ඇදුමක් අරන් එනව වගේ පහසුවෙන් ආරම්භ කරල අවසන් කරන්න බැරි ක්‍රමවත්ව, විධිමත්ව, සංයමයෙන් කරන්න ඕන ක්‍රියාවලියක්. අනෙක ඒක කිසිදු ආයුර්වේද දැනුමක් නැති තෙරපි(මසාජ්) දැනුම පමණක් ඇති තරුණයෙක් හෝ තරුණියක් යොදාගෙන කරන්න බැරි අවදානම් සහගත ක්‍රියාවලියක්.උදේ ඉදල වෙනත් වැඩ වලින් හෙම්බත් වෙලා පැයකට දෙකකට 'පංචකර්ම මධ්‍යස්ථාන'යකට ගොඩ වෙලා
හිතටවත් ගතටවත් නොදැනෙන ප්‍රතිකර්මයකට ලක්වෙලා රුපියල් දෙදහක් විතර වියදම් කරල ලබාගන්න දේට වඩා ජීවිතයේ පැවැත්මට අතිශය වැදගත් ‍‍භෞතික හා මානසික සහනයක් දැනෙන වැඩපිළිවෙලක්.

මම මෙම ලිපි පෙළින් හැමදාමත් කියනව වගේ අවිචාරයෙන් දෑස් නිලංකාර කරගෙන හැල්මෙ දුවන 'ඉන්ස්ටන්ට්' සමාජයේ පුරවැසියන්ට මේ ආයුර්වේද ක්‍රමයෙන් නිසිඵල ලබන්න බෑ. දැනට අවුරුදු දහයකට දොළහකට කලින් ලෝකයට දැනෙන්න ගත්ත 'ස්වභාවිකත්වයට ලංවීමේ රැල්ල' ක්‍රමයෙන් ලංකාවටත් නැවත දැනෙන්න ගත්තෙ ඊට අවුරුදු කිහිපයකට පස්සෙ.ඉතාලියේ -ඇමරිකාවෙ වගේ රටවල් වල ඉන්දියානු ආයුර්වේද වෛද්‍යවරු වගේම අරාබි යුනානි
වෛද්‍යවරුත් මූලික වෙලා ආරම්භ කරපු පංචකර්ම මධ්‍යස්ථාන, ත්‍රිගර්භ කුටි වල සාර්ථක ක්‍රියාදාමයන් අත්විදින්න භෞතික වගේම මානසික නිදහසකුත් ඇතිකරගත්තු බටහිරයන් ඒවගෙන් නිසිඵල ගනිද්දි, තරුණ පෙනුම, දිර්ඝායුෂ ලබද්දි
ආයුර්වේදයේ අයිතිකරුවන් කියල කියන්න පුළුවන් අපේ රටවල ඒ නමින් බිහිවෙන්නෙ "ගණිකා මඩම්" නම් ඒක හරිම ඛේදවාචකයක්. ඇමරිකානුවන්ටත්, චීන්නුන්ටත් වඩා දක්ෂ ව්‍යාපාරිකයන් වෙන්න හදන අපේ ව්‍යාපාරිකයින් ඒවගේ රටවල්වලින්ම ගෙන්වන සුදු ග්‍රීස් වලට, ක්‍රීම් බේස් වලට ඉන්දියාවෙන් ගෙන්වන තෙල්වර්ග, ස්වභාවික සුවද සහිත
එසන්ස් කලවම් කරල "ආයුර්වේද නිෂ්පාදන" කියල වෙළදපාලට දාන කොට අවිචාරවත්ව ඒව පසුපස දුවන සමාජයක් විදියට අපේ මොළගෙඩි නිර්වින්දනය කරන්න මේ රටේ විද්‍යුත් ජනමාධ්‍යයත් (විශේෂයෙන්ම උදේ වරුවෙ විකාශය වන
රූපවාහිනී වැඩසටහන්) කුප්‍රකට දායකත්වයක් ලබාදීල තියෙනවා.


ඔය කියපු ප්‍රවණතාවයෙම දිගුවක් විදිහට අපේ රටේ සාමාන්‍ය පැළැන්තියෙන් උඩින් ඉන්න යමක් කමක් තියෙන පැළැන්තියේ අයට ගැලපෙන්න "බියුටි සැලූන්" ක්‍රමවේදයත්, නාගරික"සම්බාහන මධ්‍යස්ථාන" ක්‍රියාදාමයත්, ආයුර්වේද තෙල් බේත් වර්ග කිහිපයකුත් එකතු කරල 'පංචකර්ම මධ්‍යස්ථාන'බිහිවෙන්නෙ "ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන" විදිහට. සාමාන්‍ය බියුටි සැලූන් එකකට වඩා සාමාජීය ගෞරවයකුත්,සම්බාහන මධ්‍යස්ථානයකට වඩා නීතිමය ආරක්ෂාවකුත් තියෙන නිසා ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන වලට පාරිභෝගිකයෝ ගෙන්න ගන්න අමාරු නෑ. මෙච්චර කාලයක් ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රමවේදයක් වුණු පංචකර්මය මාකට් වෙලා කැරට්,බෝංචි ගානට එනකම් හුරුපුරුදු වචනයක් වුනේ වර්තමාන ව්‍යාපාරිකයන් විසින් වෙනත් ලෝකෙකින් හොයාගෙන ආව අරුම පුදුම බලගතු 'දිවඔසු'වක් ගානට හිතාගත්තු අවිචාරවත් අනිවාර්ය පාරිභෝගිකයන් කණ්ඩායමකුත් බිහිකරගෙන.

ඇත්තටම ආයුර්වේදයේ ඇතුළත් පංචකර්මය කියන්නේ දැන් කාලෙට ගැලපෙන සරලම උදාහරණයකින් කිව්වොත් "වාහනයක් සර්විස් කරනවා" වගේ වැඩක්. අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ශෝතස් වල තැන්පත් වෙලා තියෙන සෙම් සොටු තෙල් බැක්ටීරියා වගේ දේවල් හා වෙනත් අපද්‍රව්‍ය ක්‍රමවත් විදියට ඉවතට ඇදල දාල අභ්‍යන්තර ශරීර පද්ධතීන් වල ක්‍රියාවලීන් "ටියුන්" කිරීමක් තමයි මේකෙන් වෙන්නෙ.මේකෙ අරමුණ නිරෝගී භාවය පවත්වා ගැනීම නිසා පංචකර්මයකට ලක්වෙන්න රෝගී වෙනකම්ම ඉන්න ඕනෙ නෑ. නමුත් පංචකර්මයේ එක් එක් කොටස රෝගීන් සදහා ආයුර්වේදයේ ප්‍රතිකාර අාරම්භ කිරීමට පෙර යොදා ගන්නා අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට "වසක් -විසක්" ශරීර ගත වුණාම වමණය කිරීම දක්වන්න පුළුවන්. ඒ වගේම වසරකට සැරයක් විතර බඩසුද්ද වෙන්න "අරළු පෙති" බීමත් පංචකර්මයේ දී භාවිතා වන විරේචන කොටසට අයත් දෙයක්.පංච කර්මය එහි නමේම තේරුමේ හැටියට ක්‍රමවේද පහකින් සමන්විත එකක්.

01. වමනය
02. විරේචනය/ විරේකය
03. නස්‍ය / නස්නය
04. වස්තිය
05. රක්ත මෝක්ෂණය

මේ සාමාන්‍ය ආයුර්වේදයේ පංචකර්මය.නමුත් යුනානි ආයුර්වේදයේ "කපින්" නමින් හැදින්වෙන හයවෙනි කොටසකුත් මේකටම සම්බන්ධව තියෙනවා.වමන කොටසෙදි සිදුවෙන්නේ ආහාර ජීරණ පද්ධතියේ ඉහළ කොටසේ පවතින අපද්‍රව්‍ය ඉවත්කිරීම. ඒ ස හා අනිවාර්යයෙන් උදය වරුව යොදා ගන්නා අතර විහරණයන්ගෙන් වැළකී එයට සූදානම් විය යුතුයි.මෙමගින් ආමාශයික යුෂ සාන්ද්‍රණය නිවැරදි කිරීම, ආමාශගත විෂ ඉවත්කිරීම, ආහාර දිරවීමේ ගැටළු මගහැරවීම වගේ ප්‍රයෝජන ලැබෙනවා. ඒවගේම වමනයෙන් බැහැරවන දේ පරීක්ෂාවෙන් පිළිකා ආදිය හදුනාගැනීම, ශරීර දුර්වලතා වටහාගැනීමත් වෛද්‍යවරයා විසින් සිදුකරනවා. විරේචනයේදී වන්නේ මුඛයෙන් ලබාදෙන ඖෂධ මගින් ආහාර ජීර්ණ පද්ධතියේ පහළ කොටස් පිරිසිදු කිරීම.සාමාන්‍යයෙන් ඉවත් නොවන බඩේ ඇලී පවතින මළ ද්‍රව්‍ය ඉවත් කිරීම මගින් අංගුලිකා උත්තේජනය මෙමගින් සිදුවෙනවා. ඒවගේම බැහැරවන මළ පරීක්ෂාවෙන් ආන්ත්‍රික පිළිකා හදුනාගැනීම කීට රෝග, වෙනත් ආමාශයික දුර්වලතා වටහා ගැනීම වෛද්‍යවරයාගේ කාර්ය භාරයට අයත්.මේ කොටස කෙරෙන්නේ වමන කර්මය දාට දවස් කිහිපයක අන්තරයකින් පසුව තෝරාගන්නා දිනයකදී. පොහෝ දින, වැසි දින මේ සදහා සාමාන්‍යයෙන් යොදාගන්නේ නෑ.


නස්‍ය නැත්නම් නස්න කොටස මගින් නාසය ඔස්සේ ඇතුළු කරන ඖෂධ මගින් ශ්වසන පද්ධතියේ සහ කෝටරකයේ අපද්‍රව්‍ය ඉවත්කිරීම සිදුකෙරෙනවා.නාසයෙන් හා මුඛයෙන් පිටකෙරෙන අපද්‍රව්‍ය මගින් සෙම් සොටු ඉවත් කිරීමෙන් නිතර සෑදෙන හිසරදය, සෙම්ගෙඩි ආදි රෝග පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඊළගට සදහන් වස්තිය හැමවිටම භාවිතා නොවුණත් විරේචනය මගින් ඉවත් නොවූ මළ කොටස් ඇත්නම් ඒවාට ගුද මාර්ගය ඔස්සේ ඇතුළුකරන මළ ලිහිල් කිරීමේ ඖෂධ භාවිතයෙන් පසු වස්ති යන්ත්‍ර(ආයුර්වේදයේ භාවිත වස්ති යන්ත්‍ර - බටහිර වස්ති යන්ත්‍ර පැමිණීමට පෙරත් පැවතිණි.)භාවිතයෙන් හෝ පිරිසිදු දෑත් භාවිතයෙන් ඉවත් කිරීම සිදුකරනවා.ගුද වස්ති වලට අමතරව මුත්‍ර වස්ති කිරීමෙන් අවශ්‍යතාවය අනුව මුත්‍ර පද්ධතියේ අවහිරතා මගහැරීම්/පිරිසිදු කිරීම් කරන අවස්ථාත් තියෙනවා. රක්ත මෝක්ෂණය කියන්නේ රැධිර සංසරණ පද්ධතියේ අපිරිසිදු කොටස් ඉවත් කිරීමට. ඒ සදහා අතීතයේදී සත්ව අං කොටස් හා ලබු කබල් වැනි දේශීය උපාංග භාවිතා කළත් අද දවසේ ජනප්‍රිය ක්‍රමය වන්නේ කූඩැල්ලන් මගින් අපිරිසිදු රැධිර කොටස් ඉවත් කිරීමයි.

මෙම ක්‍රියාදාමයේදී සෘජුවම අපේ ශරීරයේ පද්ධති වලින් ස්නායු පද්ධතිය හා ප්‍රජනන පද්ධතිය හැර අනෙක් පද්ධති වල අපද්‍රව්‍ය ඉවත් කිරීම සිද්ධ වෙනවා.නමුත් අනෙක් පද්ධති පිරිසිදු කිරීමෙන් හා උත්තේජනයෙන් මෙම පද්ධති වල ක්‍රියාදාම ක්‍රමවත් වීමත් සිදුවෙනවා. වැඩිදුරටත් ස්නායු පද්ධතියේ සහ ප්‍රජනන පද්ධතියේ ප්‍රතිකර්ම කෙරෙන වෙනත් අවස්ථාවක් ආයුර්වේදයේ තියෙනවා. එය ත්‍රිගර්භ කුටි ක්‍රමවේදයලෙස හදුන්වනවා.මේ සියළු කටයුතු එක් දවසකින් නිමකර ප්‍රතිකාරයට භාජනය වන්නා පිටත්කර හැරීමේ හැකියාවක් නැහැ. මේ සියළු දේ එක පිට එක දරා ගැනීමේ හැකියාවක් කෙතරම් නිරෝගී පුද්ගලයෙකුටවත් නෑ. මේ සියල්ල පිළිවෙළින් සිදු කිරීමට සතියක්වත් රෝගියාත් - වෛද්‍යවරයාත් යන දෙදෙනාම කැපවිය යුතුයි.එසේම පංචකර්ම ක්‍රියාවලියක් ඇරඹීමට පෙර ඒ සදහා රෝගියා සූදානම් කරවීමක් කළ යුතුයි. එමගින් බලාපොරොත්තු වන්නේ පෙර සදහන් කළ ශරීරයේ සෝත්‍රස් හරහා අපද්‍රව්‍ය ඉවත් කිරීම පහසු කිරීමට අදාළව ඒවා ලිහිල් කිරීමට අදාළ ක්‍රියාකාරකම්. ඒවාට කියන්නේ 'පූර්ව කර්‍ම' කියලයි. එහිදී පංචකර්මයට ලක්වන පුද්ගලයා එක දිගට දවස් තුනක් පමණ මෙම ක්‍රියාදාමයට යොදා ගන්නවා.
එවිට රෝගියා තමන්ගේ ආහාර , ඇදුම්, එදිනෙදා කටයුතු වෛද්‍ය වරයාගේ අනුදැනුම ඇතුව භාවිතා කිරීමත් කළ යුතුයි. පූර්ව කර්‍ම වර්ග දෙකක් තියෙනවා. පළමු වැන්න ස්නේහ කර්මය. දෙවැන්න ස්වේද කර්මය.

ස්නේහ කර්මය කියන්නේ තෙල් සාත්තුවට. දැන් කාලෙ භාෂාවෙන් කිව්වොත් 'මසාජ්' එකට. ඒත් ආයුර්වේදයේ යොදාගන්නා තෛල අභ්‍යංග විධි එයට පාත්‍ර වන්නාගේ කාමුක හැගීම් අවදි වන විදියට භාවිතා කෙරෙන්නේ නෑ. වෛද්‍යවරයාගේ තීරණය අනුව මුළු ශරීරයම හෝ කොටසක් තෝරාගත් ඖසධීය තෙලකින් සම්භාහනය කිරීම
මගින් මාංශ පේශි ලිහිල් කිරීම, රුධිර නාල වසා ගැටිත්ති උත්තේජණය කිරීම, ඒවායේ අවහිරතා මගහැරවීම, බාහිර ඉදිමීම් , තැලීම් සුවකිරීම මෙමගින් බලාපොරොත්තු වෙනවා.ඉන් අනතුරුව කෙරෙන ස්වේද කර්මයේදී සිද්ධ වෙන්නේ බාහිරින් යොදාගන්නා ඖෂධ භාවිතා කරමින් රෝගියාගේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ නංවා දෝෂ හා මළ කොටස්
‍සෝත්‍රස් වෙත අද්දවා ගැනීම සහ මිනිසාගේ විශාලම අවයවය වන සමේ පිරිසිදු භාවය වර්ධනය කිරීමයි.ඒ සදහා ලීයෙන් හෝ මැටි වලින් නිමවූ ස්වේද කුටියක් භාවිතා වන අතර මෙය අද දවසේ 'ස්ටීම් බාත්' ලෙස හදුන්වනවා.

එයින් පසුව තමයි රෝගියාව පංචකර්මයට යොමු කරන්නේ. එසේ පිළිවෙලක් ඇතිව පංචකර්මයට යොමුකරන අයෙකුට ලැබෙන ප්‍රතිලාභත් හරි ඉහළයි. අකළට ගිලිහෙන තරුණ පෙනුම යළි ලබාදීම, ශාරීරික ජවය පවත්වාගැනීමේ හැකියාව, ලිංගික හැගීම් හා ශක්තියේ වර්ධනය, දීර්ඝායුෂ ලැබීම, පිළිකා, රුධිර පීඩන විචල්‍යතා, හෘදයාබාධ වැනි රෝග වලින් වැළකීමේ හැකියාව, දද- කුෂ්ඨ වැනි රෝග වලින් මිදීමේ හැකියාව වගේ දේවල් ඒ අතර ප්‍රධානයි.හැබැයි මේ සදහා නිවැරදිව යොමුවෙන කෙනෙක් තමන්ගේ සියළු කටයුතු එක් මාසයකට අත්හැරල දාන්න වෙනවා. අඩුම තරමේ ශ්‍රී ලංකා රුපියල් පනස්දාහක්වත් වියදම් කරන්න වෙනවා.නමුත් ඉහත කියන සියළු ප්‍රතිලාභ ලබාගැනීම සදහා වසර තුනකට වරක්වත් මෙම කැපකිරීම් කල හැකිනම් හොද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඔබටත් ලබාගත හැකියි. (ඉහත සදහන් රෝගයන් සදහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවුණාම ටිකෙන් ටික වැය වන මුදලත් කාලයත් එක්ක ගත්තහම කැප කළයුතු දේ බොහොමයි.) හැබැයි අද දවස වෙනකොට මේවගේ දේවල් මේ පිලිවෙලටම කරන සැබෑ ආයුර්වේද වෙදමැදුරු හොයාගන්න එක ටිකක් අමාරුයි.නමුත් නැත්තෙමත් නෑ.

දැන් එතකොට "ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන" නමින් සිද්ධ වෙන්නෙ ඉහත කී පූර්ව කමර්‍ සිද්ධ කිරීම විතරයි.එහිදීත් මසාජ් හැටියට භාවිතා වන්නේ වෛද්‍ය ක්‍රමවේද නොවෙයි. ඒ වෙනුවට යොදාගන්නේ ලිංගික හැගීම් උත්සන්න වෙන අභ්‍යංග විධි. ස්ටීම් බාත් ස්‍දහාත් නිවැරදි කාල පරාස, ක්‍රමවේද භාවිතා වෙනව කියල කියන්න බෑ.
මේවා පවත්වාගෙන යන බොහෝ දෙනෙක් ආයුර්වේද වෙන්නේ නමින් පමණයි. තමන්ගේ මසාජ් සෙන්ටර් සහ ගණිකා මඩම් වලට නීතිමය ආරක්ෂාව ලබාගන්න ආයුර්වේද වෛද්‍යවරයෙක් බදවාගෙන (සමහර විට ඒ වෛද්‍යවරයාටත් හොරෙන්) ඊටම සම්බන්ධ වෙනත් තැනක මෙවැනි ජාවාරම් කරන ව්‍යාපාරිකයන් බොහොමයි. සමහර ස්ථාන වල
බදවාගන්නා තරුණ අභ්‍යංග වරුන්ට (තෙරපිස්ට්)නිසි පුහුණුවක් නැති කමත්,ඔවුන් තමන්ගේ අමතර ආදායම වැඩිකර ගැනීම සදහා (සමරවිට පාලකයන්ටත් හොරෙන්) වැරදි ක්‍රියාකාරකම් වලට යොමුවීමත් නිසා අද වන විට "ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන" සල්ලාලයින්ගේ පාරාදීස බවට පත්වෙලා. හැබැයි නිවැරදිව ආයුර්වේද ක්‍රමවේද භාවිතා කරන මධ්‍යස්ථාන ත් නැතිවාම නොවෙයි.සත්‍ය තත්වය නම් ඒවාට පාරිභෝගික ඉල්ලුම සාපේක්ෂව අඩු බවයි.

ඉල්ලුමට අනුව සැපයුම ලබාදීම මත තමයි ඕනෑම ව්‍යාපාරයක් රදාපවතින්නේ.ඒනිසා රැල්ලට එරෙහිව පිහිනන්න ව්‍යාපාරිකයො කැමති නැති බව අපි පිළිගන්න ඕනෑ. හැබැයි ඒ වෙනුවෙන් ආයුර්වේද නම භාවිතා කිරීම ගැන වෛද්‍යවරු හැටියට අපිත් ආයුර්වේදයට ආදරය කරන ඔබත් විරුද්ධ විය යුතුයි. හැමදාම ආයුර්වේදයේ පුස්කොළ පොත් ගැන විවරණ කර කර නොඉද කාලයට ගැලපෙන තාලයට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේද නිර්මාණය කර නොගත්තොත් 'අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නෙනගී' කියන කුමාරතුංග මුනිදාස කිවියාණන්ගේ කීම වගේම ඩාවින්ගේ පරිණාම වාදයත් සනාථ කරමින් ආයුර්වේදය යටපත් වෙලා යාවි. නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර කරන ආයුර්වේද සිද්ධාන්ත මත පමණක් රැදී මාකටින් කළ හැකි ප්‍රතිකාර විධි සදහා අත්වැල් බැදගැනීමට නවීනව සිතන ආයුර්වේද වෛද්‍යවරුන්ටත් , සුබවාදීව සිතන ආයෝජකයින්ටත් කාලය එළැඹී ඇති බව වෙදහාමිනේ ගේ අදහසයි.

Email - nagarjunaherble@gmail.com

වෙදහාමිනේ ඖෂධ නිෂ්පාදනයට -


වෙදහාමිනේ පහුගිය දවස් ටිකේම බරට වැඩ. රෝගීන්ට ප්‍රතිකාර කිරිමට අමතරව ඖෂධ නිෂ්පාදනය කිරීම ගැන වැඩ ටිකක් පහුගිය මාස පහ හයේම අත්හදා බැලුවා.ඒ සදහා වෙද හාමිනේට පාරම්පරික දේශිය වෛද්‍ය වරයෙකුගෙ සහයෝගයත් ලැබුණා. අත්හදා බැලීම් එහෙමත් කරල සාර්ථක ප්‍රතිඵල ලැබෙන ඖෂධ පන්තින් දෙකක් වගේම ඖෂධීය තෙල් වර්ග දෙකකුත් බාහිර ආලේපන වර්ගයකුත් නිෂ්පාදනය වෙදහාමිනේ විසින් පසුගිය ජූලි 01දා සුභ මොහොතින් ආරම්භ කළා. දැනට ටිකක් සුලු පරිමාණයෙන් තමයි වැඩේ යන්නෙ. ඒත් වෙදහාමිනේගේ බලාපොරොත්තුව මේ වැඩේ ඉදිරියට තව තවත් සාර්ථක වෙයි කියල තමයි.

අ‍පේ පරම්පරාවෙ ගොඩක් දෙනා දුක්විදින දියවැඩියාව හා ගැස්ට්‍රයිටීස් වලට සාර්ථක බෙහෙත්පන්තීන් දෙකක් දැනට ඇනවුම් වලට පමණක් නිෂ්පාදනය කරනවා. පළමු සතියෙදි පමණක් ඇනවුම් දහයක් පමණ වෙද හාමිනේට ලැබුණා.මේ ගැන වැඩි විස්තර වෙදහාමිනේගේ අඩවියේ දකුණු පස උඩින්ම තියෙන ප්‍රතිකාර අඩවිය සබැදියෙන් ලබාගන්න පුළුවන්. නැත්නම් කෙලින්ම http://www.eayurvedicsrilanka.blogspot.com වෙතට ගියත් හරි.

Email - nagarjunaherble@gmail.com

දේශීය ආයුර්වේදය ලොව දිනන්නට සැරසීම - Ayurveda Expo 2011


දේශීය වෙද්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් ජාතික වාණිජ මණ්ඩලය මෙහෙයවන Ayurveda Expo 2011 ජාත්‍යන්තර
ආයුර්වේද වෙලද ප්‍රදර්ශනය හා ‍දෙදින සම්මන්ත්‍රණය 2011 ජූලි මස 15 හා 17 දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර
සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම වැඩසටහනට සමගාමීව රටවල් 22ක සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී Indian Ocean Rim Countries
Oriental Medicine methods නමින් පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබද දේශණ මාලාවක්ද පැවැත්වේ.

මෙය ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර ආයුර්වේද සම්මන්ත්‍රණය බව දේශීය වෛද්‍ය අමාත්‍යාංහය පවසයි. සම්පූර්නයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන්
පැවැත්වෙන මෙම වැඩසටහන මෙරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රගමනයට හේතු වනු ඇති බව සංවිධායකයින්ගේ විශ්වාසයයි.

Email - nagarjunaherble@gmail.com

සේරුවිල සරණකිත්ති හිමියන් උපවාසයකට



ගව ඝාතනය මෙරට නීතියෙන් තහනම් කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමේ උපවාසයක් ආරම්භ කිරීමට
සේරුවිල මංගල රාජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගරු
සේරුවිල සරණකිත්ති ස්වාමීන් වහන්සේ අද උදෑසන පියවර ගෙන ඇත.ඊයේට යෙදුනු 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් රජය හා අනෙකුත් වගකිවයුතු පාර්ශවයන් නළු නිලියන් මෙන් පන්සිල් කියවීමෙන් පමණක් සෑහීමකට පත්වූ බව ප්‍රකාශ කරන උන්වහන්සේ එය අර්ථාන්විත කිරීමටනම් බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නීතියෙන් තහනම් විය යුතු බව ප්‍රකාශ කළහ. උන්වහන්සේ අසලින් මූතුර් බෞද්ධ විහාරයේ විහාරවාසී ස්වාමීන් වහන්සේද,තුන්සියයක පමණ ප්‍රදේශවාසී ජනතාවක්ද චෛත්‍ය මළුවේ මේ වන විට රැදී සිටී.

වැඩිදුර තොරතුරු - 0779016752

Email - nagarjunaherble@gmail.com

ඔබත් රහට කන්නෙ වහද?



ඔබ පසුගිය මාසයට දින කීයක් වෛද්‍යවරයෙකු හමුවුනාද? එහෙමත් නැත්නම් පසුගිය වසරක කාලය ඇතුළත ඔබ කී වරක් වෛද්‍යවරයෙකු හමුවුනාද? කියල මතකයට නගා ගන්න ඔබට පුළුවන්ද? දැන් සමහරවිට ඔබ ආඩම්බරයෙන් සිහිකරාවි "පසුගිය වසර පුරාවටම මම වෛද්‍යවරයෙක් හමුවුනේ නෑ කියල."ඇත්ත, අපි කවුරුත් කැමති වෛද්‍යවරයෙකු හමුනොවී, ප්‍රතිකාර නොගෙන ඉන්න. ඒත් ඔබේ දෙමව්පියෝ, සහෝදර සහෝදරියො, දූ දරුවො, පවුලේ
අය ගැන හිතුවහම එයාලත් එහෙමද කියල හිතල බලන්න.ඒත් නාගරික ප්‍රදේශයක හවසකට දේශීය හෝ බටහිර පෞද්ගලික ආරෝග්‍යශාලා ළග, උදේට රෝහලක බාහිර ප්‍රතිකාර අංශයක කොපමණ පිරිසක් බේත් හේත් ගන්න පොදි කනවද කියල පොඩ්ඩක් බලන්න. මේ තරමට අපේ රටේ මිනිස්සු ලෙඩ්ඩු වුනේ කොහොමද කියල හිතල බලන්න ඔබට විවේකයක් ලැබුනෙ නැද්ද? එහෙම නැත්නම් ඔබ එහෙම ලෙඩෙක් නොවුනෙ ඇයි කියල හිතල බලන්න ඔබ පෙළඹුනාද? ලෙඩෙක් නොවී ජීවත් වෙන්න නම් අපි අනුගමනය කළ යුතු දේවල් ගැන ටිකක් විතරකියන්න තමයි 'වෙදහාමිනේගේ' මේ ලිපිය වෙන්වෙන්නෙ.

මේ දවස් වල හැමෝම කතාවෙන්නෙ 2600වන සම්බුද්ධ ජයන්තිය ගැනනෙ. අපි අහල බලල ඉගෙන ගෙන තියෙන විදියට "මධ්‍යම ප්‍රතිපදාව" කියන සංකල්පය මුලින්ම හදුන්වාදුන්නෙත් බුදු දහමේ නිර්මාතෲ වන ගෞතම බුදුන් වහන්සේ තමයි.අපේ ශරීරයේ තියෙන පංච ඉන්ද්‍රියයන් පිනවීම ගැන සිය දේශනාවල උපදෙස් දෙමින් ඒවා පාලනයකින් යුතුව පිනවීමෙන් ලෞකික වගේම ලෝකෝත්තර සුඛයයන් කරා ගමන් කළ හැකිබව බුදුන් වහන්සේ සදහන් කරල තියෙනවා.ශරීරයේ පංච ඉන්ද්‍රියයන්
කියන්නේ ඇස,කණ, නාසය, දිව හා සම(ශරීරය) කියන අංග.මෙයින් කුමන ශරීරාංගයක් වුනත් ඕනෑවට වඩා පිනවීමෙනුත් ,අවශ්‍ය තරමට සන්තර්පණය නොකිරීමෙනුත් මිනිසාට විතරක් නෙවෙයි ඕනෑම සත්වයෙකුට රෝග හටගන්නවා.ඒ අතරිනුත් දිව කියන අංගය වඩා ප්‍රබලයි. දිව පිනවන්න නම් රස දැනෙන දේ භාවිතා කළ යුතුයි.රස නොදැනෙන දේ භාවිතයෙන් වන්නේ ශරීරය වැහැරීම. රස දැනෙන දේ භාවිතයෙන් වෙන්නෙ ශරීරය ශක්තිමත් වීම. නැතිනම් ප්‍රාණවත් වීම.ඒත් රසය ගැන පමණක් හිතා භාවිතා කරන ආහාර පාන වලින් සිද්ධ වෙන්නෙ ශරීරයේ ‍ස්වභාවික ජෛව රසායනික ක්‍රියාවලිය බිද වැටීම.සියයට සියයක් දේශීය වෛද්‍යවරු වගේම සමාගම් වල ඉත්තන් ගැත්තන් බවට පත් නොවුණු ලක්බිමට එහෙම ලියන වෛද්‍ය චමල් සංජීව වැනි බටහිර වෛද්‍යවරුත් මේ මතය සමග එකගයි.

ඔබටත් දිව පිනවීම මධ්‍යම ප්‍රතිපදාවෙන් කරන්න පුළුවන් කමක් තියෙනව නම් ඉදිරි වසරෙදි විතරක් නෙවෙයි ජීවිත කාලෙටම වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් හේත් ගන්න යන්න නොවෙන තාලෙට ජීවත් වෙන්න මග හදාගන්න පුළුවන්. ආහාර වලට වඩා ඖෂධ පෙති,කරල් ගිලින සමාජයක එහෙම නොවී ජීවත් වීම ආඩම්බරයක් විදිහට හිතන්න පුරුදු වීමත් අද කාලෙට වැදගත්.ඒවගේම ඔබ දැනට කිසියම් නිදන්ගත රෝගයකින් පෙලෙනවානම් මේ සාමාන්‍ය ආහාර රටාවට යොමුවෙන්න කලින් සුදුසුකම් ලත් දේශීය හෝ බටහිර වෛද්‍යවරයෙකුගෙන් අනුමැතිය ලබාගත යුතු බවත් අමතක කරන්න එපා.ඒ වගේම කිසිදු රෝගයකින් නොපෙළෙන කෙනෙක් වුවත් වසරකට වරක් වත් සුදුසුකම් ලත් දේශීය හෝ බටහිර වෛද්‍යවරයෙකු හමුවී විරේකබෙහෙත් හා පණු බෙහෙත් ලබාගත යුතු බවත් අමතක කරන්න එපා.එසේම අවුරුදු 30 ඉක්මවූ කෙනෙකු නම් වසරකට වරක් වෛද්‍ය පරීක්ෂණයක්,තම
සෞඛ්‍ය ගැටළු පිළිබද සාකච්ඡාවක් සිදුකිරීමත් වැදගත්.

ආයුර්වේද වෛද්‍යවරු හැටියට අපි හැමදාම උපදෙස් දෙන්නෙ කෘතිම ආහාර වලින් ඈත් වෙන්න කියල.කටට රසට කන්න ඕන තමයි. ඒත් රහයි කියල වහ කන්නෙ මොකටද? මුළු ලෝකයේම අපිට විතරක් උරුම වටිනා කුළුබඩු වර්ග ගණනාවක් යොදාගෙන ඒවා ක්‍රමානුකූල අනුපාතයට මිශ්‍ර කරල ආහාරයෙන් ආහාරයට විවිධ අනුපාතයෙන් මිශ්‍ර කරල ආහාර රසවත් කරන්න, සුවදවත් කරන්න අපේ අම්මල, ආච්චිල දැනුවත් වෙලා හිටිය. සමහරුන්ට අදටත් මතක ආච්චි අම්මගෙ පරිප්පු හොද්දෙ, පොල් සම්බෝලෙ රහ මැවුණෙ සුප්කැට, mono sodium glucomate අඩංගු කුඩු වර්ග නිසා නෙවෙයි.ඒවගේම හොද්ද,මාළුව,ඇඹුල ලිපේ තියෙද්දි, සම්බෝලෙ අනද්දි ඒකට ලුණු , අඹුල් මදිද- වැඩිද කියල කියන්න පුළුවන් ඉවක් අපේ තාත්තලට,සීයලට තිබුණ.අද ඒ රසාංකුර මැරිල ගිය මිනිස්සු දානෙ උයද්දිත් නොපෙනෙන විදියට හැන්දට අරන් දිවේ ගාල තමන් මුලින් ඉදුල් කරන තත්වෙට ඇවිත් තියෙනවා.
පවුලක පෝෂණය ගැන වගකීම තමන් අතේ බව හිතන්න ඕන අපේ සහෝදරියො සහ දුවණි වරු රූපවාහිනියෙ යන ටෙලි නාට්‍ය බලන්න තියෙන හදිසියට අතේ තියෙන සොච්චම කඩේට දීල සොසේජස් කරලක්, සෝයාමීට් ටිකක් අරන් ඇවිත් තෙල් ,මිරිස් යහමින් දාලා තව මදිනම් සුප්කැටත් දාල එහෙන් මෙහෙන් ගහල තමන්ගෙ පවුලෙ අයට හදල දෙන්නෙ මොනවද කියල පොඩ්ඩක් හිතල බලන්න.ඒවගේම තෙල් මිරිස් නැතිව කන්න බෑ කියල කියන පිරමි පාර්ශවයෙ උදවියත් මේ ගැන හිතල බලන්න.

msg වලට අස්ථි දිරීම්,පිපිරීම් එනව කියල කියනකොට අපි කරන්නෙ ඇනිලීන් හරි ඇන්මම් හරි ගෙනත් බොන එක. අස්ථි දිරීමට හේතුව හොයල හේතුව නැති නොකර තවත් වසක් අපේ ශරීරයට එකතු කරගෙන අස්ථි ශක්තිමත් කිරීම සිදුවෙයිද? නෑ. ‍අන්තිමට වෙන්නෙ මේ වගේ කෘතිම දේවල් වල තියෙන වෙනත් වෙනත් රසායනික ද්‍රව්‍ය අපේ ඇග ඇතුළෙදි ප්‍රතික්‍රියා කරල වෙනත් වෙනත් සංයෝග නිෂ්පාදනය වෙලා කොහෙ හරි තැන්පත් වෙන එක. අන්තිමට කාලෙකදි ඒක මතුවෙන්නෙ පිළිකාවක් විදිහට.එහෙම නැත්නම් මේ සංයෝග වකුගඩු හරහා නොපෙරී රැදීමෙන් වෙන්නෙ වකුගඩු අක්‍රිය වී විනාශ වීම.ඊට පස්සෙ සිද්ද වෙන්නෙ ජීවත් වෙන තුරාවට පිටරට බෙහෙත් නිෂ්පාදන ආයතන වල නිත්‍ය පාරිභෝගිකයින් බවට පත්වෙමින් මැරි මැරී ජීවත් වෙන්න සිද්ධ වීම. නැත්නම් වකුගඩු බද්ධයට, පිළිකා සැත්කමට ආධාර ඉල්ලමින් පත්තරවල, හන්දිවල හිගාකකා රස්තියාදු වෙවී උන්හිටි තැනුත් උකස් කර කර තමනුත් දරුපවුලත් අනාථ කරමින් මැරි මැරී ජීවත් වීම.ඉතින් අදම හිතන්න. මේකට පිළියම මොකද්ද කියල. කෘතිම ආහාර පාන වලින් වැලකෙන එකද? නැත්නම් හොරෙක් හතුරෙක්ගෙන් හරි ණයක් තුරහක් වෙලා පිළිකාවට එන්න කළින් මොකක් හරි රක්ෂණ සමාගමකින් ජීවිත/සෞඛ්‍ය රක්ෂණයක් ගන්න එකද ? අතීසාරයට අමුඩ ගහන තීරණ වලට චිර ප්‍රසිද්ධ අපේ රටේ බොහෝ දෙනා දෙවැනි පිළියමට ගියත් පුදුම වෙන්න දෙයක් නෑ.

අපිම මුදල් දීල ගේන ටීවී එකෙන් පෙන්වන හරසුන් කෑම බීම වලට අපිම මුදල් දීල කඩෙන් අරන් ඇවිත් ඒව කාල ලෙඩ වුණාම අපේ සල්ලිම දීල බෙහෙත් අරන් ඒ ලෙඩ වලට වියදම් කරන්න මුදල් නැති වෙයි කියල බයට රක්ෂණයකුත් අරන් ආහාර දාමයක් වගේ තැනින් තැන රැදෙන රාක්ෂයන් වන් සමාගම් සමූහයක බැංකු ගිණුම් තර නොකර මුල්ම පුරුකෙන් ගැලවිලා ස්වභාවික ආහාර රටාවකට යන්න අපි දෙපාරක් හිතන්න ඕනද?

එහෙම හිතන්න ඕන නෑ කියල වගකීමෙන් කියන ඔබට තුන්වේලෙ ස්වභාවිකව ආහාර ගැනීමේ ක්‍රමය ගැන කියල දෙන මේ ලිපියෙ ඊළග කොටස වෙසක් පෝයට කලින් පළකරන පොරොන්දුවෙන් වෙදහාමිනේ සමුගන්නෙ 'ලිපිය දිග වැඩි වෙන කොට' නීරස වේවි කියල හිතෙන නිසා. ඕ ලිපියට පෙර ඔබේ අදහසුත් ඇත්නම් ඒ ගැන මට කියන්න.

Email - nagarjunaherble@gmail.com